නන්දනීය පෙම

කාර් එකක් යාන්තමට හරවන්න ඉඩ තිබුණ පාරේ සුදු කොඩි දාලා තිබුණා. ලොකු පුතා ඉස්සරහ වීදුරුව පාත් කරලා ඔලුව දාලා බැලුවා. "ගන්න ගන්න.. " කියලා කියද්දි රන්ජන් කලුවර කපාගෙන ඉස්සරහට පැදගෙන ගියා. ටික දුරක් යනකොට මළ ගෙදර පේන්න වුණා. වම් පැත්තට අයින් කරපු ත්‍රී වීල් එක්ක වම් පැත්තේ කම්බි වැටේ හේත්තු කරපු පුෂ් බයිසිකල්. තව තුන් හතර දෙනෙක් කළුවර හෙවණකට වෙලා උක්කුටියෙන් වාඩි වෙලා දුම් අදිනවා. අවුරුදු දහ අටක් ගියත් මේ ගම්මාන වල ලොකු වෙනසක් වෙලා නෑ වගේ. වෙනසකට තියෙන්නේ හැම කෙනා ගාවම වගේ ජංගම දුරකතනයක් පේන එක විතරයි.
රන්ජන් මේ මළ ගෙදරක යන්න ආපු ගමනක් නෙමෙයි. නෝනයි , පුතාලා දෙන්නයි නැන්දම්මයි එක්ක සෝමාවතී වඳින්න ආපු ගමන්. එන දවසට කලින් දවසේ ආව ලියුමක් නිසා තමයි මළ ගෙයක් ඇඟේ පැටලුණේ. "මැදිරිගිරියෙ සුමනසිරි මිය ගියා. ධේහය නන්දනී දේවිකාගේ නිවසේ. අවසණ් කටයුතු සඳුදා" කියලා ඒ ෆෝ කඩදාසියක ලස්සනට ලියපු වැරදි අකුරු එක්ක ලියුමක් එනතුරු සුමනසිරි කෙනෙක් වත් නන්දනී දේවිකා ගැනවත් මතකයක් රන්ජන්ට තිබුණේ නෑ. ඒත් අවුරුදු දහ අටකට කලින් ගිය ගමනක් එක්ක ඔක්කෝම දේවල් අද ඊයේ වගේ මැවිලා පේන්න ගත්තා. වැඩි හොඳට ෆොටෝ එකකුත් ගහගෙන ලියුම පරිස්සමට කබි හෝල් එකට දැම්මේ මළ ගෙදර යනවා කියලා හිතලමයි. වන්දනා නඩය හෝටලේට දාලා ලොකු පුතා එක්ක පාර හොයාගෙන ආවේ පරණ මතකෙන්. "මේ හරක් ෆෝන් නම්බර් එකක්වත් දාලා නෑ" කියලා රන්ජන් පසුතැවෙද්දි නැන්දම්මා නම් කිව්වේ ඒ නිසාම යන්න ඕනේ නෑ කියලා.
දැං ආනමඩුවේ පොල් මුදලාලි කෙනෙක්ගේ දුවක් කසාද බැඳගෙන ලකේට හිටියට රන්ජන්ට කලාකාමී අතීතයක් තිබ්බා. " බෑණා ඉස්සර ටෙලි නාට්‍යයත් හදලා තියෙනව " කියලා වත්‍තේ ගෑණු එක්ක නැන්දම්මා ආඩම්බරෙන් කිව්වට රන්ජන් දෙවැනි සහාය අධ්‍යක්ෂණයෙන් එහාට ගිහිං ම නෑ. එකම එක පාරක් පෝය නාට්‍යයක දෙවැනියා විදියට කොටයක් ඇද්දට ඒක ටී වී එකේ ගියේ නෑ. "අපරාදේ ඒයි .. ඔයාටත් දිගටම නාට්‍ය කරන්න තිබ්බා අනේ" සමහර වෙලාවට නෝනා ටී වී එක දිහා බලාගෙන විස්සෝප වෙනකොට රන්ජන් වචනයක් වත් නොකියා හිටියේ හාර්ඩ්වෙයාර් එකක අයිතිකාරයෙක් වීම සහ දෙවැනි සහාය අධ්‍යක්ෂ කෙනෙක් වීම අතර තියෙන වෙනස කටින් කියන එක තේරුමක් නැති නිසා. " හ්ම්ම්ම්" රන්ජන් කියන්නේ එච්චරයි.
නන්දනී දේවිකා කියන්නේ රන්ජන් ඒ කාලේ වැඩ කරපු ඩිරෙක්ටර් කෙනෙක් ළඟ සුළු චරිත රඟපාපු නිළියක්. ඇත්තටම කිව්වොත් ඒ ඩිරෙක්ටර්ගේ අනියම් බිරිඳ. නිළියක් වෙන්න ආසාවට ගමෙන් ඇවිල්ලා හිටිය නන්දනී අන්තිමට නතර වුණේ මර්වින් මහත්තයා ළඟින්. නරකක් වුණේ නෑ. ලස්සන මූණක් තිබ්බට තරමක් තරබාරු නන්දනීට ටී වී එකේ එක එක චරිත ලැබෙන්න ගත්තා. හැම එකක්ම වගේ සුළු චරිත වුණත් රන්ජන් ට නම් නන්දනී ලබන ඒ අවස්ථාව මහමෙරක් වගේ පෙනුණා. අන්තිමට මර්වින් මහත්තයාගේ දිග නාට්‍යයක ප්‍රධාන චරිතය නන්දනී ට දීලා තෝරාගෙන හිටිය ලස්සන තරුණ නිළියට සහාය චරිතේ ලැබුණා. "ටිකිරිලියයි , කබරගොයයි වගේ බං" සෙට් එකේ අය අතරේ සම්මච්චල් හිනා මතු වුණා. " නන්දනී අක්කා මේන් රෝල් එක ගත්‍තේ වහ බොනවා කියලා හෙණ නැටුමක් නටලා" තේ හදන ගමං ඕපා දූප බෙදන රවී රහසෙන් වගේ කිව්වා. කොහොම හරි නන්දනී දේවිකා නිළියක් වුණා.
අවුරුද්දකට විතර පස්සේ රන්ජන් පෝය වැඩසටහනකට පොළොන්නරුවේ ගියා. මරඟනක් වගේ ඇඳගත්ත නිවේදිකාවක් ගල්විහාරය ඉස්සරහ බුද්ධාලම්භන ප්‍රීතියෙන් මයික්‍රෆෝන් එක ගිලිමින් ඉන්නකොට මර්වින් මහත්තයා ප්‍රඩක්ෂන් මැනේජර් ගේ ෆෝන් එක හරහා රන්ජන් ට කෝල් කළා. " අනේ රන්ජෝ.. අර ගෑණි මැරුණා බං " මර්වින් මහත්‍තයගේ වේදනාබර කටහඬ එහා පැත්තෙන් ඇහුණා. නන්දනී දේවිකා වයස අවුරුදු හතළිස් එකේ දි හෘදයාබාධයකින් මිය ගිහිං. මිනිය යවලා තිබුණේ ගමට. මර්වින් මහත්තයාට දැන් මළ ගෙදර යන්න බෑ. ඇත්ත. අර නාට්‍යයෙන් පස්සේ මර්වින් මහත්තයාගේ පුතා සහ නෝනා නන්දනීගේ බෝඩිං කාමරේට පැනලා නටපු නැටුම කෙළවර වෙලා තිබුණේ පොලිසියෙන්. " නන්දනී අක්කට ගමේ ලොකු ළමයෙකුත් ඉන්නවලු බං " පැකප් පාටි එකක මුණ ගැහුණු වෙලාවකදි අතේ තේ බන්දේසිය නැතුව වුණත් රවී සුපුරුදු සේවය සැලසුවා. මේ තියෙන තත්ත්වය උඩ මර්වින් මහත්තයාට මළ ගෙදර යන්න බෑනේ. " උඹේ අයිඩෙන්ටි කාර්ඩ් නම්බර් එක කියපං. මම සල්ලි එවන්නම්" මර්වින් මහත්තයා කිව්ව විදියටම පොළොන්නරුව සෙලාන් බැංකුවෙන් අයිඩෙන්ටි කාර්ඩ් එකට එවපු සල්ලි අරගෙන රන්ජන් තව කොල්ලෙක් එක්ක මළ ගෙදර ගියා. මිනී පෙට්ටිය තිබ්බාම හැරෙන්න ඉඩක් නැති වරච්චි ගෙදරක නන්දනී අක්කා උඩුකුරුව හිටියා. ඒ ළඟ නසරානි පෙනුම තියෙන අවුරුදු දහයක විතර කොල්ලෙක් හිස් බැල්මකින් බලා හිටියා. සුමනසිරි ඇවිල්ලා ආචාර කළා. " මේ නන්දනීගේ මනුස්සයා" කවුද වැඩිහිටියෙක් පිටිපස්සේ ඉඳන් ගමේ යුතුකම ඉටු කළා. සල්ලි එව්වේ කවුද කියලා කිව්වේ නෑ. ඒත් ඒ දුන්න ගාණ එක්ක රන්ජන්ලා ගේ ඒ කාලේ පෙනුම ගැලපෙන්නේ නැති බව සුමනසිරි තේරුම් ගන්න ඇති. පැයකින් හමාරකින් යන්න පිටත්වෙන කොට සුමනසිරි කොළ කෑල්ලක් අරගෙන දුවං ආවා. " අපේ නන්දනී රඟපාන ෆොටෝ එකක් කොළඹ තියේ නම් එවන්නකො. ලොකු උදව්වක් මහත්තයෝ" සුමනදාස අහිංසක විදියට කිව්වා. " අනේ මොනා වුණත් මේ ගෑණි කොච්චර ආසා කළාද නිළියෙක් වෙන්න. කොහෙද ? ගෙදර එක පින්තූරයක් තියා ගන්න නෑනේ. මේ කොල්ලා තරහට පුච්චලා දානවනේ" සුමනදාස ගේ ඒ වචන ටික රන්ජන්ගේ හිතේ තුවාලයක් ඇති කළා. කොළඹ ගිහිං සතියක් ඇතුළත අර මේන් රෝල් එක කරපු නාට්‍යයේ ස්ටීල් එකක් හොයා ගත්තා. එඩිටිං වලින් ටිකිරිලියාව අයින් කරලා නන්දනී විතරක් ඉන්න ලොකු ෆොටෝ එකක් තැපෑලෙන් යැව්වා. මේ පාර සුමනසිරි මැරුණා කියලා ලියුම එන්නේ ඒ පාර්සලේට දාපු ආපසු ලිපිනයට.
වරිච්චි බිත්ති දැං බ්ලොක් ගල් වෙලා. බාගෙට හදපු ගේ ඇතුළට යනකොට රන්ජන් ලොකු පුතාව අතින් අල්ලා ගත්‍තා. නන්දනී දේවිකා ගේ පුතා වෙන්න ඕනේ , කොණ්ඩේ පෝනිටේල් දාලා දණිස්සෙන් පහළට කොට කලිසමක් ඇන්ද එකෙක් මිනිය ළඟ හිටියා. සුමනසිරි අව්වට කර වෙලාවම නන්නාඳුනන මළ සිරුරක් විදියට උඩුකුරුව හිටියා. රන්ජන් ට මුහුණුවරක් මතක් වෙන්නෙම නෑ. එක පාරටම මිනියට එහා පැත්තේ බිත්තිය දිහා බැලුණා. බැලුවා නෙමෙයි. බැලුණා. අවුරුදු දහ අටකට කලින් දෙවැනි සහාය අධ්‍යක්ෂ කෙනෙක් කොළඹින් තැපැල් කරපු ෆොටෝ එකක් ලාබ ෆ්‍රේම් එකක දාලා එල්ලලා තිබුණා. සුමනසිරි ට එහා පැත්‍තෙන් නන්දනී දේවිකා හිනා වෙවී හිටියා.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment