මෙහෙයුම



කොල්ලුපිටිය හංදිය ය. අව් රශ්මිය ය. උණුසුම ය. දුම් රියපොළ ආසන්නයේ රැඳී සිටින මැදිවියේ මිනිසා නොඉවසිල්ලෙන් බලා හිඳී. අවට ගැවසෙන යාචකයින් , පුලන්නන් සහ කපුරු බෝල විකුණන ළමා වෙළෙන්දන් නොරිස්සුමෙන් ඉවසා සිටින ඔහු කිසිවෙකුගේ හෝ පැමිණීම අපේක්ෂා කරන හැඩය. සමුද්‍ර මාවත ඔස්සේ පැමිණි ත්‍රිරෝද රථයකි. බිමට බැස මුදල් ගෙවන තරුණ ළඳකි. වම් කරෙහි වූ බෑගය දකුණු කරට ලා ගන්නා ඇය වම් අතේ කුඩා කුඩයක් පමණක් තබා ගනී. එය දකින මිනිසා ය. සංඥාව හඳුනාගන්නා හෙතෙම ඇය අසලට පැමිණ මුවපුරා සිනාසී පිළිසඳරේ යෙදෙයි. ඔවුන් එකිනෙකා සමග සුහදව කතා බස් කරමින් මද වේලාවක් ගත කළහ. තරුණිය කුමක් හෝ විමසූ අතර මිනිසා අත දිගු කර ගාලු පාර දිසාව පෙන්වීය. හිස සැලූ තරුණිය මිනිසා සමග ඒ දෙසට ඇදෙන්නට විය. කොල්ලුපිටිය මංසන්ධියට පැමිණ දෙදෙනා වායුසමීකරණය කළ බස් රථයකට නැගුණහ.
------------------------------------------------------
" ඔයා දැන් මොකටද හදිසියේ කොළඹ දුවන්නේ " මැදිවියේ මිනිසාගේ බිරිඳ එසේ ප්‍රශ්න කළේ දින කීපයකට පෙර ය. හඬ නොඉවසුම් සහගත ය. කෝප ය ය. බිය ය. "මම හිතුවා දෙයියනේ කියලා අපිට දැන්වත් පාඩුවේ ඉන්න පුළුවන් ඇති කියලා" එවර ඇයගෙන් තරමක් නූස් හඬක් පිට විය. "ඔයාට කියන්න තිබ්බානේ පොඩි එකාට අසනීපයි කියලා . එහෙම කිව්වා නම් වෙන කාව හරි හොයා ගනියිනේ"
කුස්සියේ බංකුවක් උඩට වී බත් පිඟාන අතැතිව සිටි මිනිසා අවඥාසහගත බැල්මක් හෙළීය. අසල තිබූ වතුර ජෝගුව කටට හලා ගත් ඔහු පිඟාන දෙස බලමින් කතා කරන්නට විය. " දැං මම කොල්ලට අසනීපයි කියලා කිව්වොත් ඒක ඇත්තක්ද නැද්ද කියලා හොයා ගන්න බෑ කියලද ඔයා හිතං ඉන්නේ" ඔහු බත් පත ඇනීම නතර කළේය. " මේක එහෙම ආවාට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි."
බිරිඳ වළඳක් අතින් ගෙන සැමියාගේ පිඟානට පරිප්පු හැන්දක් බෙදුවාය. " දැන් ඒක ඔයාගේ අතට ගන්නේ ඇයි. මොකක් කරන්නද හිතාගෙන ඉන්නේ"
" ෂ්... " මැදිවියේ මිනිසා බාධා කළේය. කෝපයෙනි. කල්පනාවෙනි. " මම එක වතාවක් කිව්වා නේද මේවා කතා කරන්න එපා කියලා" ඔහු පිඟාන බිරිඳට දිගු කරමින් නැගිටින්නට විය. " මට කිව්වේ මෙච්චරයි. මම කොළඹට යන්න ඕනේ. එහෙන් උපදෙස් දෙනවා මම ඒක කොතනින් කාගෙන් ද ගන්න ඕනේ කියලා. ඒක කොහෙට ගෙනිහිං දෙන්න ඕනේද කියලාත් කියන්නේ මම කොළඹට ගියාට පස්සේ" කරාමය විවෘත කර අත සෝදන්නට වූ හෙතෙම කතාව නවතයි. බිරිඳ දෙස බලයි " ඊට පස්සේ මම ආයේ ගෙදර එනවා"
" ඒත් .. ' ඇය ගේ හඬ අතෘප්තිමත් ය. "මම හිතුවා මේවා ඔක්කොම ඉවරයි කියලා. දෙයියනේ කියලා අපිට අපේ පාඩුවේ ඉන්න දෙයි කියලා " ඇය කණගාටුව තම මුහුණෙන්ද ප්‍රකාශ කළාය. " ඇත්ත කියන්න... කොළඹ ආයෙම පටන් අරගන්න ද යන්නේ ? අනේ ඔයා ඕවට යන්න බෑ කියන්න" ඇය සැමියාගේ අතින් අල්ලා ගත්තාය.
මැදිවියේ මිනිසා බිරිඳගේ අත අතහැර නිදන කාමරය වෙත පිවිසිණ. ඔහු එල්ලා තිබූ කමිසයක සාක්කුවකින් කුඩා පොතක් එළියට ගත්තේය. "නෑ නෑ.. මේක අහන්නකෝ" ඔහු ඇඳේ වාඩි වී බිරිඳ දෙස බැලුවාය. " අලුතෙන් කිසි දෙයක් පටන් ගන්නේ නෑ. මේ ඔක්කොම පරණ වැඩ. අපි ඒවා ඉවර කරන්න ඕනේ." ඔහු අත ඇති පොත කියවමින් හිස වනන්නට විය. " අපිට මේ ගෙවල් , රස්සාවල් ඔක්කොම දීලා මෙහෙට එව්වේ ඒවා ඉවර කරන්නත් එක්ක තමයි " ඔහු පිටුවක් පෙරළාගනියි. බිරිඳ මුව විවර කරන්නට පෙර පාඩමක් කියවන ගුරුවරයෙක් මෙන් කතාව අරඹයි.
" මේක ඉන්දියාවෙන් මෙහෙට එවන්නේ 2000 අවුරුද්දේ දි. ඒ කාලේ කාටවත් කොල්ලුපිටිය ටවුන් එකට ගිහිං චිප් එකක් හයි කරන්න බෑ. ස්ටේබල් ලොකේෂන් එකක් නැතිව හයි කරලාත් වැඩක් නෑ. අන්තිමට ඒකේ එක ප්ලෑන් එකක් විදියට තමයි ඉන්දියාවෙන් මේක ලංකාවට දෙන්නේ. අලුතෙන් හයි කරන්න දේකුත් නෑ. කාටවත් සැකයක් නෑ. මේක ගෙනල්ලා තියන ලොකේෂන් එක මොකක්ද කියලා දන්න නිසා කට්ටියට නිවී සැනසිල්ලේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණා " ඔහු කතාව නවත්වා උපැස් යුවළ ගලවා බැලීය. " ඔය ඒරියා එක හයි සෙකියුරිටි සෝන් එකක්. චිප් එක ලස්සනට ෆික්ස් කරලා එවලා තිබ්බත් ඒක ඇක්ටිවේට් කර ගන්නම මාස හයකට වඩා කල් ගියාලු"
බිරිඳ සැමියා අසලින් වාඩි වුණාය. " ඉතිං දැං ඒකට මොකක්ද කරන්න යන්නේ"
"ඒක එතන තියෙනකම් වැඩ ඔක්කොම හරියට කෙරුණා. ප්ලෑන් කරපු කිලෝ මීටර් ගාණම කවර් කළා. 2005 දි ෆොරීන් මිනිස්ටර් ගේ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න ඔක්කොම ඩේටා ආවේ මේ චිප් එකෙන්." ඔහු රහසින් මෙන් පැවසීය. " කාලෙන් කාලෙට මේ ලොක්කව මේ ගෙදරින් යවන්න හැදුවා. අපි ඇහැ ගහගෙන හිටියේ එහෙම වුණා නම් කියලා. වෙලාවට ඒක වුණේ නැහැ." ඔහු කණ්ණාඩිය දමා ගත්තේය. " එතකොට අපේ මිෂන් එක ඉවරයි. එක නිසා මෙක ගන්න ඕනේ. එයාලා දන්නේ නැති වුණාට අපේ කට්ටිය එක එක විදියට ඒ ගෙදරට ගියා. වැඩේ හරි ගියේ නෑ. විශේ ෂයෙන්ම ගෙවල් මාරු කරන කතාවක් එන හැම කාලෙකම අපේ අය ඔය වටේ කැරකුණා"
"ඔය වගේ පොඩි දෙයක්වත් කරගන්න බැරි මිනිස්සු ද අප්පා රටවල් අල්ලන්න ගියේ " බිරිඳ තම කෝපය වචන වලට හැරවූවාය.
මැදිවියේ මිනිසා ඇය දෙස සමච්චල් සහගතව බැලුවේය . "දන්න බම්බුව තමයි." ඔහු නැගී සිටියේය. " ඔයා ඔය කොළඹ පාරක් තොටක්වත් දැකලා නැතිවනේ විකාර දොඩවන්නේ.. එක පාරක් අපි පොල් කඩන මිනිහෙක් විදියට එකෙක් ව යැව්වා. ඒත් වැඩේ හරි ගියේ නෑ. තව පොඩ්ඩෙන් ඔක්කොම ගස්"
" මේ තමයි අන්තිම චාන්ස් එක. මේ වෙලාවේ වැඩේ නොකළොත් ඕක කොහෙට භාර දෙයි ද දන්නේ නෑ. එහෙම වුණා නම් ආයෙම පරණ ඒවා ඔක්කොම ඇදෙනව. අපිවත් කොහෙන් මොනවට ගෑවෙයිද දන්නේ නෑ. කියන්න බෑ.. කවුරු කොයි වෙලාවේ පාවලා දෙයි ද කියලා " ඔහු බැරෑරුම් ලෙසින් පැවසීය.
"අන්න ඒකයි මම මේ වැඩේට කැමැත්තෙන් යන්නේ. මේක ඉවරයක් වුණාම අපිට සැනසීමෙන් ඉන්න පුළුවන්" මැදිවියේ මිනිසා බිරිඳ දෙස ආදරයෙන් බැලුවේය.
------------------------------------------------------
සෙනසුරාදා උදෑසන ය. ගුවන්විදුලිය ය. සැණෙකින් පුවත් ය. 

" ...................... අවමංගල්‍යොත්සවයේ දී සොරා ගැනුණූ සම්මානය කඩුවෙල - කොල්ලුපිටිය බස් රථයක ගමන් මළු දමන රාක්කයේ තිබිය දී සොයා ගැනේ. අවසන් කටයුතු පැවැත්වුණු බදාදා දිනයේ දී අස්ථානගත වූ මේ සම්මානය ඉන්දියාවෙන් පිරි නමන ලද එකක් බව පොලිසිය ප්‍රකාශ කරයි.
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

3 comments: