Unified Korea මේසපන්දු කණ්ඩායම හෙවත් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වීම


මේ දිනවල ස්වීඩනයේ පැවැත්වෙන 2018 මේසපන්දු ලෝක සූරතාවලියේ කාන්තා ඉසව්වේ තුන්වැනි අර්ධ අවසාන පූර්ව වටය පැවැත්වීමට නියමිතව තිබුණේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරය. අද දින එම තරගාරම්භයට පිවිසි කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩිකාවන් නරඹන්නන්ට සමාචාර කරද්දී පසුබිමෙන් නිවේදනය වූයේ කොරියාව උතුර සහ දකුණ ලෙසින් එකිනෙකා සමග තරග නොවදින බවය. ඒ අනුව සිව්වැනි අර්ධ අවසන් පූර්ව වටය ජයග්‍රහණය කළ ජපාන කණ්ඩායම සමග අවසන් පූර්ව වටයේ තරග කරන්නේ උතුර සහ දකුණ මිශ්‍රව සෑදෙන Unified Korea මේසපන්දු කණ්ඩායමකි.
Unified Korea මේසපන්දු කණ්ඩායමක් නිර්මාණය වන මුල්ම අවස්ථාව මෙය නොවන අතර එය වසර 27 ක් ඈතට දිවෙන මතකයක් රැගත් විස්මයජනක සිදුවීමකි. කාන්තා මේසපන්දුවේ චීන ආධිපත්‍ය එක රැයින් සුණු විසුණු කළ මොහොතකි.
1991 මේසපන්දු ලෝක සූරතාවලිය පැවත්වුණේ ජපානයේ චිබා හි දීය. චීන කාන්තා මේසපන්දු කණ්ඩායම ඒ වන විට 1975 වසරේ සිට පිට පිට අට වතාවක් ලෝක සූරියන් වී සිටි අතර ඉන් අවස්ථා පහක දී දකුණු කොරියාව ද අවස්ථා දෙකක දී උතුරු කොරියාව ද අනු සූරියන් වීමෙන් සෑහීමකට පත් වූහ. එය චීනයේ පිංපොං ආධිපත්‍ය බිඳ දැමීම කිසිදා කළ නොහැකි දෙයක් ලෙස විශ්වාස කළ යුගයකි.
1991 අප්‍රේල් මාසයේ පැවතෙන ලෝක සූරතා තරගාවලියට පෙර සිට එක්සත් කොරියානු පාපන්දු සහ මේසපන්දු කණ්ඩායමක් පිළිබඳ සාකච්ඡා වට 22 ක් පැවතුණු අතර අවසානයේ 1991 පෙබරවාරියේ දී මේසපන්දු කණ්ඩායම පිළිබඳ එකඟතා තීරණය ලැබිණ. එය කොරියාව 1945 අගෝස්තු 17 වැනිදා දෙරටක් ලෙස බෙදුණු පසුව ඉතිහාසයේ මුල් වරට එකම ධජයක් යටතට එන මොහොත ලෙස ඉතිහාසගත විය.
 

තරගාවලියට මාස දෙකක් තිබියදී ගත් තීරණය අනුව උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක් රටකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙක් බැගින් සහභාගී කරමින් පුහුණුවීම් ඇරඹීය. සතුරු රටවල් දෙකක මෙතෙක් පිළිමළුන් වූ ක්‍රීඩික ක්‍රීඩිකාවන් දින 46 ක් මුළුල්ලේ එක්ව වෙසෙමින් එක් ධජයක් යටතේ එක් අරමුණක් උදෙසා හැඩ ගැසීම අසීරු කරුණක් වූ බව පැවසිණ. විශේෂයෙන්ම මුල්කාලීනව උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මිත්‍රශීලි බවින් අඩු වූ අතර ඔවුන් සෑම විටම තම රාජ්‍ය නායකයාගේ රුව රැගත් පදක්කමක් පැළඳූහ. දකුණ ඉංග්‍රීසි මිශ්‍ර භාෂාවක් භාවිතා කරන විට උතුර කොරියානු බසින්ම කතා කළහ. " අපි නිතරම අපි ගැනම කුතුහලයෙන් හිටියේ" ඔවුන් පසුව පැවසූහ.
ඒකබද්ධ කොරියානු පිරිමි කණ්ඩායම පරාජයට පත් වූ අතර පිරිමි කේවල ඉසව්වේ ලෝකඩ පදක්කම දකුණු කොරියාවෙන් ඒකාබද්ධ ධජය නියෝජනය කළ ක්‍රීඩකයෙක් දිනා ගනිද්දී කාන්තා කේවල ඉසව්වේ රිදී පදක්කම හිමි වූයේ උතුරු කොරියානු ක්‍රීඩිකාවකට ය. එම ක්‍රීඩිකාව තවත් උතුරු කොරියානු ක්‍රීඩකයෙක් සමග මිශ්‍ර යුගල ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගත්තා ය.

 වඩාත් වැදගත් වූයේ කාන්තා කණ්ඩායම් ඉසව්වේ අවසන් තරගයයි. ලොව අංක 1 සහ 2 ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් සන්නද්ධව සිටි ප්‍රබල චීනය ආරම්භක කේවල තරග දෙකම පරාජය වූහ. තුන්වැනි තරගය වූ යුගල තරගය පෙර කී ප්‍රබල චීන ක්‍රීඩිකාවන් දෙදෙනා එක්ව ජය ගත්තේ රටවල් දෙකම නියෝජනය වන ලෙස ඉදිරිපත් කළ ඒකාබද්ධ කොරියානු ක්‍රීඩිකාවන් දෙදෙනා පහසුවෙන් පරාජය කරමිනි. ඉන් අනතුරුව පැවති සිව්වැනි තරගයේ ජය ලබා ගැනීමට ලොව අංක එකේ චීන ක්‍රීඩිකාව සමත් වූ අතර සමස්ත තරගය 2-2 ලෙස සම විය. පස්වැනි සහ තීරණාත්මක වටය ලොව අංක දෙකේ චීන ක්‍රීඩිකාව සමග ඒකබද්ධ කොරියානු ක්‍රීඩිකාවය. කොරියානු නරඹන්නන්ගේ ඔල්වරසන් සහ සංවිධානාත්මක ජයඝෝෂා මැද තරගය ජය ගත් ඒකාබද්ධ කොරියාව චීනයේ පිංපොං ආධිපත්‍ය බිඳලූ 1991 කාන්තා ලෝක සූරියන් වූහ.




එක්ව ලෝකය ජයගත් සතුරු රටවල් දෙකේ ක්‍රීඩිකාවන් සමුගන්නා මොහොත බෙහෙවින් සංවේදී විය. " ලියුමක් එවන්නම් ; එහෙමත් නැත්නම් ඇමතුමක් දෙන්නම් කියලා කියන්නේ කොහොමද ?" ක්‍රීඩිකාවන් පසුව තම හැඟීම් වචන වලට හැරවූහ. " මොන ජාතියේ සමු ගැනීමක් ද ඒ" ඔවුන් එසේ සිතමින් තමා පැළඳ සිටින මුදු අනෙකාට තෑගි කළහ.
ජයග්‍රාහී ඒකාබද්ධ කණ්ඩායම සමාචාර මධ්‍යයේ දෙරටේම අගනුවර සංචාරය කරන්නට සැලසුම් කළ ද ඊට එරෙහිව දකුණු කොරියාවේ විරෝධතා පැවැත්වුණු බැවින් ඒ අදහස ක්‍රියාවට නැංවුණේ නැත.

ඒකාබද්ධ කොරියානු පාපන්දු කණ්ඩායමක් 1991 වසරේ ජූනි මාසයේදී ක්‍රීඩා කළ අතර 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලට ඒකාබද්ධ කොරියාවක් ඉදිරිපත් වූයේ නැත. රටවල් දෙක වෙන් වෙන්ව වෙනදා මෙන් තරග වැදුණහ. ඉතිහාසගත වූ ලෝක සූරියන් එතැන් පටන් විවිධ ජාත්‍යන්තර තරගවලදී රටවල් දෙකක් යටතේ මුණ ගැසුණු නමුත් ඔවුනට එකිනෙකා සමග කතා බස් කිරීමට පවා අවසර හිමි නොවීය. පසුකාලීනව අනෙක් සියලු දෙනා ක්‍රීඩාවෙන් සමුගන්නා විට එක් උතුරු කොරියානු ක්‍රීඩිකාවක් 2015 පමණ වනතෙක් එරට කාන්තා කණ්ඩායමේ ජාතික පුහුණුකාරිණිය ලෙස තරග බිමේ දක්නට ලැබිණ.
1991 දී එක ධජයක් යටතේ චීනය පරාජය කළ ක්‍රීඩිකාවන් සිව්දෙනා නැවත එක්වීමක් හෙවත් Re union සඳහා 2012 වසරේ දී අවසර ඉල්ලා සිටියද දේශපාලනික හේතු මත දෙරටෙන්ම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඔවුනොවුන් සමග සම්බන්ධතා පැවැත්වීමට නම් රාජ්‍ය අවසරය ලබා ගත යුතු මට්ටමට ඒකබද්ධ කොරියානු සංකල්පය ඉරිතලා තිබිණ.
2018 වසරේ මෙලෙස ස්වීඩනයේ දී පිපෙන්නට වෙර දරන්නේ එදා 1991 වසරේ දී ජපානයේ දී පිබිදුණු ඒකාබද්ධ කොරියාවක මල් කැකුළු ය.
2012 වසරේ දී As a one නමින් දකුණු කොරියානු චිත්‍රපටයක් නිර්මාණය වන්නේ ද මේ සිදුවීම ඇසුරෙනි.
ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙමින් පවතී. ඒ වෙන කිසිවක් අරභයා නොව ;
චීනය ද පරදවා ලෝකයම ජය ගත්තද එකිනෙකා සමග කතා බස් කරන්නට අවසර අහිමි වූ Yu Sun-bok , Hyun Jung-hwa , Li Bun-hui සහ Hong Cha-ok නම් වූ යොවුන් ක්‍රීඩිකාවන් හට විසි හත් වසරකට පසු සතුටින් දොඩමළු වනු පිණිසම ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. koriyaa dheka ekathuweema magea podi kaalayea inndhan thibba heenayak...
    aasaawak...

    ReplyDelete