ඉසුරු කේටර්ස් හි ආහාර පාන ප්‍රණීතය



ගම්පහ ඉසුරු කේටර්ස් හි ආහාර පාන ප්‍රණීතය. නමුත් කවුන්ටරය අසල පොදිකන කස්ටමර්ස්ලා දණිස් පොල්කටු දෙක බිමට ගෙවී කුරුමිට්ටන් වනතුරු ම ආහාර නොලැබේ. ඔබ එහි යන්නේ නම් , පුළුස්සාගත් පොල් කැබැල්ලක් ගෙනයාම වටින්නේ එකම දේ දසවතාවක් මරහඬ දීමෙන් උගුර බැරැන්ඩි වන නිසා ය.
කිසියම් කෙනෙක් අතුරුදන් වී යැයි පැමිණිල්ලක් කළ විට ගම්පහ පොලිසියෙන් උපදෙස් ලැබෙන්නේ පළමුව ඉසුරු කේටර්ස් පෝලිම පරීක්ෂා කරන ලෙසය. තම දියණියගේ 21 වැනි උපන්දිනය වෙනුවෙන් ඇණවුම් කළ කේක් එක රැගෙන අපේ නැන්දා කෙනෙක් ගෙදර ගිය විට දියණිය ඇය දැක බියට පත්ව සිහි විසඥ වූවාය. ඒ වන විට දියණියට වයස 22 සම්පූර්ණ ව තිබූ අතර කේක් ගෙනෙන්නට ටවුමට ගොස් අතුරුදන් වූ නැන්දාගේ වර්ෂ පූර්ණ පිංකම සමරා තිබුණේ දින කිහිපයකට පෙරය. සමහරු පවසන්නේ මැතිනිගේ කාලයේ ඉසුරු එක ඉදිරිපස පාන් පෝලිමේ සිටගත් පිරිස් තවමත් එතැනම සිටින්නට ද ඉඩ ඇති බවයි.
ජපනුන් ලංකාවට බෝම්බ දැමූ විට කොළඹ ගෙවල් අතැර ගම්පහට දිව ආවෝ ද ඔය ගොඩේ සිටින්නට හැකිය. ඒ කාලයේ සිට පෝලිමේ සිටි ඔවුන් සමහරෙක් අවසානයේ පාන් ගෙන එහි මිල අසා සිහිසන් වූ බව ද පැවසේ. කිහිප දෙනෙක් පාන් මිලට ගෙන එළියට බහින විට දෙවන ලෝක යුද්ධය පමණක් නොව සහස්‍රකය ද නිම වී තිබිණ. එබැවින් ඔවුන් තම පවුල් සොයන්නට ගොස් යළිත් වතාවක් අමාරුවේ වැටෙන්නට අකැමති ව ඉසුරු කේටර්ස්හිම සේවයේ යෙදෙන්නට තීරණය කළහ. අනාදිමත් කාලයක සිට එහි සේවය කරන සියල්ලන්ගේම කන් හරිහැටි නොඇසෙන්නේ එබැවිනි. වරද ජපනුන්ගේ බෝම්බ වලය. ඒ මිස ඉසුරු එකේ නොවේය.
මේ සියලුම නාඩගම් අපි දකින්නේ සතියකට වරක් පමණය. නමුත් එහි හිමිකරු අයියා දිනපතා මේ නළඟන විකාර දැක සසර කළකිරී ඇති හැඩය. හෙතෙම ඒ කෝපය පිට කරන්නේ මුදල් අයකැමි යන්ත්‍රයේ කී බෝර්ඩ් එකට හෙණ ගසන්නාක් මෙන් පහර දීමෙනි. අල්ලපු ගොඩනැගිල්ල ගම්පහ ඉස්ටේසමය. යකඩ යකා හූ කියද්දීත් අප නිවී සැනසිල්ලේ බටර් කේක් ගිල දමනෙමු. නමුත් එක්වරම අයියා හනුමා දර පලන්නාක් මෙන් Enter බට්න් එකට දමා ගසයි. ඒ සද්දයට තිගැස්සී අච්චර සංසාර දුකක් විඳ මිල දී ගත් කිරි තේ එක ඉහිරී යයි.

කෑම නම් අදටත් ඉතා මිහිරිය. 
කෝච්චිය හූ කියන්නේ පාඩමක් ඉගෙන නොගන්නා අපිටය. 
අයියා කී බෝර්ඩ් එකට ගහන්නේ ඒ දුකටය. 
කෝච්චිය ගම්පහ සිට එක්ස්ප්‍රස් වන්නේ ඒ බයටය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. හෙහ්, හෙහ් නියමයි :)

    ReplyDelete
  2. මේක පරණ එකක නේද?

    ReplyDelete
  3. මම අවුරුදු එක හමාරකට වඩා නතර වෙලා ඉන්නේ ගම්පහ...
    මේකට ගිහින්ම නෑ මගේ හිතේ...
    යශෝදරා එක ලඟ තියෙන කෑම කඩයෙන් තමයි බත් කන්නේ...
    ඒක තමයි මට දැනෙන විදිහට ගම්පහ අංක එක...

    ReplyDelete