දවස පත්තරේ රූප සුන්දරී තරගයක් විනිශ්චය කරන්න ආපු සුමිත්‍රා පීරිස් මහත්මියයි , තිස්ස අබේසේකර මහත්තයයි තමයි මට ලෙස්ටර් ජේම්ස් පීරිඅ මහතා කරපු "ගම් පෙරළිය" චිත්‍රපටයේ රඟපාන්න එන්න කිව්වේ. මට එතකොට වයස අවුරුදු 16 යි. අපි ඉතිං ලෙස්ටර් සර් ගේ ගෙදරට ගියා. ඒ කාලේ ලෙස්ටර් සර් හිටියේ දෙහිවල එයාලගේ මහ ගෙදර. ඒ 1962 අවුරුද්ද වෙන්න ඕනේ. අවුරුදු පනස් හයක් ගියත් තාම ලාවට මතකයි ඒ ගෙදරට ගිය හැටි. මාව දැක්ක ගමංම සර් " අයියෝ මේ පොඩී කෙල්ලෙක් නේ. මෙයාව නන්දාට ගැලපෙන්නේ නෑ" කියලා කිව්වා. ඒ වෙලාවේ සර් ගේ ගෙදර තිස්ස අබේසේකර , ගාමිණි ෆොන්සේකා , සුමිත්‍රා පීරිස් එහෙමත් හිටියා. අපි හොයන්නේ අවුරුදු විස්ස පැනපු නන්දා කෙනෙක් කිව්ව සර් කෝකටත් කියලා ගාමිණි ෆොන්සේකා එක්ක ඩයලොග්ස් වගයක් කියන්න දුන්නා. ටයිප් රයිටර් එකකින් ගහපු නන්දාගේ දෙබස් වගයක්. මමත් ඉතිං ඒ ටික ගිරවෙක් වගේ කියවගෙන ගියා. එතනින් තමයි මාව ගම්පෙරළිය චිත්‍රපටයේ ලැයිසා ගේ චරිතයට ගත්තේ. මට කරන්න තිබ්බේ දඟකාර හැසිරීම් තියෙන ලාබාල යුවතියකගේ චරිතයක්. අපි ඒ කාලේ කොහොමත් දඟ නිසා අලුතෙන් රඟපාන්න දෙයක් තිබුණේ නැහැ. බලපිටියේ මහා කප්පින වලව්ව සහ ඒ වටේ තමයි රූගත කිරීම් කළේ. මට මතකයි ඒකේ එක තැනක තිබුණා ලැයිසා තිස්සගේ අතේ තියෙන අඹ ගෙඩිය උදුරගෙන කන සීන් එකක්. වික්‍රම බෝගොඩ තමයි තිස්ස. නමුත් සංස්කරණයේ දී ඒ දර්ශනේ කැපුණා මම හිතන්නේ.
ලෙස්ටර් සර් එක්ක මගේ රංගන ජීවිතේ ආරම්භ වුණේ එහෙමයි. මාත් අයිරාංගනී සේරසිංහයි දෙන්නම සිනමාවට ආවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන මහා සිනමාවේදියා නිසා. මට අදටත් හිතෙන්නේ ඒක මම ලබපු ලොකු භාග්‍යයක් කියලා. සර් ට කවුරු හරි ශිල්පියෙක් ගැන පැහැදීමක් ඇති වුණොත් , හිත ගියොත් ඒ නළුවා හෝ නිළිය , එහෙමත් නැත්නම් ශිල්පියා ව අත අරින්නේම නැහැ. ගම්පෙරළියෙන් පස්සේ ලෙස්ටර් සර් මට 1966 තිරගත වුණ "දෙලොවක් අතර" චිත්‍රපටයේ ගුරුවරියකගේ චරිතයක් රඟපාන්න කතා කළා. මාව මේක් අප් කරලා දර්ශන දෙක තුනක්ම ගත්තා. ඒත් ඒක බලලා සර්ම කිව්වා " අනුලාව මේ චරිතෙට ගැලපෙන්නේ නැහැ. අනුලට වඩා සැරට ළමයි කතා කරනවානේ" කියලා. ඊට පස්සේ තමයි ඒ වෙනකොට අත්දැකීම් තියෙන ජනප්‍රිය නිළියක් වුණු සුවිනීතා වීරසිංහ ව ගුරුවරියගේ චරිතයට ගත්තේ. ලෙස්ටර් සර් මට චිත්‍රපටයට දුන්න ඇඩ්වාන්ස් එකත් ඔයාම තියා ගන්න කිව්වා. ඒ ගමන්ම "අනුලා; මම මේ ටිකේ කතාවක් ලියාගෙන යනවා. ඔයාගේ පෙනුමට වයසට , කතා බහ කරන විදියට ගැලපෙන ලස්සන කතාවක්. මම ඒකට ඔයාව ගන්නවා" කියලා කිව්වා. ඇත්තටම මට ඒ චරිතෙන් මාව අයින් කළා කියලා දුකක් හිතුණේ නැහැ. ඒ කාලේ එහෙම දේවල් වෙනවත් අඩුයි. ඒත් ලෙස්ටර් සර් ඒ වැඩේ හරි ලස්සනට විසඳුවා. ඒ අස්සේ පත්තර වලින් අහන්න ගත්තා "ඇයි අනුලා කරුණාතිලකව චිත්‍රපටයෙන් අයින් කළේ" කියලා. එතකොට සර් " අනුලාගේ කතා විලාසය සහ පෙනුම ගුරුවරියකගේ චරිතයකට ඔබින්නේ නැහැ.එයත් පාසල් ළමයෙක් වගේ.එහෙම තියෙද්දි අනුලා ලවා ඒ චරිතය කරන එක අනුලාටත් හොඳ නෑ - මටත් හොඳ නෑ" කියලා පත්තරේට උත්තර දුන්නා.
ඊට පස්සේ තමයි සර් 1967 තිරගත වුණු රන්සළු චිත්‍රපටයේ සරෝජිනී ගේ චරිතයට මාව ගත්තේ. මට ඒ චරිතයට සම්මානයකුත් ලැබුණා. පුණ්‍යා හීන්දෙණිය තැන්පත් චරිතයක් කරනකොට මට තිබ්බේ ටිකක් දඟකාර ගෑණු ළමයෙක්ට ඉන්න. අපි ඒ කාලේ හරි විනෝදෙන් හිනා වෙවී රූ ගත කිරීම් කළේ. ටෝනි රණසිංහ අපිට කරන්න කියලා කියන දේවල් කර කර හැමෝටම විහිළු කර කර හැමතැනම හිනාවෙවී දුවනවා. සර් අපිට බණින්නේ නැහැ. හැබැයි අපි සර් එක්ක විහිළු කරන්නේ නැහැ. ඒ තරම් ගෞරවයක් අපිට තිබුණා. මේ හැම චිත්‍රපටයකම ගෑණු ළමයි ටික බලාගත්තේ සුමිත්‍රා මැඩම්. ඇත්තටම ඒ දෙන්නා අපිව බලා ගත්තේ අම්මා - තාත්තා වගේ. සර් කවදාවත් සැරෙන් කතා කරන්නේ නැහැ. හරිම හෙමින්,සංසුන්ව ඉංග්‍රිසීයෙන් , සිංහලෙන් දෙකෙන්ම කතා කරනවා. මම මගේ රංගන ජීවිතේ දැක්ක කරුණාවන්තම අධ්‍යක්ෂවරයා ලෙස්ටර් සර්.
රන්සළු කරන කාලේ අපි දැනගෙන හිටියා ගොළු හදවත නවකතාව ෆිල්ම් එකක් කරන බව. ඒත් නළු නිළියෝ කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. අන්තිමට ලෙස්ටර් සර් ඔක්කොම වැඩ ඉවර වෙලා මට කිව්වා " අනුලා.... මෙක තමයි මම ඔයාට කිව්ව කතාව. මමයි ජයලත් දෙන්නම මේක ලිව්වේ ඔයාව ඔළුවේ තියාගෙන" කියලා. "ගොළු හදවත" ෂූට් කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ. පළවෙනියටම ෂූට් කළේ දම්මි හෝටල් කාමරේට ගිහිං සුගත්ට බොන එක නවත්තන්න කියලා ඉල්ලන සීන් එක. ඒක කළේ ලංකා චිත්‍රාගාරයේ හදපු කාමරයක. ඊට පස්සේ කළේ රබර් වත්තේ ඇවිදින රූ ගත කිරීම්. ධර්මපාල ඉස්කෝලේ නිවාඩු කාලේ එනකම් සර් වෙන වෙන දර්ශන රූ ගත කළා. මාත් එක්ක මල්කාන්ති නන්දසිරි , කුමාරි ලක්ෂ්මි වගේ අයත් රඟපෑවා. කරුණාසේන ජයලත් මහත්තයා වැඩට යන්නේ නැතිව හැම දර්ශනයකම සර් එක්ක හිටියා. අන්තිමට 1968 තිරගත වුණු "ගොළු හදවත" චිත්‍රපටයේ දම්මි චරිතය හරහා මට හිතාගන්න බැරි ජනප්‍රියත්වයක් ලැබුණා. සර් එවෙලේ මට කිව්වා " අනුලා ; මෙතනින් එහාට ඔයාට ලබන්න දෙයක් නෑ. ඔයා ඒ තැනට ගිහිං ඉවරයි" කියලා.
මීට අවුරුදු ගාණකට කලින් සුමිත්‍රා පීරිස් මහත්මිය ට බරපතල විදියට අසනීප වෙලා හිටියා. ඒ කාලේ ලෙස්ටර් සර්ට අමාරුවෙන් වුණත් ටිකක් ඇවිදින්න පුළුවන්. මම මැඩම්ව බලන්න ගියාම සර් ඉක්මණට ඉස්සරහට ඇවිල්ල " අනේ .. දම්මි ඇවිල්ලා" කියලා මාව මැඩම් ළඟට එක්කගෙන ගියා. මැඩම් ළඟට ගිහිං " සුමිත්‍රා ... මේ බලන්න. දම්මි ඇවිල්ලා අපිව බලන්න. ඔයාට දම්මිව අඳුනන්න පුළුවන් නේද ? බලන්නකෝ එයාත් ඇවිල්ලා ඔයාව බලන්න . ඔයා ඉක්මණට සනීප වුණාම අපි වෛෂ්ණාවි ඉවර කරන්න ඕනේ නේ." කියලා පොඩි ළමයෙක් වගේ දුකෙන් කතා කළා. ඇත්තටම කියනවා නම් ලෙස්ටර් සර් - සුමිත්‍රා මැඩම් කියන්නේ දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. ඒ තරම් දෙන්නට දෙන්නා ආදරෙන් හිටියේ.
ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන මහා සිනමාවේදියා නැති අඩුව විස්තර කරන්න වචන මා ළඟ නෑ. ඒ අඩුව ඒ තරම් තදට අපට දැනෙමින් තියෙනවා.
සටහන : සහන් කසීර වික්‍රමසිංහ | ලක්බිම | මංජුසාව | 2018 මැයි 05
රසවත් ලිපියක්
ReplyDelete