සිංහලයාට පමණක් නොව, දෙමළාටද තම්බියාට ද හදවතක් ඇත.


ඉතිහාසයේ මුල්වරට ලංකාවට ඔලිම්පික් සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම් ගෙන ආවේ ඩන්කන් වයිට් නම් වූ බ්‍රිටිෂ් සිලෝනීස් ක්‍රීඩකයාය. උස පැනීමෙන් දෙවරක්ම ආසියාව තරණය කළ නාගලිංගම් එදිරිවීරසිංහම් නියෝජනය කළේ ද ශ්‍රී ලංකාව මිස තමිල්නාඩුව නොවේ. ලොරේන් ඊ රත්නම් සහ සෙල්වගෞරි වර්ධකුමාර් ආසියාතික තරග වෙනුවෙන් කඩුළු පැන්නේ ද එම්.ජේ. එම්.ලාෆීර් ලෝක ආධුනික බිලියඩ් සූරතාව දිනන්නේද මොරිස් කුමාරවේල් 1960 රෝම ඔලිම්පික් උළෙලට බයිසිකල් පැද්දේ ද ලංකා ධජය යටතේ බව හොඳින්ම දනිමි.

ආනන්දයට ගිය ලෙෆ්ටිනනට් කර්නල් දයා රාජසිංහ නඩරාජසිංහම් ඔලිම්පික් සහ ආසියානු තරග වල ද සාල් චිට්ටි ඔලිම්පික් තරග වල ද ඉලක්කයට වෙඩි තබන්නේ ශ්‍රි ලංකාව වෙනුවෙන් මිස වෙන රටක් වෙනුවෙන් නොවේ. ටාරා බෝලිං,ජුලියන් බෝලිං ,දීපිකා චන්මුගම් සහ කොන්ඩ්‍රඩ් ෆ්‍රැන්සිස් මෙන්ම මයුමි රහීම් සහ ඩැනියල් ලී ද පිහිනුවේ ලංකාව වෙනුවෙන් බව මතකද? ටී.එෆ්. අලෙයිලීමා යනු ලංකාවේ යගුලියේත් - කවපෙත්තේත් ජාත්‍යන්තර සංකේතය වද්දී ෆාසිල් මරීජා සහ අම්ජාඩ් බක්ෂ් ලංකාව වෙනුවෙන් රග්බි පිටියේ පොර වදිද්දී කේෂියා සුහයිල් ටයිකොන්ඩෝ රන් පදක්ක්ම ගෙනාවේ ද ශ්‍රී ලංකාවටමය. අම්රිතා මුත්තයියා සහ දිනේශ්කාන්තන් තන්ගරාජන් ඩේවිස් ටෙනිස් කුසලානය සඳහා තරගවදින්නේත් අනූව දසකයේදී ජයන්ති සෝමසේකරම් සහ මෑත යුගයේදී තර්ජිනි සිවලිංගම් ජාතික දැල්පන්දු කණ්ඩායම් වල නායිකාවන් වන්නේත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විනා ඊලමක් වෙනුවෙන් තරග කිරීමට නොවේ. මුත්තයියා මුරලිදරන් - ටී.එම්. ඩිල්ශාන් - ඇන්ජලෝ මැතිව්ස් - ෆර්වේස් මහරුෆ් - රසල් ආර්නල්ඩ් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකයම දිග් විජය කරද්දී ඔවුන් අභිමානවත් ශ්‍රී ලාංකිකයින් විනා දෙමළුන් , තම්බින් ලෙස නම් නොකළෙමු.


නමුත් ජනපතිවරණයක ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ඔවුන් වෙත සුළු ජාතිකයින් ලෙස අමුතු හැන්දකින් බෙදන අපි , එම සුළු ජාතිකයින් ඡන්දය පල කරන්නේ ඊලාමයක ,ජිහාඩයක සිහින පෙරදැරි කරගෙන බව පරසක්වල ගසමු. එසේ වූ නුමුදු මැතිවරණයට පෙර ටී.එන්.ඒ සංවිධානයත් - මුස්ලිම් කොංග්‍රසයත් තම සහාය ලැබෙන්නේ කාටද යන්න අසවල් දිනයෙන් පසු දැනුම් දෙන්නේයැයි පැවසූ විට "තොපේ ඡන්ද අපිට එපා - කැමති ඕනෑම එකෙක්ට දීපල්ලා ... අපේ මොකෝ " යැයි කීමට එකදු දේශප්‍රේමි සිංහලයෙක් සිටියේ නැත. සියළුම අවලාද සහ චෝදනා ඔවුන්ගේ තීරණය දැන්වීමෙන් සහ ක්‍රියාවට නංවා පෙන්වීමෙන් පසුවය.

මිත්‍රවරුනි , කොටි එන බවට , යුද්ධය එන බවට අනාවැකි නොපවසන්න. මෙතෙක් කල් රට පාලනයට අනාවැකි කියූ සුමනදාසටත් චන්ද්‍රසිරි බණ්ඩාරටත් කෙළ වී ඇති සඳ ඔබලාගේ ෆේස්බුක් අනාවැකි වලින් බම්බු ගහන්නද ? 

ඇස් යොමා බලන්න. සුළු ජනතාව ලෙස ඔබ සුළු කොට තකන අපේම රටේ පුරවැසියන්ගේ ඡන්දය අහිමි වීමට හේතු ඕනෑතරම් ඇත. 

මේ දැරිය අඬන්නේ ගාලු මුවදොර හෝ දළදා මාලිගය ඉදිරිපිට කාර් රේස් පැදීමට ඉල්ලා නොවේ. එක්ලක්ෂ පනස් දහසක සපත්තු කුට්ටමක් ඉල්ලා නොවේ. හඳට රොකට්ටුවක් යවන්නවට උවමනා නිසා නොවේ. ඇය යාපනයේ සිට පැමිණියේ ඇගේ පියා වන කූගන් මුරුගනාදන් පිළිබඳ ආරංචියක් සොයා දෙන ලෙස ඉල්ලා සිටීමටය.වසර තුනකට ඉහත ලෝක මානව හිමිකම් දිනය දා හමුදාවෙන් පැහැරගෙන ගිය සිය පියා පිළිබඳ අවනඩුව කියන්නටය. ඒ විසඳුමක් නොමැති වූ , විසඳුම් දෙන්නට වුවමනා නොවූ ඔවුන්ගේ දහසකුත් අවනඩු අතරින් එකක් පමණි


සිංහලයාට පමණක් නොව , දෙමළාටද තම්බියාට ද හදවතක් ඇත. 
අපගේ හදවත් තුළ මෙන්ම ඒ හදවත් තුළද දාරක - මවු පිය ප්‍රේමය , සිතිවිලි සහ හැඟීම් ඒ ආකාරයෙන්ම නැතැයි ඔබ සිතන්නේද ?

2015 ජනවාරි 11 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: