සංවේදී


මිනිහෙක්ට සහලෝලා උණ ගැනුණාම හුස්ම ගන්නත් බැරි තරම් නෑදෑ හිතමිතුරෝ කාමරේට වට වෙන්නේ ඇයි කියලා සෙනරත් කල්පනා කළා. හුස්ම හිරවෙලා මැරුණාම ලැබෙන ඉන්ෂුවරන්ස් එක උණ හැදිලා මැරුණාම ලැබෙන ඉන්ෂුවරන්ස් එකට වඩා වැඩිද යකෝ කියලා අහන්න ඕනේ වුණත් ඒ වචන කටින් පිට වුණේ නෑ. දැඟලිල්ලක් විතරයි. සෙනරත්ගේ නෝනා චන්දිමා ඉක්මණට ඇඳට හේත්තු වෙලා සෙනරත්ගේ ඔලුව අත ගෑවා. " ගිනි කබලක් වගේ" කට්ටිය දිහාට හැරිලා කිව්වා. ලෙඩා බලන්න ආපු ඔක්කොම ශෝකබරිත මූණෙන් ඔළුව වැනුවා. හරියට එයාලටත් රස්නේ දැනුණා වගේ.
චන්දිමා රෝග නිධානය විස්තර කරපු විදියට අහං හිටිය හැමෝටම සෙනරත්ගේ උණ ගැන විතරක් නෙමෙයි රටේ මේ දවස් වල පැතිරෙන ඕනෑම උණක් ගැන මනා අවබෝධයක් ඇති වුණා. පුතාගේ හයවැනි උපන්දිනේට ප්‍රතිභා ළමා නිවාසෙට දවල් දානේ දුන්නේ පෙරේදා. චන්දිමා හිතන විදියට ළමා නිවාසෙන් උණ බෝ වෙන්නත් ඉඩ තියනවා. " ඒකනේ චන්දි. ඔය ළමයි එච්චර පිරිසිදු නෑ නේද " චන්දිමා ගේ ඔෆිස් එකේ වැඩ කරන තිවංකා මූණ අමුතු කරගෙන කියනකොට සෙනරත් ආයෙම දැඟලුවා. චන්දිමා සෙනරත්ගේ ඔලුව අත ගගා ම කතා කළා. "නැතුව මෙයාට මහන්සි වෙන්න දෙයක් තිබුණේ නෑනේ අනේ. අපි කේටරිං සර්විස් එකකින්නේ කෑමත් ඕර්ඩර් කළේ". ගෙදර නළාව පිඹින සද්දේ එක්ක සෙනරත් ආයෙම නොසන්සුන් වුණා. " පොඩ්ඩක් වැඩක් කළාට උණ ගැනෙන්න මූ බබෙක් යැ" සෙනරත් ගේ පොඩි කාලේ ඉඳන් යාලුවෙක් වුණු රුවන් ඕනෙවට එපාවට කිව්වා. උඹ විතරයි මචං එදා ඉඳන් ඇත්ත කියන්නේ කියනවා වගේ බැල්මකින් සෙනරත් බැලුවා. දැඟලුවේ නෑ. " අනෙක් කාරණේ.. " චන්දිමා රහසක් කියන්න වගේ ඉස්සරහට නැමුණා " සෙනේ හරී..ඊ ම සෙන්සිටිව් නේ. අර අම්මලා තාත්තලා නැති ළමයි දැක්කම ඒකට අප්සට් ගියා ද දන්නේ නෑ. පොඩි දේටත් හිත උණු වෙනවානේ" කියනකොට රුවන් කට ඇද කළා ද මන්දා. මිනිහා වැඩ කරන්නේ විකල්ප පත්තරේක. එතකොටම සෙනරත්ගෙ ඔෆිස් එකේ නිශාලි කට ඇරියා " අනේ ඔව් ! සර් ඔෆිස් එකේත් හරීම කරුණාවන්තයි" ඇවිල්ලා මාස හයක් නෑ. දහපාරක් වරද්දන්නේ නැතිව තවම මෙමෝ එකක් ඩ්‍රාෆ්ට් කරගන්න බෑ . එනවා මෙතන චරිත සහතික ලියන්න. සෙනරත් ගේ දැඟලිල්ල වැඩි වුණා.
ප්‍රගති ළමා නිවාසේට දානේ දෙන අදහස චන්දිමාගේ. සෙනරත් නම් ඒකට කැමති වුණේ නෑ. " මොකටද චන්දි අම්මා තාත්තා නැති ළමයි රෑනක් ඉස්සරහ අපි අපේ ළමයව තුරුළු කරගෙන නටන්නේ" කියලා කිව්වට ඇත්තටම ඒ අදහස ගත්තේ ගොසිප් සයිට් එකකට වැටුණු කමෙන්ට් එකකින්. කවුද මන්දා වෙන්ඩ නිළි බාගයක් එයාගේ ළමයාගේ උපන්දිනය ළමා නිවාසෙක අරගෙන තිබුණා. ගොසිප් සයිට් එක ඒක ලොකු ප්‍රවෘත්තියක් විදියට දැම්මා. කමෙන්ට් කරපු සද්ජන පාඨක ප්‍රජාව ඒ නිළියගේ ලොකු අම්මගේ අල්ලපු ගෙදර ගෑණිට හිටිය මිනිස්සු ගාණ පවා සංඛ්‍යාත්මකව සඳහන් කරලා තිබුණා. ඒත් ඉතිං ඒ කමෙන්ට්ස් වගේම තමයි ඉතිං සෙනරත්ගේ අදහසත්. මහා ලොකුවට ප්‍රකාශ කළාට කිසිම බලපෑමක් වුණේ නෑ.
ළමා නිවසේ ළමයි දවල්ට කාලා, පින් අනුමෝදන් කරලා පාලිකාවගේ අණ පරිදි සිංදු , නැටුම් ගැයුම් දක්වන්න ගත්තා. රුවන් හිටියා නම් උඹලා මොකෝ බං මේ පොඩි ඈයන්ට බත් ඩිංගක් දීලා රිලා නැටුම් නටවන්නේ කියලා අහන එක සිකුරුයි.

අපි තාමත් කරත්තේ 
පූණු ගෙවුණු කරත්තේ 
කවුද ගොන්නු කරත්තේ
අපියි ගොන්නු කරත්තේ ..

පරණ පුරුදු සිංදුවක් ලස්සන හඬකින් ඇහෙන්න ගත්තාම සෙනරත් කෝල් එක කට් නොකරම තාප්ප කණ්ඩියෙන් එබිලා බැලුවා. යාන්තමට කර දඬු උස් මහත් වෙන ළමයි ටිකක් අවුරුදු තිහක් විතර පරණ , සෙනරත්ලාගේ කාලේ ළමා නාට්‍යයක සිංදුවක් රඟපානවා. ඒ ප්‍රින්ස් ඔෆ් වේල්ස් ඉස්කෝලේ සිංදුව අන්තිමට ඇහුණේ කොහෙදිද කියලා කල්පනා කරනකොට සෙනරත්ට දහම් පාසල මතක් වුණා. ඉගෙන ගන්න කාලේ නෙමෙයි උගන්නන කාලේ. සෙනරත් තමයි තනතුරට ප්‍රධානාචාර්‍ය නොවුණාට දහම් පාසලේ වැඩ වලින් ප්‍රධානාචාර්‍ය. ග්ර්ර් .. ගාලා ඇඳේ හිටිය සෙනරත් ගොරවන්න ගත්ත නිසා චන්දිමා ආයෙම පවන් සලන්න වුණා.
ඒ අවුරුදු පහළොවකට විතර ඉස්සර. සෙනරත් උගන්නපු දහම් පාසලට ළඟ තිබුණ පිරිමි ළමා නිවාසේ ළමයි කණ්ඩායම ඇතුළු කරගන්න වුණා. ලොකු හාමුදුරුවෝ කීව විදියට නම් ඒක නොකර බැරි නිසා ගත්ත තීරණයක්. කලින් දහම් පාසල් දෙක තුනකින් අස් කරපු මේ ළමයි කාණ්ඩේ අනිත් අයට පෙනුණේ ජනාවාසයකට අත ඇරපු වඳුරු රංචුවක් වගේ. නිතරම ඔරවාගෙන ඉන්න , කිසිම තෙතමනයක් නැති මූණු. විවේක කාලයට ගස් කොටන්න විතරයි උනන්දු. ඒ වගේම හැමතිස්සෙම දබරයට සූදානම්. " මුං එකෙක්වත් ඉගෙන ගන්න උං නෙමෙයි" කියලා පොදුවේ කිව්වට ඒ අතරේ හිටියා නීල් කියලා අහිංසක පෙනුමක් තියෙන එක ළමයෙක්. පංතියේ දෙවැනියා වෙන , බෝල අකුරු ලියන නීල් සමිතිය දවසට ළමා නිවාසෙම පොඩි ළමයි කීප දෙනෙක් එක්ක රඟපාමින් සිංදුවක් කිව්වා. හැමදාම කිව්ව සිංදුව තමයි ඔය අපි තාමත් කරත්තේ.

වින කරන්න බැලුම් හෙළන යකුනි හතරවටේ
නවත්තන්න ඉන්ද්‍රජාල තොප ළඟ දැන් නැතේ 
කෑලි වලට කැඩුණත් අපි තනි කරන්නේ නැතේ 
අපි ඉහළට ගෙන යනවා කරත්තේ කර පිටේ.

නීල් ඇතුළු කණ්ඩායම පුදුම ගැම්මකින් රඟපාන කොට අනෙක් අංග වලට අවධානය යොමු නොකරන ළමා නිවාසේ ළමයි හරි උනන්දුවෙන් අත්පොඩි ගහ ගහ බලාගෙන හිටියා. ඒත් වැඩි කාලයක් ගියේ නෑ. එක දවසක් ලොකු හාමුදුරුවන්ගේ කන්තෝරු කාමරේ මේසේ උඩ තිබ්බ සල්ලි වගයක් නැති වුණා. සැකය කෙළින්ම එල්ල වුණේ ළමා නිවාසේ ළමයින්ට. එදා දහම් පාසලේ ලොකු කලබගෑනියක්. පන්සලේ රිළවා දහම් පාසලේ ගෑණු ළමයෙක් ව හපා කාපු දවසේවත් එහෙම උණුසුමක් තිබුණේ නැහැ. ලොකු හාමුදුරුවෝ වේවැල අරං නඩු ඇහුවට පාරක්වත් ගැහුවේ නෑ. කොල්ලො එකෙක්වත් සල්ලි ගත්ත බවක් පිළිගත්තෙත් නෑ. "ඇට්ටර බල්ලෝ" කියලා බැණපු හාමුදුරුවෝ කෝල් එකක් දීලා ළමා නිවාසේ පාලිකාව ගෙන්නුවා. ඊට පස්සේ ප්‍රධාන චරිතේ රඟපෑවේ එයා. තමන්ගේ අත්දැකීමෙන් හැබිචෝල් කාරයෝ තෝරලා කම්මුලට පාරක් එහෙම ගහලා ඇහුවත් මැඩම්ටත් එක වචනයක් වත් එළියට ගන්න පුළුවන් වුණේ නෑ. අවසානෙදි මුළු ළමා නිවාසයම දහම් පාසලෙන් අයින් කරන්න යෝජනා කරපු හාමුදුරුවෝ අවසාන තීන්දුව ගන්න එක සෙනරත් ට භාර කළා. ඒක සෙනරත් මීට කාලයක් තිස්සේම ඉල්ලපු ඉල්ලීමක් බව නොදැන පාලිකාව බුරුලක් ඉල්ලලා සෙනරත් ගේ හිත දිනාගන්න උත්සාහ කළා. " මෙන්න මූ තමයි අංකූරා.. අනික් ළමයි වගේ නෙමේ සර්. පාරේ හිඟා කකා ඉන්නකොට මූව ගෙනත් දුන්නේ පරිවාසෙන්" මැඩම් එහෙම කියන ගමං ඔරවගෙන ඉන්න එකෙක් ගේ කණ ඇඹරුවාට සෙනරත් තමන්ගේ තීරණය වෙනස් කළේ නෑ. එදයින් පස්සේ සෙනරත්ගේ දහම් පාසල ළමා නිවාසේ වදයෙන් ගැලවුණා. නීල් ව මතක් වුණේ ඊ ළඟ සමිති වාරෙදි.

අපි තාමත් කරත්තේ 
පූණු ගෙවුණු කරත්තේ ...

අවුරුදු ගාණකට පස්සේ ආයෙම ඒ සිංදුව වෙන ළමා නිවාසෙකින් ඇහෙනකොට සෙනරත්ට නීල් ව මතක් වුණා. එදා රෑ සෙනරත්ට නින්ද ගියේ නැති තරම්. කාලෙකින් පස්සේ වුණ මහන්සියට වෙන්න ඇති කියලා හිතුවට ඊ ළඟ දවසේ දවල් වෙනකොට උණ ගත්තා. ප්‍රයිවට් හොස්පිට්ල් එකක කාමරයකට එන්න පුළුවන් වුණේ ඉතිං ඉන්ෂුවරන්ස් කාර්ඩ් එක නිසා. දාඩිය දාපු සෙනරත් " නීල්.. නීල්" කිව්වා. ඒත් සද්දේ පිට වුණේ නෑ. ගොර ගොර සද්දේ විතරයි. ඒ පාර චන්දිමා තව හයියෙන් පවන් ගැහුවා.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. බොරුවම රජ කරණ, පුහු ආටොපෙන් පිරුණු ලෝකයක්... අපිත් අඩු වැඩි වශයෙන් ඔය චරිත රඟපානවා නොදැනුනාට...

    ReplyDelete