පොලිසියට රට බාර දී පුරවැසියන් වෙළඳාම පිණිස සිංහලේ යාම


මාතර රන් භාණ්ඩ අලෙවිසැලක් මංකොල්ල කෑමට උත්සාහ කිරීම වැළැක්වීමේ දී වෙඩි පහර ලද පොලිස් භටයෙක් ජීවිතක්ෂයට පත් විය. එහි දී අත් අඩංගුවට පත් චාමර ඉන්ද්‍රජිත් නම් සැකකරු අද පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය යන්නේ මාතර කිරලකැළේ සඟවා තිබූ ආයුධ පෙන්වන්නට යාමේ දීය.
ගංගා නිම්න ආශ්‍රිත ආයුධ පෙන්නීමට යාම සහ සඟවා ගැසූ බෝම්බ වලින් දමා ගැසීම වනාහි ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ චිත්‍රපට බඳු සිදුවීමකි. ඒ කාලයේ ඒවා මාර වූවාට අද පෙන්වන විට යල් පිනූ බව හැඟේ. නමුත් අප මුවින් නොබැණ , නොදොඩා බලා හිඳින්නෙමු. නීතියේ ප්‍රමාදී බව නිසා වැරදිකරුවන් හට දඬුවම් නොලැබෙන බවත් මෙලෙස ෂෝර්ට් කට් දමා හෝ අපරාධකරුවන් තුරන් කර දැමීම යහපත් යැයි කණින් කොණින් ඇසෙන බැවිනි.
පොලිසියට වෙඩි තැබූ විට ෂෝර්ට් කට් නීතිය පැයට සැතපුම් දෙසියයේ වේගයෙන් ක්‍රියාත්මක වන්නේ අද ඊයේක සිට නොවේ. 2013 වසරේ දී කඹුරුපිටිය පොලිස් පරීක්ෂකවරයෙකු සහ බිරිඳ ව ඝාතනයට ලක් වූ අතර දෙවැනි සැකකරු ආයුධයකින් පොලිසියට වෙඩි තබන්නට ගොස් මැරුම් කෑ අතර තවත් සැකකරුවන් දෙදෙනෙක් හක්මන - දෙනගම වැවට පැන ජීවිතක්ෂයට පත් විය. ප්‍රධාන සැකකරු වූ කැටයම් චින්තක පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් මිය යන්නේත් සතියක කාලයක් තුළදී ය.
ගම්වැසියන් රතිඥ්ඥා දල්වමින් සතුට සමරන මොහොතක තම පුතුගේ දේහය ගමට ගෙනියන්නට නොහැකි බැව් කැටයම් චින්තකගේ මව පවසා සිටි හෙයින් අවසාන කටයුතු රජයේ වියදමෙන් සිදු කරන ලදි. ඔහුගේ අවමංගල්‍යයට සහභාගී නොවන ලෙස දන්වා මාස්මුල්ල ප්‍රදේශයේ පෝස්ටර් ද අලවා තිබුණි.
සර්ව බලධාරි පොලිසිය නීතියේ ආධිපත්‍ය සියතට ගෙන විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදන්නේ එලෙසය. එනිසා පොලිසියටම ඔවුන්ගේ ආකාරයට යුක්තිය පසඳන්නට ඉඩ දී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක පුරවැසියන් වෙළඳාම පිණිස සිංහලේ යා යුතුය.
2009 වසරේ දී තමන්ගේ මිතුරු කාන්තාවකට නොමනා විසුළු කළා යැයි කෝප වූ අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අත් අඩංගුවට ගත් දිනේෂ් තරංග ප්‍රනාන්දු සහ ධනුෂ්ක උදයකාන්ත අපෝන්සු ගේ සිරුරු ලුනාව පාලම අසළින් සහ මූදු වෙරළෙන් මතු වූ සිදුවීම අමතක කරමු.
2009 වසරේ දී දුම්‍ රියට ගල් ගැසූ නිසා බම්බලපිටිය මූහුදේ සිට ගොඩට එන්නට නොහැකි වන ලෙස පොලු වලින් පහර දුන් බාලවර්ණන් සිවකුමාර්ගේ ජීවිතය ද අමතක කරමු.
2015 වසරේ දී සේයා සදෙව්මි ළදැරිය දූෂණය කළ මරා දැමූ ඝාතකයා යැයි හංවඩු ගසා ; කොටදෙණියාව පොලිසිය මගින් තුච්ඡ ලෙස අනාගත ජීවිතය සහ අධ්‍යාපනය අඳුරු කර දැමූ එවකට 17 හැවිරිදි වූ පාසල් සිසුවා ගේ ජීවිතය සැහැල්ලුවෙන් තකමු.
"ඔවුහු මා සොයා ආහ. ඒ වනවිට මා වෙනුවෙන් කතා කරන්නට කිසිවෙක් ඉතිරිව නොසිටියහ"යැයි මාර්ටින් නීමොලර් පියතුමන් පැවසූ දේ කෙළ පිඩක් මෙන් ඉවත ලමු.
විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදන්නට පොලිසියට නියත විවරණ දෙමු. පුරවැසියන් වශයෙන් වෙළඳාම පිණිස සිංහලේ යමු.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

4 comments: