ජයන්ති සෝමසේකරම් - තල් අරණෙන් මග නොනැවතී ලෝකය වෙත


යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේ ආරම්භ වූ 2016 ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දල්වන්නී ඈ නමින් ජයන්ති සෝමසේකරම් ය.
යාපනය වේම්බඩි උසස් බාලිකා විද්‍යාලයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වන ජයන්ති , 1986 සිට දැල්පන්දු , පැසිපන්දු , ටෙනිස් සහ මළල ක්‍රීඩා වෙනුවෙන් විශ්ව විද්‍යාල වර්ණ දිනා ගන්නීය. රටේ පැවති තත්ත්වයත් සමග වරින්වර වසා දැමෙන සරසවියෙන් ඈත් වන්නට ඇයව පොළඹවන්නේ ඇය සතු ක්‍රීඩා කෞෂල්‍යයම විනා අන් කිසිවෙක් නොවේ.
90-92 වසර වල ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ආසියානු තරගාවලි දෙකක් නියෝජනය කරන ජයන්ති එම ක්‍රීඩාවට සමුදෙන්නේ එක් ක්‍රීඩාවක් තෝරාගන්නා ලෙස ලැබුනු උපදේශය හේතුවෙනි. 91-99 වසර දක්වා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන ඇය ලෝක සූරතා තරගාවලි 3 ක් නියෝජනය කළ අතර 1998 ක්වාලාලාම්පූර් පොදුරාජ්‍යමණ්ඩලයීය තරගාවලියේ දී ශ්‍රී ලංකා දැල්පන්දු පිලෙහි නායකත්වය ද දරන්නීය. 1997 දී සිංගප්පූරුවේ පැවති සිව්වැනි ආසියාතික දැල්පන්දු සූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ විදින්නිය වූ ඇයගේ ගෝල ප්‍රවර්තන අගය අනුව ඇය ආසියාවේ අංක එකේ විදින්නිය ලෙස සටහන් වී තිබිණ.
ජයන්ති සෝමසේකරම් ට යාපනය අලුත් තැනක් නොවේ. රටම හඳුනන භූ විද්‍යාඥයෙක් මෙන්ම ශ්‍රී ලංකාවේ 37 වැනි සර්වේයර් ජෙනරාල්වරයා වූ තමෝදරම් සෝමසේකරම් ගේ දියණියක වන ඇය අද වන විට හැටන් නැෂනල් බැංකු ශාඛාවක කළමණාකාරිනියක් වශයෙක් කටයුතු කරන්නීය.
ක්‍රීඩාව සහ අධ්‍යාපනය සහ වෘත්තීය සමබරතාවය මෙන්ම විනය ගැන කතා කරන්නේ නම් ජයන්තී සෝමසේකරම් සිටින්නේ ගව් ගණනක් ඉහළින්ය. ඒ ගැන කැට තබා පැවසිය හැකිය.
එපමණක්ම නොව ..... සිංහ කොඩිය ලෝකය සිසාරා බැබලවීමට වෙර දරන්නේ එක් ජන කොට්ඨාසයක් පමණක් යැයි සිතාගෙන සිටින අතීතය නොදත් අනාගතයක් නොදකින වත්මන් පරපුර වෙත ජයන්ති සෝමසේකරම්ලා පිළිබඳව හෙළි කළ යුතුමය.

2016 සැප්තැම්බර් 30 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment