ඉර්ෆාන් හාෆිස් : ලංකාවේ සැබෑ කී බෝර්ඩ් වීරයා හඳුනා ගන්න


නුසේර් යසින් හෙවත් "Nas Daily" යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනනගන ජනප්‍රිය Vlogger වරයෙකි. මෑතකදී අලුත් වීඩියෝවක් මුදාහරිමින් අන්තර්ජාලය කළඹවන මේ ඊශ්‍රායල ජාතිකයා,සැබෑ කී බෝර්ඩ් වීරයා සිටින්නේ ශ්‍රී ලංකාවේ බේරුවල ප්‍රදේශයේ බවත් බවත් ඔහු නමින් ඉර්ෆාන් හාෆීස් බවත් පවසා සිටියේය. ජානගත රෝගයක් හේතුවෙන් දහ නම වසරක් පුරා අක්‍රීයව ඇඳක වැතිර සිටින 37 හැවිරිදි ඉර්ෆාන් ආශ්වාස ප්‍රශ්වාස කරනුයේ සංවාතක යන්ත්‍රයක ආධාරයෙනි. ඒ හැරෙන්නට ඔහුට චලනය කළ හැක්කේ දකුණු අතෙහි එකම එක ඇඟිල්ලක් පමණි. නමුත් අප්‍රාණික සිරුර අමතක කර ඉවසීමෙන් ඒ ඇඟිල්ල ජංගම දුරකතනයේ යතුරු පුවරුව හරහා මෙහෙයවන ඉර්ෆාන් හාෆීස් මේ වන විට ඉංග්‍රීසි බසින් ග්‍රන්ථ තුනක්ම මුද්‍රණය කර අවසන් ය. බේරුවල දර්ගා නගරයෙන් සොයාගත් සැබෑ කීබෝර්ඩ් වීරයා හමුවන්නට ඉරිදා ලක්බිම උත්සුක වන්නේ මේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳ සාක්ෂි දරනු පිණිසය.
ශ්වසන ආධාරකයක් පැලැඳ ඇඳක මුනින්තලාව වැතිර සිටින ඉර්ෆාන් දැන් ලියන්නේ ජංගම දුරකතන තිරයේ අකුරු ඇඟිල්ලකින් ස්පර්ෂ කිරීමෙනි. කලකට පෙර ඔහුට දකුණු අතම සොලවන්නට හැකිව තිබිණ. ඒ කාලයේ ලැප්ටොප් පරිගණකයේ තිරය මත දිස් වන යතුරු පුවරුව මූසිකයක් ආධාරයෙන් තෝරා ගත් ඉර්ෆාන් Voice Typing විකල්පය තෝරා නොගන්නේ ඔහුගේ හඬෙහි අපහැදිලි බව මත එය අසාර්ථක වන බැවිනි. නමුත් හෙතෙම චතුර ලෙස සිංහල ද කතා කරයි. නූස් හඬින් පිළිතුරු දෙයි. "මම 2011 අවුරුද්දේ තමයි ෆේස්බුක් එකට එන්නේ. ඒකේ තියෙනවා Islamic Inspiring Words (IIW) කියලා පේජ් එකක්. වෙන කරන්න දෙයක් නැතිවට ඇඳේ ඉන්න ගමං ඒ පේජ් එකට එක එක කවි ලිව්වා. පේජ් එකේ ඇඩ්මින් සහෝදරිය තව තව ලියන්න කියද්දි තාත්‍තා තමයි කවි කියවලා අපි පොතක් කරමු කියලා මාව පෙළඹුවේ." ඔහු මූණුපොතට ලියූ සරල කවි අගයන පිරිස ක්‍රමක්‍රමයෙන් වර්ධනය විය. ඒ අනුව ඉර්ෆාන් 2012 වසරේ දී දොරට වැඩීමේ උළෙලක් ද සමගින් Silent Struggle නම් තම කුළුදුල් කාව්‍ය කෘතිය එළි දැක්වීය. ඒ කවි 22 ලියන්නට මාස හතරක් ගත වූ බව ඔහු පවසයි. " ඊට පස්සේ මම 2014 දි Moments of Merriment කෙටිකතා පොත ලිව්වා. වචන හතළිස් දාහක් ටයිප් කරන්න මට අවුරුද්දක් ගියා" ඇඳක වැතිරී ජංගම දුරකතනයට ඇඟිල්ලෙන් ඔබමින් ලේඛනයේ යෙදෙන මේ විස්මිත ලේඛකයා ඉන් වෙහෙසට පත් වන්නේ නැත. ඔහු 2016 වසරේ දී Silent Thoughts නමින් තවත් කෘතියක් රචනා කළ අතර මේ සෑම කෘතියක්ම පාහේ දෙවැනි , තෙවැනි මුද්‍රණ වාර පසු කරමින් සිටී.


"පුතා ඉපදුණේ 1981 අවුරුද්දේ. ඉර්ෆාන් ට අයියයි , මල්ලියි , අක්කයි , නංගිලා හතර දෙනෙකුයි ඉන්නවා." විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන හාෆීස් ඉසදීන් හෙවත් අපගේ ලේඛකයාගේ පියා හඬ අවදි කළේය. දර්ගා නගරයේ ඔහුගේ නම නොදන්නා අයෙක් නැති තරම් ය. "අවුරුදු 6 දි ස්පෝර්ට්ස් මීට් එකේ දි පුතා දුවන හැටි දැකලා ඉස්කෝලේ ටීචර්ස් ලා කිව්වා පොඩි වෙනසක් තියෙන නිසා ඩොක්ටර් කෙනෙක් ට පෙන්නන්න කියලා. ඉර්ෆාන් ගේ අම්මගේ ගම මාතර ; අපි එහේ ඉස්පිරිතාලෙට ගිහිං පෙන්නපු ගමං ඩොක්ටර් එක පාරටම කිව්වා "දුෂේන් වගේ. කොළඹ ගෙනිහිං පෙන්නන්න" කියලා." එදා මාතර රෝහලේ වෛද්‍යවරියගේ ක්ෂණික අනුමානය තහවුරු කරමින් මෙය Duchenne Muscular Dystrophy (DMD) බව තහවුරු විය. ප්‍රතිකාර නොමැති ජානගත රෝගී තත්ත්වයක් වන DMD අද වන විට පිරිමි 3,500 : 1 ක අනුපාතයකින් යුක්තය. DMD වැළඳෙන්නේ පිරිමි පාර්ශවයට පමණක් වන අතර රෝග වාහකයා වන්නේ මව ය. " මම මේ ලෙඩේ ගැන හැම දෙයක්ම කියෙව්ව නිසා මේ ලෙඩේ හොඳ කරන්න බැරි බව එදාම දැන ගත්තා. ඒ විතරක් නෙමෙයි. DMD රෝගියෙක්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 18 ක් වගේ බවත් මම දැනගත්තා " හාෆීස් කතාව මදකට නතර කළේය.. " මම ඉර්ෆාන් ගේ අම්මට ඒ කතා කිව්වේ නෑ. ඉතින් අපිත් දරුවා අරගෙන කියන හැමතැනටම ගියා. මාස හයක් ආයුර්වේද බේත් කළා" පියා එසේ පවසන විට ඉර්ෆාන්ටත් තම ළමා කාලය සිහිපත් වෙයි " ශුද්ධාත්මයෙන් ලෙඩ හොඳ කරන තැනකත් හිටියා" ඔහු එක් කළේය.
පාසැල් ජීවිතය අහිමි වීම ගැන කණගාටුවක් ඉර්ෆාන් තුළ නැත. ඔහු දර්ගා නගරයේ සහිරා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි." මම 5 වසරේ ශිෂ්‍යත්වය කරලා ගෙදර නැවතුණාට පස්සේ ආයෙම ඉස්කෝලේ යන්න බෑ කිව්වා. ඒ වෙනකොට මට තනිවම ඇවිදින්න අමාරුයි. යන්න - එන්න කවුරුහරි ඕනේ" තනිවම පාසල් ගිය විට ශරීර කෘත්‍ය කිරීමේදී පවා අපහසුතාවට ලක් වූ නිසා ඔහුගේ තීන්දුවට නිවෙසින් අනුමැතිය ලැබිණ. " අපේ අයියා කළු ලෑල්ලක් ගෙනත් ගෙදරිදි මට පාඩම් උගන්නන්න හැදුවා. මට ඒක අල්ලලා ගියේ නෑ" පාසැල අමතක කළ සිසුවා විෂය නිර්දේශය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට තනිවම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට උත්සුක වී තිබිණ. ඔහුගේ දියුණුව ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලද විදුහල්පතිවරයෙකු වන පියාගේ පවා පුදුමයට හේතු විය. " මට හිතාගන්න බැරි වුණා මෙයා කොහොමද මෙච්චර ඉක්මණට ඉංග්‍රීසි අල්ලගන්නේ කියලා. ඉර්ෆාන් ඉස්කෝලේ කාලේ එච්චර දක්ෂ ළමයෙක් නෙමෙයි" අවසානයේ ඇඳකට කොටි වූ අදක්ෂ ළමයා චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරවන්නටත් , ඉන් නොනැවතී පොත් ලියන්නටත් පටන් ගත්තේය. ඉර්ෆාන් තරම් ඉංග්‍රීසි නොදන්නා පුවත්පත් කලාවේදියෙක් " ඇයි ඉංග්‍රීසිම ඉගෙන ගන්න හිතුවේ" ‍යනුවෙන් ඔහුගෙන්ම විමසුවේ ආත්ම ලජ්ජාව වසා ගනු පිණිසය. " මගේ ලොකු බාප්පලගේ පුතාලා ගියේ ඉන්ටර්නැෂනල් ස්කූල්. එයාලා ගෙදරදි කතා කරන්නේ ඉංග්‍රීසි. මට ඒ කාලේ පුළුවන් දෙමළ විතරයි. එයාලාට දෙමළ බෑ. ඉතිං මට එයාලා එක්ක කතා කරන්න බෑ. මම පොඩි කාලේ තනියම අඬනවා ඒක ගැන හිතලා" ඉර්ෆාන් ට දෙවැනි බස පිළිබඳ උත්‍තේජනයක් සැපයූ ඒ බාප්පලා සහ පුත්‍තු ද අනෙක් බාප්පලා ද අදටත් තම පවුල වෙනුවෙන් ආදරයෙන් බැඳී සිටින බව පැවසුවේ ඔහුගේ පියාණන් ය. "නැතුව මම මේ පෙන්ෂන් එකෙන් කොහොමද මෙච්චර දෙයක් කරන්නේ?"
ස්වකැමැත්තෙන් මහළු වූ ඉර්ෆාන් ගේ පියා වයස අවුරුදු 41 දිම විශ්‍රාම ගන්නේ කලුතර මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති ලෙසය. වයස අවුරුදු 10 දී බිත්ති අල්ලමින් අසීරුවෙන් ඇවිද සිටි ඉර්ෆාන්ගේ ගමන අවුරුදු 12 දී රෝද පුටුවට සීමා විය . අවුරුදු 19 වන තෙක් රෝද පුටුවෙන් ඇවිද යන ඉර්ෆාන් ඉන් අනතුරුව සයනය ටම සීමා විය. දැන් ඔහුගේ වයස අවුරුදු 37 කි. " ඉර්ෆාන් රෝද පුටුවේ තියලා ඇඳට මාරු කරන කාලයක් තිබ්බා. දවසක් නෝනා ඉර්ෆාන් ව ඇඳට දාන්න යද්දි බිම වැටිලා. මෙයා හුඟාක් බර නිසා තුන් හතර දෙනෙක් නැතිව උස්සන්න බෑ. ඉතිං මම එනකං නෝනා ඉර්ෆාන් ළඟට වෙලා බිම ඉන්නවා. එදා
මට තේරුණා විදුහල්පති ද තාත්තද කියලා තීරණය කරන්න වෙන බව" එලෙස ගුරු ජීවිතයෙන් විශ්‍රාම ගත් පියා ඉර්ෆාන් ගේ සහෝදර සහෝදරියන් හා එක්ව තම ජීවිතය ඉර්ෆාන් නමින් කැප කළේය. " මේ සංවාතක යන්ත්‍රය ( Ventilation Machine ) එක පාවිච්චි කරන්නේ හුස්ම ගන්න ආධාරකයක් විදියට. මුල් කාලේ ඕනේ කළේ රෑට විතරයි" යනුවෙන් පැවසූ පියා අදවනවිට මේ යන්‍ත්‍රය පැය 24 ම සක්‍රීයව තිබිය යුතු බව පවසා සිටියේ ය. විදුලිය විසන්ධි වුවහොත් කුමක් කරන්නේදැයි මා විමසුවෙමි. " එහෙම වුණා. අර සුළි සුළං වගේ ඇවිල්ලා මේ පැත්තට දවස් ගාණක් කරන්ට් එක තිබ්බේ නෑ. මගේ මල්ලිලා පැය ගාණෙන් ගාණට කාර් බැටරි ගෙනල්ලා දීලා මේක චාර්ජ් කරලා දුන්නා." පියා එසේ පවසන විට පුතා ඇඳේ වැතිර සැහැල්ලුවෙන් මෙසේ පැවසීය " මේක නැතිව මට ඉන්න පුළුවන් විනාඩි පහයි"
ඉර්ෆාන් හාෆීස් නම් වූ සයනාසන ලේඛකයා එන්නේ තනි ගමනක් නොවේ. ඔහුගේ සෙවණැල්ල වන පියාණන් මේ ගමන් මග විඳ දරාගත් දෑ බොහෝය. " මම DMD රෝගීන්ගේ අන්තර්ජාතික දෙමාපිය එකමුතුවකට බැඳුණා. අවුරුදු ගාණක් තිස්සේ ඒ සමුළු වලට යනවා. ලංකාවෙත් සංවිධානයක් පිහිටෙව්වා. නමුත් අපි එක්ක ඉන්නේ රෝගී දරුවන්ගේ පවුල් 105 ක් විතරයි. සංඛ්‍යා ලේඛන වල හැටියට අඩුම ගාණේ 1,500 ක් වත් ඉන්න ඕනේ" ඔහු මෙම රෝගය සහ රෝගී දරුවන්ගේ ඉරණම පිළිබඳ තම කණගාටුව පළ කළේ ය. " ඒ සම්බන්ධ වුණු පවුල්වල හුඟ දෙනෙක් අහන්නේ හොඳ කරන්න බෙහෙත් තියෙනවද කියලා විතරයි. ඊට පස්සේ සමහර පවුල් දරුවා ගැන අවධානය අඩු කරනවා. තවත් සමහරු බොරු ප්‍රතිකාර පස්සේ ගිහිං සේසතම නැති කරගන්නවා." රෝගී වූ පමණින් තම දරුවා අත් නොහළ අදටත් රෝගය පිළිබඳ කියවමින් , නව ප්‍රවණතා පිළිබඳ යාවත්කාලීන වන මෙ පියාණන් ද මහමෙරක් සේ නොසැලී හිඳියි. නමුත් මහමෙර පවා සැලෙන අවස්ථා නැතුවා නොවේ. කළු ලෑලි ගෙනැවිත් , නිවසේ සිටින මල්ලීට අකුරු කරන්නට උත්සාහ ගත් ආදරණීය අයියා ඉර්ෂාද් ලියුකේමියා රෝගය නිසා ඉන්දියාවේ රෝහලකදී ජිවිතයෙන් සමු ගත්තේය. ඉන් වසර කිහිපයක් ගත වූ තැන මුළු ජීවිතයම ඉර්ෆාන්ගේ සාත්තුව උදෙසා කැප කළ හාෆීස්ගේ ප්‍රිය බිරිඳ ද මෙලොවින් සමු ගත්තාය. ඉර්ෆාන් වසර ගණනකට පෙර තම කුළුදුල් කාව්‍ය සංග්‍රහයේ ඒ ආදරණීය මව ගැන මෙසේ ලියා තිබිණ.
ඔබ දිවිය
මා උදෙසාම කැප කරන ලද්දක් විය
මම සිතමි
ඉතිරි ජීවිත ගමන හෝ
නිදහස උදා කර දිය හැකි බව
මම යදිමි
මාහේ සෑම සියලු යාතිකාවන්හීම
කාරුණික වූ ද පරම දයාබර වූ ද
දෙවියන් වහන්ස;
මගේ මෑණියන් මට වඩා කල්
යෙහෙන් දිවි ගෙවනු මැනව

(The Priceless Treasure| Silent Struggle)
" මම මානසිකව ඇද වැටුණා. ඒත් මට කරන්න හුඟාක් දේවල් තියෙනවා. ඒ නිසා මම අත ඇරියේ නැහැ." යැයි පවසන පියාණන් , හාෆීස් තම දියණියන් සමඟ එක්ව කවි ලියන , පොත් පළ කරන පුතුණුවන් රැක බලා ගනිද්දී අනෙක් පුතුණුවන් රැකියාව පිණිස විදෙස්ගත විය.
කුඩා කළ පාසල් මිතුරන් මූණුපොතෙන් හමු වන බව පැවසූ ඉර්ෆාන් හාෆීස් තම ඊ ළඟ ඉලක්කය වන්නේ කෙටිකතා පොතක් ලිවීම බවත් එය ද ඉංග්‍රිසියෙන්ම ලියන්නට සිතා සිටින බවත් පැවසීය. ජීවිතයෙන් හරි අඩක්ම ඇඳක ගත වූ නිසා සමහර සිදුවීම් සහ අවස්ථා නිර්මාණය කිරීමේදී අන්තර්ජාලය නරඹන්නට වන බවත් ඔහු පවසා සිටියේය. " අපේ පුතා ගැන නෙමේ ඇත්තටම ලියන්න ඕනේ. මේ රෝගී දරුවන් ගැන" යැයි පියාණන් පවසන විට " අඩුම ගාණේ ඒ අයට මේ වෙන්ටිලේෂන් මැශීන් එකක් වත් ආණ්ඩුව ගාණේ අරන් දෙන්න බැරිදැයි" සංවාතක යන්ත්‍රයේ මුඛ ආවරණය අතරින් පුත්‍රයා විමසා සිටියේ ය. ඒ වන විට සන්ධ්‍යා කාලය මියැදෙමින් දර්ගා නගරයට ඇඳිරි වැටෙමින් තිබුණේ සංවාදය නිම කරන්නට ඉඟි සපයමිනි. "අල්ලාහු අක්බර් - අෂ් හදු අල් ලා ඉලහ ඉල්ලල්ලාහ් ..... අල්ලාහ් දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨය - අල්ලාහ් හැර වෙන දෙවියෙකු නැති බව සාක්ෂි දරමි" යනුවෙන් යාතිකා හඬක් ගුවන සිසාරා පැතිරෙන්නට වූයේ රාමසාන් උපවාස කාලය නිම වූ බව සංඥා කරමිනි. වසර දහනමයක් මුළුල්ලේ අප්‍රාණිකව ඇඳකට වී සිටින, සංවාතක යන්ත්‍රයක් ඇසුරෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන , දකුණත එක ඇඟිල්ලක් පමණක් චලනය කළ හැකි ලේඛකයා උපවාසය අවසන් කරමින් පියා මුවගට යොමු කළ නළයක් ආධාරයෙන් දිය බිඳක් පානය කළේය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments: