සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව



ජීවිතය අන්තැනෙක බව වටහා ගන්නා තෙක්ම එය සාමකාමීව පවතිනු ඇත. ඉනික්බිතිව එය නිමක් නැති සිහිනයන්ගෙන්ද , නිදි නොමැති අනන්ත රාත්‍රීන්ගෙන් ද කැළඹෙනු ඇත. විටෙක උළු වහලයට යටින් ඉඳුසැව් උපදිනු ඇත. තවත් විටෙක ඉපල් අග පවා යොහොඹු කුසුම් පිපෙනු ඇත. මේ ඉන්ද්‍රජාලික බව දරා ගත නොහී මා එහිම කිමිදී හිඳ , හුස්ම ගන්නට අවැසි නිසා පමණක්ම වරින් වර ඉහළට මතු වන්නෙමි. ඒ සියල්ල ජීවිතය අන්තැනෙක යැයි වටහා ගත් පසුවය.

මා තව දුරටත් හුදෙකලා මගියෙක් නොවෙමි. පදිකයෙක් ව හිතුමතේ ඇවිද ගිය යුගය අතීතයට එක්වී අහවරය. ඔබ සිටින ඉසවුවක මං ලකුණු සොයනා මහට අවර පර්වතයෙන් හෝ ඉඳුරු කොදෙවුවෙන්ප ලක් නැත. කිඳුරු ගී ඇසෙන්නේද නැත. ඒ සියල්ල ජීවිතය අන්තැනෙක යැයි වටහා ගත් පසුවය.

ඔබ දියඹට බැසිය යුතු නොහේ. ඔබ සිටින ඉසවුව පමණක් මා වෙත දන්වන්නේ නම් මැනවි. පෙනෙන දුරකින් හිඳ මා පිළි ගන්නට , මවෙහෙස නිවාලන එක් වදනක් තෙපලන්නට ඔබට හැකි නම් අගය කොට සලකමි. නමුත් ඔබ දියඹට බැසිය යුතු නොහේ. ඔබ සොයා පැදවීම මගේ රාජකාරියකි. ඔබ නිසා පැදවීම මගේ තීරණයකි. ඒ සියල්ල තුළින් උපදින්නේ ප්‍රේමය විනා අන් කවර නම් දෙයක් ද ?


සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමි
ඔබ නිසා පදවන්නෙමි


ප්‍රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩබිමෙහි මං ලකුණු දන්වන්න
නැංඟුරම්ලන තැනට පෙනෙනසේ ඔබ ඉන්න 

වෙරළ වෙත සැපත් මා දෝතපා පිළිගන්න සිනාසී
දුර්ගවූ ගමන් මග විඩාගිනි දුරළන්න
යාත්‍රාව පදවන්න මා සමග එක්වන්න 

ගායනය     : නන්දා මාලිනි
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය     : සරත් දසනායක




Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment