Genie ගෙන් ලද වරම් : සොයා යන සත්‍යය එතැනය


The X Files කතා මාලාවේ එක් කතාවක පවසන්නේ Genie හෙවත් අද්භූත බලයක් ඇති කාන්තාවක විසින් අමනෝඥ කම්කරුවෙකුට ලබා දෙන වර තුනක් ගැනය. හෙතෙම පළමු වරයෙන් තම ලොක්කාගේ කට වසන්නැයි ඉල්ලා සිටි නිසා එක්වරම බැණ වදිමින් සිටි හාම්පුතාගේ කට අතුරුදන් වී ගියේය. අනතුරුව කල්පනාකාරී වන්නට සිතන කම්කරුවා දෙවැනි වරය ලෙස බෝට්ටුවක් ඉල්ලා සිටි අතර මූදක් පෙනෙන මානයේ නොමැති ඔහුගේ මිදුල වසාගෙන බෝට්ටුවක් ප්‍රාදූර්භූත විය. ඒ බෝට්ටුවන් නිසා රජයට ගෙවන්නට නියමිත වන බදු මුදල අසා කළකිරීමට පත් වන කම්කරුවාට තවත් එක් වරයක් ඉතිරි ය. Genie හෙවත් ගුප්ත බලැති කාන්තාව කම්කරුවාගේ ආබාධිත සොයුරා සුව කරන්නදැයි අසන නමුත් කම්කරුවාට අවශ්‍ය වන්නේ "අදෘෂ්‍යමාන බලය" හෙවත් නොපෙනී යාමේ හැකියාවයි.
බලය ලද විගස කිසිවෙකුටත් නොපෙනී ටින් බෙලෙක්ක වලට පයින් ගසමින් , මල් පෝච්චි සහ නවතා තිබූ බයිසිකල් පෙරළමින් ගමන් කරන කම්කරුවා කහ ඉරක් ළඟ නතරව පාර හරහා මාරු වන්නට බොත්තම ඔබයි. සංඥාව ලද විට වෙනදා මෙන් සැනසිල්ලේ පාර හරහා මාරු වන අදිසි කම්කරුවා පියවි ඇසට නොදකින ට්‍රක් රථයක් ඔහුව හප්පාගෙන ධාවනය වන්නේය. Genie කෙනෙක්ගෙන් වරම් 3 ක් ලද කම්කරුවාගේ ඉරණම එසේ තීන්දු විය.
සෞඛ්‍ය ඇමතිව සිටි මොහොතක පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත්වීමෙන් අනතුරුව මහත් අරගලයකින් පසුව පක්ෂ සභාපති ධූරය හිමි කර ගත්තේය. සංධානගත වී ජනපතිවරණයකින් ජය ලැබූ හෙතෙම එම සංධානයද අත හැර , තම පක්ෂයෙන් කොටසක් ද වෙනමම තරග වදින බව බව දැනම ප්‍රාදේශීය සභා මැතිවරණයකට පෙනී සිට අන්ත පරාජයකට ලක් විය.
රාජපක්ෂ රෙජීමයේ ආගම්වාදී සහ වර්ගවාදී හැසිරීම් සහ අන්තගාමී ප්‍රචණ්ඩත්වය පිළිබඳව ද මාධ්‍ය වාරණය පිළිබඳව ද කෑ ගසා බලයට පත් මෛත්‍රීපාල රජය ආගම්වාදී සහ වර්ගවාදී හැසිරීම් වලට නිසි පියවරක් නොගෙන සමාජ මාධ්‍ය ජාලා වාරණය කිරීමට තීරණය කළේය. සමාජ මාධ්‍ය ජාලා වාරණය කරගෙන රට පාලනය කරන්නට ගොස් එල්ල වූ අමතර පීඩනය හමුවේ එය ඉවත් කිරීමට තීරණය කළේය.
The X Files හි උද්ධෘතය වන්නේ සොයා යන සත්‍යය එතැනය යන පාඨය ය
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: