"ගාලු පාරෙන් දාමු. කොම්පඥ්ඥවීදිය පැත්තේ ට්‍රැෆික් ඇති" නදීෂ එහෙම කියන ගමන් ම ෆෝන් එක දිහා බැලුවා. ඔෆිස් පටන් ගන්න තව වෙලාව තියෙනවා. හැබැයි කොළඹ ට්‍රැෆික් එක නම් විශ්වාස කරන්න බෑ. ආණ්ඩුවේ බඩු මිල වගේ. කොයි වෙලාවේ වැඩි වෙයිද කියලා කියන්න කාටවත්ම බෑ. " මම මේ ෆෝන් එකේ පොඩි වැඩක්. ඔයාට පාර අහන්න ඕනේ වුණොත් එහෙම අහන්න" රියදුරු ආසනය දිහාට නැඹුරු වෙලා එහෙම කියපු නදීෂ ත්‍රී වීල් එකේ හරිබරි ගැහිලා ෆෝන් එකට ඔලුව ඔබා ගත්තා. ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙද්දි කොච්චර නම් දේවල් තියෙනවද කරන්න ?
නදීෂ මේ ත්‍රී වීල් එකට නැග්ගේ පිට කොටුවේ පාවෙන්නේ නැති වුණත් පාවෙනවා කියන වෙළඳ සංකීර්ණය ළඟින්. නවත්තපු ත්‍රී වීල් එකේ ඩ්‍රයිවර් හාදයා මීටරයක් තියෙනවා කියලා කිව්වාම කොල්ලුපිටියට යමු කියලා නදීෂ කිව්වා. " පාර කියන්න පුළුවන් ද " කියලා රියදුරු ආසනයෙන් ප්‍රශ්නයක් ආවා. මොකෝ බැරි ? මුලින්ම බෑග් එක සීට් එක උඩින් තිබ්බ නදීෂ රථය ඇතුළට ගොඩ වුණා.
" නෑ සර්. මම කොළඹ නෙමෙයි" රියදුරු තරුණයා එහෙම කිව්වේ නදීෂ අහපු ප්‍රශ්නය නිසා. කොල්ලුපිටියට යන පාර නොදන්න මීටර් ටැක්සියක් කොළඹ දුවන්න බෑ කියන උපකල්පනේට එන්න තරම් මගියාට ත්‍රී වීල් ගැන අත්දැකීම් තිබුණා. කොළඹ නෙමෙයි නම් කොහෙද කියලා අහන ප්‍රශ්නයට පිළිතුර වුණේ අවිස්සාවේල්ල කියන එක. ඊට පස්සේ පටන් ගත්තේ දැනුමයි වාසනාවයි වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්.මේ තරුණ රියදුරා ගමේ පළතුරු බීම කඩයක් කරන බවයි ඒකට බඩු ගන්න කොළඹ ආපු බවයි බඩු ලෑස්ති කරන තුරු හයර් එකක් දුවන බවයි නදීෂ දැනුවත් වුණා. " අවිස්සාවේල්ලේ මීටර් ටැක්සිත් තියෙනවද ?" කියලා කඩ ඉම් ප්‍රශ්නයක් ආවාම තමන් බඩු ගන්න නිතරම කොළඹට එන බව රියැදුරා කිව්වා. අවිස්සාවේල්ලේ කොහෙද කියන ප්‍රශ්නයට "දැරණියගල" කියලා උත්තරයක් ලැබුණාම ප්‍රශ්න අහන කෙනා ටිකක් ගොළු වුණා.
දැරණියගල ! නදීෂ ආයෙමත් හිතුවා. හිතුවා විතරක් නෙමෙයි කිව්වා. රියදුරු තරුණයා පිටිපස්සේ හැරිලා හිනා වෙනකොට නදීෂ හරි උද්‍යෝගෙන් වචන විදින්න වුණා. " මගේ ගමත් දැරණියගල නේ" ඒ කතාව එක්ක ආයෙම සංවාදයක් ඇති වුණා. මේ පාර පටන් ගත්තේ දොරමඬලාව වගේ වැඩසටහනක්. නදීෂ අතීතකාමයෙන් මත් වෙලා දොඩවගෙන යනකොට රියැදුරු තරුණයා පාළුවට වගේ හූ මිටි තිබ්බා. කොච්චර නම් දේවල් කියන්න තියෙනවද දැරණියගල ගැන. "අපේ බාප්පලා තාම ඉන්නේ රස්නක්කන්දේ" නදීෂ උදාන වාක්‍යයක් වගේ කියනකොටම පිටපතට ගැලපෙන විදියටම රියැදුරු තරුණයා ඔළුව හරවලා විස්මය පල කළා.
ඊට පස්සේ ගම ගැන අතීත ආවර්ජනයක් දිග ඇරුණා. නදීෂ ඉන්නේ කැළණියේ වුණාට තාත්තගේ ගම දැරණියගල. තාත්තා කැළණියේ හිටියට තාත්තගේ අම්මායි මල්ලියි දෙන්නම ඉන්නේ දැරණියගලමයි. "ඉන්නේ නෙමෙයි" නදීෂ හරි ගැස්සුවා. "හිටියේ.. මොකද අවුරුදු දෙකකට කලින් ආච්චි මැරුණානේ "
ඒක වෙන්නේ මෙහෙමයි. නදීෂගේ සීයා කැළණියේ පදිංචිකාරයෙක්. වයස අවුරුදු විස්සෙන් තේ වත්තක ලියන මහත්තයෙක් විදියට රස්සාවක් ලැබිලා දැරණියගල රස්සාවට යන්නේ. එතනදි හාද වෙලා බැඳගත්ත ඒ ගමේ හිටිය නූගත් තරුණියක් තමයි නදීෂ ගේ ආච්චි. " සීයගේ පැත්තෙන් කැමති වෙලා නෑ" නදීෂ අහලා තියෙන දෙයක් මතක් කළා. ඉතින් අන්තිමට සීයා සර්පයෙක් ගහලා මැරෙනකොට සීයට වයස අවුරුදු විසි හතයි ලු. ඒ වෙනකොට නදීෂගේ තාත්තට අවුරුදු පහයි , බාප්පට අවුරුදු තුනයි ලු. " කැළණියෙන් මළ ගෙදර එනකොට තාත්තයි බාප්පයි වත්තේ වැඩ කරන ගෑණුන්ගේ ළමයි එක්ක සෙල්ලම් කරනවලු. " වෙන එකක් තියා ඒ වෙද්දි තාත්තට දෙමළ තරම් සිංහල බෑලු" එහෙම කියපු නදීෂ ඔය පැත්තේ හැමෝටම අදටත් භාෂා දෙකම කතා කරන්ම පුළුවන් විත්තිය මතක් කළා. රියැදුරු තරුණයාත් ඒක එහෙමයි කියලා පිළිගත්තා. කැළණියෙන් ආපු උදවිය ළමයි දෙන්නව හදාගන්න කියලා ගෙනියන්න හැදුවත් නදීෂගේ ආච්චි කැමති වුණේ නෑ. අන්තිමට බේරෙන්න බැරි තැන ලොකු ළමයාව විතරක් යවන්න කැමති වෙනවා. " අන්න එහෙමයි අපේ තාත්තා කොළඹ ඇවිත් කොළඹ ඉස්කෝලේ යන්නේ"
කොළඹ නෑයෝ ළඟ හැදුණු තාත්තා කොළඹම ඉගෙන ගෙන ඒ විදියට හැඩ ගැහිලා වරකාපොළින් නදීෂගේ අම්මාව බැඳ ගත්තා. ඊට පස්සේ නදීෂයි පවුලේ අනික් ළමයි තුන්දෙනාටයි උගන්නගෙන මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කළා. ඉතිං හැම තිස්සෙම නෑයෝ බලන්නයි නෑදෑකම් පවත්තන්නයි වෙලාවක් කලාවක් තිබුණේ නැහැ."මම අන්තිමට එහේ ගියේ එක් දාස් නමසිය අනූවේ දි" නදීෂ හිනා වෙන්න හැදුවා. " අප්පේ ! මම ඉපදිලාවත් නෑ' කියලා රියැදුරු තරුණයා කටපුරාම හිනා වුණා. මේකනේ. නදීෂ කියන විදියට එහේ ජීවිතේ නදීෂලාට ඔරොත්තු දුන්නේ නෑ. ඒ ගෙවල් පොඩියි. අම්මයි තාත්තයි එක්ක ළමයි හතරදෙනෙක් ගියාම නිදියන්න තව ගෙවල් දෙකකටවත් යන්න ඕනේ. තාත්තා ආච්චි ඉන්න පොඩි ගෙදරම නිදියනකොට පිරිමි ළමයි දෙන්නා බාප්පගේ ගෙදරට යවනවා. අම්මයි ගෑණු ළමයිනුයි උඩහ ඉන්න නෑදෑ ගෙදරකට යනවා. " එහේ නාය යන නිසා ලොකු ගෙවල් ඇත්තෙම නෑනේ" නදීෂ හේතුව කිව්වා. ඉතිං ඒ නිසා දැරණියගල යන්න ආසා වුණත් එහෙ නවතින එක හරි කර්කශ අත්දැකීමක් විදියටයි ගෙදර අයට හිතුණේ. බස් එකෙන් බැහැලා කිලෝමීටර් දෙකක් විතර දිය සෙවල බැඳුණු ගල් පඩි වලින් බැහැලා ආච්චිගේ ගෙදරට ගොඩ වෙනවා නදීෂට හීනයක් වගේ මතකයි. පුච්චපු කඩදාසි කෑල්ලක් අරගෙන බුලත් විටක් කටේ තියාගෙන ආච්චි හිනාවේගන බලා ඉන්නවා. ඒ කඩදාසිය පුච්චන්නේ මගදිගට ගලව ගලවා ආපු කූඩැල්ලෝ කාපු තැන්වලට ගාන්න. පරිසරය ලස්සන වුණාට පහසුකම් නෑනේ. නදීෂ හුස්මක් හෙළුවාන්,
" තාම තියෙනවද අවිස්සාවේල්ල ටවුන් එක අර ෆෘට් කේක් " කියලා අහන්කොට රියැදුරු තරුණයා පාර දිහා බලාගෙනම ඔළුව වැනුවා. නදීෂලා එහේ නොගියාට ආච්චි අවුරුද්දකට දෙපාරක්වත් කැළණියේ එන එක වැරැද්දුවේ නැහැ. මුල් කාලේ අතින් කටින් බඩු මළු එල්ල ගෙන බාප්පා පිටිපස්සෙන් ආවා. පස්සේ කාලේ ආවේ බාප්පගේ පුතා හරි දුව හරි. කේක් එක්ක ලොකු ආනමාළු කෙහෙල් ඇවරි. හැමෝටම රෙදි. ඒත් දැරණියගල අයටත් කැළණියේ ජීවිතේ අල්ලලා ගියේ නෑ. ක්ලෝරීන් දාපු ටැප් වතුර ; බාත් රූම් එකේ නාන එක; තාප්ප වලින් කොටු කරපු ගෙවල් එයාලට අපෝ වුණා. ආච්චිලාගේ මිදුල පහළ මහ හයියෙන් ගලන දිය ඇල්ලක් තියෙන නිසා මහ හයියෙන් කතා කරන එක සාමාන්‍ය දෙයක්. මේ නිසා ආච්චි නදීෂලාගේ ගෙදර ආවා කියන්නේ අහළ පහළ ගෙවල් වලටත් දැරණියගල පුවත් ඇහෙන එක. කුඩගම චූටි මාමාගේ පුතා කසිප්පු වලට පොලිසියෙන් අල්ලං ගිය එකයි ; නදීෂගේ බාප්පා ආණ්ඩුවේ ඉඩමකින් ලී වගයක් ඉරාගෙන යට ලී දාන්න හිතාගෙන ඉන්න එකයි එක්ක ; තාත්තගේ මහප්පගේ මිණිබිරී කසාදේ අත ඇරලා ගෙදර ආපු එක ගැන ආච්චි කුස්සියේ හිරමණේ වාඩිවෙලා ලොකු ලේලිට වාර්තා කළා. ඒත් නදීෂගේ අම්මා ඒ වෙලාවට " ඉතිං අම්මේ . තාමත් ඔය පාරට එක බස් එකද තියෙන්නේ " වගේ ප්‍රශ්නයක් අහපු නිසා ආච්චිගේ ප්‍රවෘත්ති විකාශය වෙනත් මාතෘකාවකට ගියා. ඒ වගේ එක දවසක රෑ දෙගොඩහරියේ හිටි ගමං දිඩිං දිඩිං සද්දයක් ඇහුණා. නදීෂගේ අක්කා බයවෙලා අම්මාවත් ඇහැරවලා ලයිට් එක දාලා බැලුවා. විටක් නැතුව නින්ද යන්නේ නෑ කියලා ආච්චි සාලේ වාඩි වෙලා බුලත්විටක් කොටනවා. ඒ අස්සේ තෑගි අරන් දෙන්න කිරිබත්ගොඩ ට එක්කං ගිය බාප්පාගේ දුව කලබලකාරී නගරය දැකලා තිගැස්සෙනවා. මේ ඔක්කොම එක්ක යා දෙක නොරත රත වගේ හැඟීමක් කැළණිය - දැරණියගල දෙපැත්තටම ඇති වුණා. " අපේ තාත්තත් බුලත් විට මරුවා. කොයි වෙලේත් විටක් කටේමයි. " නදීෂ හිනාවුණා. අනික් දැරණියගල පුරුද්ද විඩෙන් විඩේ තේ බොන එක කියලා කියනකොට රියැදුරා මහ හඬින් හිනා වුණා. " ඔව් සර් ! අපේ පැත්තේ අයට හැම තිස්සේම තේ නම් ඕනේ . මටත් එහෙමයි" ඒක අහනකොට නදීෂට දැනුණේ කාලෙකින් නොදැකපු බාප්පගේ පුතාව දැක්කා වගේ සතුටුදායක හැඟීමක්.
බාප්පා ! අනේ ඉතිං නදීෂලා ආවේ නෑ කියලා බාප්පා කවදාවත් අහිතක් හිතුවේ නෑ. ආච්චි අම්මගේ පස්සේ වැටීගෙන ආවා මිසක්. බාප්පා නදීෂගේ තාත්තා වගේ නිහඬ චරිතයක් නෙමෙයි. නිවාඩු දාට ගමේ කොල්ලෝ එක්ක බූරු ගහන , හවසට තොල කට තෙමාගෙන ඩොල්කියක් ගහලා ජෝතිගේ ධර්මදාසගේ සිංදු කියන කොණ්ඩේ උරහිස්ස ළඟට වවපු මෝස්තරකාරයෙක්. " කිංස්ලි පීරිස් වගේ" නදීෂ උපමාවක් හෙව්වා. අඳින්නෙත් කොල්ලන්ට හරියන ෂර්ට් බැනියම්. නදීෂලා දැරණියගල නොගියත් තාත්තා අවුරුද්දකට දෙපාරක් වගේ දැරණියගල ගිහිං ආච්චිව බලලා ආවා. එවෙලෙට තාත්තා ඇඳං ගිය කමිසේම බාප්පාට ඕනේ වෙන නිසා තාත්ත කොච්චර තෑගි ගෙනිච්චත් ආයේ එනකොට ඇඳං එන්න කමිසයක් වෙනමම අරගෙන යනවා. " අරූගේ කමිස ඇඳන් එන්න පුළුවන් ද ? ඒවා හොඳයි චූටි පුතාගේ වයසේ කොල්ලන්ට නම්" කියලා නදීෂගේ තාත්තා හිනා වෙනවා. දෙමළ චිත්‍රපටි නළුවෙක් වගේ ලූණු බෑග් මොඩ්ල් එකේ දැල් මේස් බැනියම් අඳින බාප්පා තමයි ආච්චිගේ සුරතලා. ඒත් පුංචි අම්මයි නංගියි මල්ලියි රණ්ඩු වෙවී හරි ආච්චිව බලා ගත්තට ආච්චි වැඩියෙන්ම අගේ කළේ නදීෂගේ අම්මාව. " මම ඉතිං අපෙ අම්මව අවුස්සනවා " බාප්පා ආපු දවසට ආච්චිවත් ඉස්සරහ තියාගෙන කොත ගහපු කෑම පිඟානක් කන ගමන් හිනාවෙවී කියනවා. "අම්මට ඉතිං උදේ රෑ තිස්සේ හදිස්සියකට ඉන්න අපේ ගෑණිගෙයි ළමයින්ගෙයි වැරදි තමයි පේන්නේ. අයියා බැන්දත් හරි, කැළණියේ අක්කා වත් ළමයිවත් මෙහෙ ඇවිල්ලා නෑ. ඒත් අම්මට වටින්නේ උංව විතරයි" බාප්පා අහළ පහළටඇහෙන්නට හිනා වෙනකොට කන් ඇහෙන්න්නේ නැතත් ආච්චිත් බුලත් කහට අතරින් හිනා වෙන හැටි නදීෂට මතක් වුණා. "මට ආච්චිගේ මළ ගෙදර යන්නත් බැරි වුණා" නදීෂ එක පාරට මතක් වෙලා කිවුවා. " මම ලංකාවේ හිටියේ නෑ ඒ ටිකේ" එහෙම හේතුවක් දැන් කිව්වට ලංකාවට ආවට පස්සෙත් දැරණියගල යන්න ඕනේ කියලා කිසිම උනන්දුවක් නොතිබුණු බව නදීෂට මතකයි. ඒත් ඒක වචන කළේ නෑ.
"ඔතනින් වමට හරවන්න" කියන ගමං නදීෂ ආයෙම කල්පනා කළා. බාප්පාව බලලා එන්න තිබුණා නම් හොඳයි නේද කියලා හිතෙනකොට නදීෂට දුරස්ත හැඟීමක් ඇති වුණා. නංගිව මල්ලිව දැක්ක කාලයක් මතක නෑ. ඔෆිස් එකට ගිය ගමං අම්මට කෝල් කරලා බාප්පගේ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගන්න ඕනේ. නදීෂ එහෙම හිතන ගමං " අන්න අතනින් නවත්තන්න " කියලා ඔෆිස් එක පෙන්නුවා. තරුණ රියැදුරා ඔළුව වනනකොට නදීෂ " අද කීය වෙනකං කොළඹ ඉන්නවද " කියලා ඇහුවේ දවල් කෑමට අඬ ගහන්නවත් කියලා හිතලා. බාප්පගේ පුතත් මේ වයසේ ඇති. " මම දැං යනවා සර්" තරුණ රියැදුරා හිනා වුණා. "දැරණියගලට ?" කියලා නදීෂ ඇහුවා. රියැදුරා හිනා වුණා. " අනේ නෑ සර්. මම කොළඹ ඉන්නේ. මම කොළොන්නාවේ. ජූස් ෂොප් එක කරන්නේ ගෙවල් ළඟ" කියලා කියනකොට නදීෂට පැටළුණා. එහෙනම් අවිස්සාවේල්ල කිව්වේ ඇයි කියලා අහන්න තරම් වෙලාවක් තිබ්බා. " කටට ආපු ගමක් කිව්වේ සර්. මම මීටර් එක තියෙන නිසා මේ වගේ වෙලාවට හයර් දිව්වට කොළඹ පාරවල් දන්නේ නෑ. සර් අහපු විදියට මට කොළොන්නාවේ කියලා කියන්න ලැජ්ජ හිතුණා. " නදීෂ ඒ කතාව අහලා හිනාවෙලා හයර් එක දෙන ගමං බැස්සා. ඒ හිනා වුණේ කාටද කියලා නදීෂට මතක නෑ. හැබැයි අම්මට කෝල් එකක් ගත්තේ නෑ කියන එක නම් මතකයි.
superb
ReplyDeleteනියමයි!!
ReplyDeleteඒක පට්ට හැබැයි දැරණියගල දැ නං සීයට අසූවක් විතර ඔය තත්ත්වයෙන් මිදිලා තියෙන්නේ නිතරම දැරණියගල යැවෙන නිසා අත්දැකීමෙන් කියකිය හැබැයි දැරණියගල කියන්නේ මාර ලස්සන පැත්තක් කූඩැල්ලන් නැත්තං.
ReplyDeleteබොහොම කැමතියි!මැවිලා පේන තරමේ තාත්වික අතීත සවාරියක් එක්කගෙන ගිහින් අන්තිමට අපිවත් ටිකක් දරුණුවට වර්තමානෙට අරගෙන එනවා. නොස්ටැල්ජියාවේ තරම හැමතිස්සෙම ඒක මතුවුණු අවස්ථාවට සාපේක්ෂයි කියන එකට හොඳ උදාහරණයක් දෙන කතාවක්!
ReplyDelete++++++++++++++++++
ReplyDeleteඅර යටලමත්තේ ඉස්කෝලෙට ගිය ගමන වගේ නේද?
ReplyDeleteනංගිව මල්ලිව දැක්ක කාලයක් මතක නෑ. ඔෆිස් එකට ගිය ගමං අම්මට කෝල් කරලා බාප්පගේ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගන්න ඕනේ
ReplyDeleteහැබැයි අම්මට කෝල් එකක් ගත්තේ නෑ කියන එක නම් මතකයි.