ඉදිරී වැටිණි එ තැපැල් කණුව



දහස් ගණනක් එහා මෙහා ඇදෙන
නොඉවසිලිමත් නගරයක වුව
තිබෙන්නට හැක
පාඩුවේ හිස ඔසවා සිටින
නිහඬ නිසල තැපැල් කණුවක්

අව් වැසි සුළං මැද වුව
රතු පැහැයෙන්
වෙනත් පාටකට ආදරේ බව නොකියන
පාඩුවේ හිස ඔසවා සිටින
නිහඬ නිසල තැපැල් කණුවක්

උදාසීන රාජකාරි ලියුම් ය
හීන දිගන්තෙන් හීන වල තේරුම් අසන
සනුකගේ සිංදුවක් ඉල්ලන පෝස්ට් කාර්ඩ්ය
පමා වූ වාරික ගෙවන්නට කෙරෙන ඇරියුම් අතර
කෝපයෙන් දමා ගැසූ අනාදර පණිවුඩ ය
ඒ සියල්ලටම යට වුණු
ආදර සුසුම් තැවරුණු සෙනෙහෙ කොළ ය

මේ සියල්ල දැක දැකම
මට බැහැය - මේ ඇතිය
හෑබෑවට මොවුන්
දවසකට ලියන ලියුම් ඕනෑවට වැඩිය
කිසිදිනෙක නොකියන
ආදර හසුන් - මංගල යෝජනා සහ මරණ දැන්වීම්
අම්මාට තබන කෙටි පණිවුඩ
එයාකාරයෙන්ම විසුරුවන
දන්නා කාලයක හිඳ
රතු පැහැයෙන්ම සිටි
නිහඬ නිසල තැපැල් කණුව ය

ඒ ඒක වර්ණයෙන් වසා ගත්
කුහර හදවත තුළ
මොනවා තිබෙන්නට ඇති ද
ලියන්නට ආසා සෙනෙහෙ කොළයක්
තබන්නට ආසා පණිවුඩයක්
බණින්නට ආසා බැණුමක්
නොතිබිණි ද
අනුන් නමට එවූ ලියුම් අතර
රවුම් අකුරෙන් ලියා
තමන්ගේ නමට එවන
එකම එක ලියුමක් ගැන
ආසාවක් නොතිබුණිද

ආත්මාර්ථකාමී නගරයක් මැද
නිසල තැපැල් කණුවකට වුව
පණ ගැහෙන හදවතක් තිබෙන්නට ඇත
මා නමට ලියැවුණ
අකුරක් අදත් නැද්දැයි
නිහඬවම රහසේම
සෝ සුසුම් හෙළන්නට ඇත

ප්‍රියේ ..
ඔබේත් මගේත් පෙම් හසුන්
නැති නොකළ තැපැල් කණුව
කාටවත්ම නොකියා
ඉදිරී වැටුණේ
ඒ නිසා වන්නට ද බැරි නැත
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment