සිනා සිසී මා එන මග


"එන දවසක් වත් හරියට කිව්වේ නැද්ද ?" ඈත බලාගෙන උන්නු මහත්තයා එකපාරටම ඇහුවා. කාර් එකෙන් බාපු අන්තිම බෑග් දෙකත් සාලෙන් තිබ්බ නිහාල් ඔළුව උස්සලා බැලුවා. " නෑ සර්. සර්ට බය වෙන්න එපාය කියන්න කියලා තමයි දෙතුන් වතාවක්ම කිව්වේ" එහෙම කියන ගමන් නිහාල් ආයෙමත් කාර් එක පැත්තට ගියේ වැරදිලාවත් තව බෑග් එකක් ඉතුරු වෙලා තියෙනවද බලන්න. "තව මොනවට බය වෙන්නද" මහත්තයා තමන්ටම කියා ගන්නවා ඇහුණා. කාර් එකේ දොර අරිනකොටම ආයෙම වතාවක් කටහඬ අවදි වුණා. " චුට්ටක් ඉන්න. මම ඔය ළමයට බොන්න මොනවා හරි ගේන්නම්" කියපු මහත්තයා "කූල් කමක් නෑනේ" කියලා අහන ගමන්ම ඇතුළට ගියා. ඒ කියන්නේ මේ ගෙදර ෆ්‍රිජ් එකකුත් තියෙනවා. නිහාල් කල්පනා කර කර දොර ඇරපු කාර් එකෙන්ම වාඩි වුණා.මේක දැන් පඹ ගාලක් වගේ.
නිහාල් මේ කතන්දරේට පැටළුණේ අහම්බෙන්. ඇල්ටෝ කාර් එක කැබ් සර්විස් එකකට දාලා හයර් දිව්වට නිහාල්ට කෝල් කරලා ගෙන්න ගන්න කස්ටමර්ස් ලා කීප දෙනෙකුත් හිටියා. ඇතුල් කෝට්ටේ තියෙන "රූ චායා" සැලූන් එක අයිති මැඩම් එයින් එක්කෙනෙක්. පරක්කු වෙන දවස් වලට කැබ් සර්විස් එකකට කෝල් කරන්න කලින් නිහාල්ට කෝල් කරලා ඉන්නවද බලන තරමට මැඩම්ට නිහාල්ව විශ්වාසයි. රූ චායා මැඩම් එයාපෝර්ට් හයර් එකක් කියලා ඊයේ කතා කළා. ගියාම තමයි දන්නේ රට යන්නේ මැඩම් නෙමේ කියලා. " අනේ නිහාල්... " මැඩම් වෙනදා වගේම කට උල් කරගෙන තොඳොල් වුණා. " ඔයා මුලින්ම අපේ මේ නීශාව එයාර්පෝර්ට් එකට දාන්න ඕනේ. ඕ.කේ ? " මැඩම් අත් දෙක දෙපැත්තට වන වන පැහැදිලි කළා. " ඊට පස්සේ හොඳ ළමයා වගේ අන්න අර බෑග්ස් ටික ගෝල් වල එයාගේ ගෙදරට ගෙනිහිං දෙන්න ඕනේ.ඕ.කේ ? " මැඩම් කොහොමත් උත්තර බලාපොරොත්තු නොවී දිගටම කතා කරන ජාතියේ කෙනෙක්. "ඔයා අද ම ගෝල් යන්න ඕනේ නෑ නිහාල් ... හෙට ගියත් ඇති. අනේ ප්ලීස්.. මට මේක කරලා දෙන්න" පෙන්ටගන් එකට ගුවනින් ප්‍රහාරයක් එල්ල කරන්න බාර දෙනවා වගේ කතා කළාට මේක සුළු වැඩක්නේ කියලා නිහාල් ට හිතුණා.
නීශා කියන්නේ රූ චායා මැඩම් ළඟ වැඩ කරන ගෑණු ළමයෙක් වෙන්න ඕනේ. ලා නිල් පාට හිර ඩෙනිම් කලිසමකට සුදු ටී ෂර්ට් එකක් ඇඳලා හිටිය කෙට්ටු ගෑණු ළමයෙක් බෑග් කන්දරාවක් එක්ක පිටිපස්සෙන් වාඩි වුණා. වෙඩින් එක්කට යන්න වගේ මේක් අප් තට්ටුවක් දාගෙන හිටියට ටිකක් ලැජ්ජාවෙන් ඉන්නවා වගේ කියලා නිහාල් ට හිතුණා. මගදිගට කෝල්ස් වල නිමක් නෑ. ෆෝන් එක කණේ තියාගෙන හෙමින් හෙමින් කුටු කුටු ගෑවා. මෙයා ඉන්නේ මොකක් හරි කලබලයකින් කියලා කණ්ණාඩියෙන් පිටිපස්ස බලන නිහාල් ට කීප වතාවක්ම හිතුණා. කාර් එක පෑලියගොඩින් හයි වේ එකට දැම්මට පස්සේ නීශා "අය්යේ" කියලා කතා කළා. " මෙන්න මේ ඇඩ්‍රස් එකට තමයි මගෙ බෑග්ස් ටික ගෙනියන්න ඕනේ" කටේ ටොපියක් තියාගෙන වගේ කටහඬකින් නිශා කොළයක් දික් කළා. ඒ කියන විදියට හෙට ගාල්ලට ගිහිං මේ බෑග් ටික නිශා ගේ තාත්තට දෙන්න ඕනේ.ගාලු කිව්වට බද්දේගම , සන්දරවලටම යන්න ඕනේලු. බෑග් ටික දෙන ගමන්ම තමන් රට ගිය වග තාත්තට කියන්න කියලා කියනකොට නිශා ගේ කටහඬේ පොඩි වෙනසක් ආවා. ඇත්තටම ටොපියක් තිබිලා ඒක ගිලුණ ද දන්නේත් නෑ . මාස දෙකකින් වගේ ආයෙම එනවා කියලා තාත්තට බය නැතුව ඉන්න කියලා කියන්න කියලා නීශා කීප වතාවක්ම නිහාල් ගෙන් ඉල්ලා හිටියා. "ප්ලීස් අයියා. නැත්නම් තාත්තා බය වෙයි". කොළඹ හතේ වගේ කතා කළාට ගෙවල් තියෙන්නේ ගාල්ලේ ලු. ගාල්ලේ කියලා ලියලා දෙන ඇඩ්‍රස් එකේ හැටියට ඇත්තටම ඉන්නේ සන්දරවල ලු. සැලූන් එකේ අයට වසන් කරගෙන හිටියට අඩුම තරමේ ටෙලිෆෝන් එකක් වත් නැති ගෙදරක් වෙන්න ඕනේ. නිහාල් ට සිද්ධිය තේරුණා. එහෙම නැත්නම් මේ ගෑණු ළමයෙක් කොළඹ ඉඳන් නුගේගොඩ යනවා වගේ හිටි ගමන් රට යයිද ගෙදරටත් නොදන්වා ? ඒත් නැත්නම් මොකක් හරි පෙම් පලහිලව්වක් තමයි. කාටද අප්පා මේවා තේරෙන්නේ. ඒ වෙනකොට නීශා කිය කිය හිටියේ තාත්ත ප්‍රින්සිපල් කෙනෙක් නිසා සන්දරවල ට ගිහිං නම කිව්වාම පාර හොයාගන්න අමාරු වෙන්නේ නැති විත්තිය " අයියේ .. මේ බෑග් එක මතක් කරලා තාත්තගේ අතටම දෙන්න" නීශා පොඩි කඩදාසි බෑග් එකක් ඉස්සරහ සීට් එකෙන් තිබ්බා. " අනේ අයියේ . මේක අනික් බෑග් අස්සේ දාන්න නම් එපා. තාත්තා මගේ බෑග් කිසිදෙයක් අරින්නේ නැති නිසා එයාට බලන්න වෙන එකක් නෑ" නිහාල් හැම දේටම එහෙයි කියාගෙන ඔලුව වනාගෙන එයාර්පෝර්ට් එකට ඇල්ලුවා.
සන්දරවල ටිකක් දුර වුණත් රූ චායා මැඩම් ගෙන් මේ හයර් එකේ ගාණ ලැබෙනවා කිව්ව නිසා නිහාල් පහුවෙනිදා උදේ පාන්දරම පිටත් වුණා. කිව්වත් වගේම ගමනාන්තයට ළං වෙලා නීශාගේ තාත්තගේ නම කිව්වාම පාර ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වුණා. නිහාල් බලාපොරොත්තු වුණේ ගරා වැටිච්ච ගෙයක ඉන්න මහලු තාත්තා කෙනෙක්. ඒත් තිබුණේ කොළපාට තාප්පෙට කළුපාට ගේට්ටුවක් දාපු තරමක් ලොකු ගෙදරක්. ඉස්තෝප්පුවේ පුටුවක පත්තර බල බල හිටිය මහත්තයා ළඟක දි විශ්‍රාම ගිය බව මග දි පාර කියපු කවුරු හරි කිවුවා. නිහාල් කතාව මුල හරිය කියනකොටම ඒ විශ්‍රාම ගිය විදුහල්පති තුමා මතු වුණා. "මොන සැලූන් එක ද කිව්වේ ? කොහෙද ? ඔය ළමයා කොහොමද දන්නේ ? කවුද මැඩම් ? ඒ කියන්නේ ඔයා නමක් වත් දන්නේ වත් නෑ ? " වගේ ප්‍රශ්න කීපයක් සැරෙන් පිට වුණා. තමන් ආවේ හයර් එකක් බවත් බෑග් ටික දීලා ආයෙම කොළඹ යන්න ඕනේ බව නිහාල් ටිකක් තදින් කිව්වට පස්සේ ඒ මහත්තයා ඈත බලාගෙන කල්පනා කරන්න වුණා. "මේ වගේ ගෙදරක ටෙලිෆෝන් එකක් නැති වෙන්න බෑනේ. ඒ නැතත් අහළපහළක වත් ?" බෑග් බාන ගමන් නිහාල් ට මුල් වරට නිශා ගැන සැකයක් පහළ වුණා. අච්චර රට වටේට කෝල් ගත්ත කෙල්ල ඇයි තාත්තට කෝල් නොකළේ ? මේ ඉන්නේ ඇත්තටම නීශාගේ තාත්තාමද එහෙමත් නැත්නම් වෙන කවුරුවත් ද කියන ප්‍රශ්නය හිතේ තියාගෙන නිහාල් ආයෙම කාර් එකේ වාඩි වුණ ටිකට තමයි මහත්තයා කූල් බීම එකක් ගේන්න ගියේ. ෆ්‍රිජ් එකක් පවා තියෙන ගෙදරක ටෙලිෆෝන් එකක් නැද්ද ?
"මේකේ මොනවද දන්නේ නෑ තියෙන්නේ " මහත්තයා අර නිශා වෙනමම දෙන්න කියලා දුන්න කඩදාසි බෑග් එක අස්සෙන් සී.ඩී එකක් එළියට ගත්තා. නිහාල් හිතුවේ නම් ඒ බෑග් එකේ තාත්තට ලියුමක් වත් ඇති කියලා. දැන් ඉතිං තාක්ෂණේ දියුණු නිසා ලියුමෙන් කියන්න ඕනා ටික සිංදුවකින්ම කියලා සී.ඩී එකකටම දාලා දුන්නද දන්නේත් නෑ. අන්තිමට නිහාල්ට වුණා මහත්තයගේ ඉල්ලීම මත ගෙදර ඩීවීඩී ප්ලේයර් එක හයි කරලා සී.ඩී. එක දාලා දෙන්න. කේබල් වල දූවිලි බැඳිලා තියෙන හැටියෙන්ම තේරෙනවා ඒක හත් අවුරුද්දකින් පාවිච්චි කරලා නෑ කියලා. " මේ දරුවා ඉතිං කොළඹ ගියානේ. ඉන් පස්සේ ඕවට මම අතක් වත් තියලා නෑ". නිහාල් ට ඒ කටහඬේ ලොකු ශෝකාකූල බවක් දැනුනා. "කොළඹ ද ඉස්කෝලේ ගියේ" බඩ නිසා හරි අමාරුවෙන් පාත් වෙලා කේබල් ටික ගහන ගමං නිහාල් ඇහුවා. " නෑ නෑ. එකේ පංතියේ ඉඳන් හිටියේ මගෙ ඉස්කෝලෙමයි . දරුවෝ දෙන්නම මා එක්කමයි ඉස්කෝලේ ගියේ " මහත්තයා එහෙම කියලා ටික වෙලාවක් බලං හිටියා. " අර ඉන්නේ ලොකු පුතා - දැං ඉංජිනේරුවෙක්" බිත්තියේ එල්ලපු උපාධි ෆොටෝ එකකට අත දික් කරන ගමන් ආයෙම කතාව පටන් ගත්තා. එතකොට නිහාල් ඩීවීඩී ප්ලේයර් එක හයි කරලා ඉවරයි. "මෙයාලගේ අම්මා නැති වෙනකොට දෙන්නම බාලාංශ පංති වල. ලොක්කා නම් පේරාදෙණි තේරුණා." කියලා කිව්වත් ප්ලේයර් එකේ සද්දෙට කතාව ටිකක් නතර වුණා. "ඒකට මේ දරුවා. ඉස්කොලෙන් හොඳම ප්‍රතිඵලත් අරගෙන කැම්පසුත් තේරිලා ඉන්න අස්සේනේ මේ බහුබූත ඔළුවේ දාගත්තේ" මහත්තයා ෆොටෝ එල්ලෙන බිත්තිය දිහා බලාගෙන කියනකොටම සංගීතයක් එක්ක සිංදුවක් වාදනය වෙන්න ගත්තා. අබිරහසක් හෙළිකරන වීඩියෝ එකක් වගේ දෙයක් තියෙයි කියලා බලාගෙන හිටිය නිහාල් කට ඇරගෙන සිංදුව අහගෙන හිටියා.
මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
මේ මොන මඟුලක් ද කියලා නිහාල් හිතනකොට මහත්තයා ටිකක් කල්පනාකාරී විදියට බලාගෙන හිටියා. " ඕක ඒ කාලේ කිව්වේ පේශලා මෙන්ඩිස් .. මම කිව්වේ අපේ කාලේ. ඉස්සර රේඩියෝනේ තිබ්බේ" මහත්තයා හෙමින් හෙමින් සිංදු ගැන කතා කළාට ඔළුවේ වෙනදෙයක් වැඩ කරන බව නිහාල්ට තේරුණා. එතකොට මේ පේෂලා මෙන්ඩිස් නීශා ගේ කවුද ? නිහාල් කල්පනා කළා. කාලෙකින් ඇහුණට නිහාල්ටත් සිංදුව නම් අහලා තියනවා මතකයි.
පීනා සිප් සයුර දෙතෙර - සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී
ළඟ තිබ්බ පුටුවේ වාඩි වුණු මහත්තයා තාම ප්ලේයර් එකයි ටී වී එකයි දිහා බලාගෙන ඉන්නවා. "පේෂලා මෙන්ඩිස් ගේ තාත්තත් ප්‍රින්සිපල් කෙනෙක්. එයා ඒ කාලේ හේනේගම සෙන්ට්‍රල් එකේ එහෙම හිටියා" මහත්තයගෙන් ඇහෙන කටහඬ ටිකක් වෙනස්. වෙව්ලනවා වගේ. හේනේගම සෙන්ට්‍රල් එකක් ගැන කිව්වාම තමයි නිහාල් ට මතක් වුණේ. මග දි පාර කියපු කෙනෙක් කිව්වේ මේ මහත්තයා තමයි කාලාන්තරයක් තිස්සේ ගමේ පිරිමි ඉස්කෝලේ ප්‍රින්සිපල් හිටියේ කියලා. ඒත් මහත්තයා දැං කට රවුම් කර කර කිව්වනේ ළමයි දෙන්නම එයාගේ ඉස්කෝලෙමයි ඉගෙන ගත්තේ කියලා. නිහාල් ට ඒ පාර මේ වයසක මනුස්සය ගැන සැකයක් ආවා. නීශා ඇත්තටම මෙයාගේ දුව නම් කෝ එයාගේ ෆොටෝ එකක් ? වට පිට බැලුවාට හැමතැනම තියෙන්නේ පිරිමි ළමයෙක්ගේ ෆොටෝ විතරමයි. ඒ අර ඉංජිනේරු පුත්‍රයා වෙන්න ඕනේ. එහෙනම් නීෂා ගේ ෆොටෝ එකක් කෝ කියලා හිතනවත් එක්කම අර කෙහෙල්මල් සිංදුව ආයෙම පටන් ගත්තා
එපා ඔටුනු මගේ සිරසට - එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මග හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ

සිංදුව ඉවර වුනා. විනාඩි ගානක් යනකම් කිසිම සද්දයක් නැහැ. මහත්තයා ඔළුව උස්සන්නේ නැතුව බිම බලාගෙන ඉන්නවා. හරියට සම්භාව්‍ය නාට්‍යයක් රඟපානවා වගේ. මේ විකාරය බල බලා ඉන්න බැරි නිසා නිහාල් එළියට එන්න අඩිය තිබ්බා. ඉස්සරහට යනකොටම ආයෙම මහත්තයගේ කටහඬ " යන රට මොකක්ය කියලා ඔය ළමයට කිව්වේ නැද්ද ?" පුටුවෙන් බාගයක් නැගිට්ට මහත්තයා නිහාල් දිහා බැලුවා " නැහැ සර්. " කියන ගමං නිහාල් ට ආයෙම දෙයක් මතක් වුණා. " ඒත් කෝල් එකකදි කාටහරි බැංකොක් යන කතාවක් කියනවා නම් ඇහුණා" නිහාල් ඒක කියලා එළියට බැස්සා. මහත්තයා පුටුව උඩ වාඩිවෙන සද්දයක් ආවා.
ආයෙම වතාවක් මුල ඉඳන් වාදනය වුණු සිංදුවේ අන්තිම හරිය තමයි ඒ වෙනකොට ගියේ. කාර් එකට නගින්න හදන නිහාල්ට ඒක ඈතින් ඇහුණා.
එපා ඔටුනු මගේ සිරසට - එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මග හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

7 comments:

  1. Seems like transgender.. well written.

    ReplyDelete
  2. I have to write another comment. It was superb writing skill..please do continue writing..I managed to read most of your articles and amazed with your writing skill.
    No one has balls to talk about something like sexualities as it was abanded from our society to talk about.
    But Im so glad how you did it.

    ReplyDelete
  3. සංක්‍රාන්ති ලිංගිකයකුගේ අසරණකම....!!! :(

    ReplyDelete
  4. Do you really think transgenders are weak. I was thinking they must be very strong and confident. It's not easy to come out from a typical sri lankan society as we all think there should be only straight people are normal and others are abnormal or done something bad in their previous life to be like them. Simply Karmic.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete