විසාකේස චන්ද්‍රසේකරම් : වේදිකාව; සිනමාව; නවකතාව සහ ගීත රචනය


පසුගිය දා ,එනම් 2019 වසරේ ජූලි මස පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ  2016 වසර සඳහා හොඳම තිර රචනය සඳහා 'සයපෙති කුසුම' තිර රචනය වෙනුවෙන් ද හොඳම ගීත රචකයා ලෙස 'සයපෙති කුසුම' චිත්‍රපටයේ එන 'දෙනෙතක් ඇරේ - දෙනෙතක් වැසේ' ගීතය වෙනුවෙන් ද විසාකේස චන්ද්‍රසේකරම් සම්මානයට පාත්‍ර විය. ඔහු තමා විසින් පිටපත ලියා අධ්‍යක්ෂණය කළ තම කුළුඳුල් චිත්‍රපටය වෙනුවෙන් එ ගීතයේ මෙසේ ලීවේය. 

සඳ ගිනි මිරිඟුව ක්ෂිතිජය සිඹිමින්
දිලිසී - දිලිසී
ආගන්තුක මානවයෙකු හට පාරක් කීවා
ඝන මේඝ වියන් ඇද පතුරා - අන්ධකාර ලප වපුරාලා
මට සැඟවෙන්නට තිත්පල සැදුවා
රහසේ - රහසේ
මම අන්ධකාරයේ සැඟවුණ
රස උල්පත් කණිමින් උන්නා
සඳ ගිම්හාන ගින්නෙන් දැවුණ
සඳ ගිම්හානයේ - රා ගින්නෙන් වැළපී දැවේ
රළ සත් සාගරේ - වඩබා ගින්නෙන් තැවේ

ගායනය    : සූර්යා දයා රුවන්
පද රචනා : විසාකේස චන්ද්‍රසේකරම්
සංගීතය   : ශාන්ත පීරිස්



විසාකේස ආදම්ගේ උද්‍යානය ද , තහනම් ගස ද , තහනම් ඵලය ද සර්පයා ද වෙනත් ඇසකින් දකින්නේ ය. ඔහු ලාංකේය සිනමාව තුළ මෙතුවක් කල් විකාරරූපී මුහුණවරකින් ඉදිරිපත් කළ ප්‍රස්තුතයක් ශික්ෂණයකින් සහ හැදෑරීමකින් ඉදිරිපත් කළේ ය. විසාකේසගේ සම්ප්‍රාප්තිය තෙක් ම කල් ලාංකේය සිනමාවේ සමකාමියා යනු විටෙක රකුසෙකි. විටෙක කවටයෙකි. චන්ද්‍රරත්න මාපිටිගමගේ - ෂෙල්ටන් පයාගල අධ්‍යක්ෂණය කළ 'මලට නොඑන බඹරු' සහ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ගේ 'තිසරාවි' වැනි සිනමා නිර්මාණ හරහා සමකාමීත්වය පිළිබඳ අධ්‍යනයකින් සහ තාර්කික බවකින් තොර ගම්මැද හෑලි ජනගත වූ අතර මිත්‍යාවන් වපුරනු ලැබීය. ලාබ සිනාව සහ කෙසේ හෝ ආදායම් ලැබීමේ අරමුණින් සමකාමී චරිතයක් සිනමා නිර්මාණයකට එක් කර ගැනීමේ බංකොළොත් උපාය ක්‍රියාවට නැං වූ අධ්‍යක්ෂවරුන් සහ චරිතයක් සහ වේතනයක් වෙනුවෙන් ආත්මය වුව ද පාවාදෙන නළුවන් ද ලාංකේය සිනමාව තුළ ඕනෑ තරම් දැක ගත හැකි වේ. උදයකාන්ත වර්ණසුරිය ගේ 'බහුභුතයෝ' හි රිචඩ් මානමුදලි ගේ රංගනය , උපාලි පියරත්න ගේ 'ඇලඩින්ගේ වෑල්ඩින්' හි ක්ලීටස් මෙන්ඩිස් , රිචඩ් මානමුදලි , කිරාන් ජී. සොයිසා යන අයගේ රංගනය, ගිරිරාජ් කෞශල්‍ය ගේ 'සිකුරු හතේ' හි ඇන්ටන් ජූඩ් , ප්‍රියන්ත සෙනෙවිරත්න ගේ රංගනය , උදයකාන්ත වර්ණසුරිය ගේ 'කොස්‌තාපල් පුඤ්ඤසෝම' ලසන්ත උඩුකුඹුර ගේ රංගනය උදයකාන්ත වර්ණසුරියගේ 'ගින්දරී' හි රිචඩ් මානමුදලි ගේ රංගනය ආසන්න උදාහරණ ලෙස දැක්විය හැකිය. විසාකේස චන්ද්‍රසේකරම් මෙලෙස 'සයපෙති කුසුම' හරහා කලාත්මකව ස්පර්ෂ කරන්නට යෙදුණේ ලාංකේය සිනමාව තුළ කාලාන්තරයක් මුළුල්ලේ අඳබාල කලාකරුවන් කොට්ඨාසයකගේ බඩගෝස්තරවාදී ගොදුරක් බවට පත් වූ සමාජ ප්‍රස්තුතයකි.

සයපෙති කුසුම : ලාංකේය සිනමාවේ සමකාමීත්වයට නව දොරටුවක් 
වර්තමානය වන විට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස නම දිනූවද විසාකේස යන නාමය දසක දෙකක් තිස්සේ ලාංකේය වේදිකාව තුළ ඇසුණු පෙරළිකාර නමකි. 2004 වසරේ දී 'කටු යහන' නම් වූ පෙරළිකාර වේදිකා නිර්මාණය ඔස්සේ සාම්ප්‍රදායික වේදිකාව අභියෝගයට ලක් කළ විසාකේස චන්ද්‍රසේකරම් 'රජ සහ ඝාතකයා' නම් ද්වි භාෂාත්මක නවකතාව රචනා කළේ ය. "තට්ටු පිටින් ගලාගිය මඩ නදී තීරයේ ජනාධිපතිගේ පුතුන්ගේ වාස භවනය පමණක් නොව හරිත ගස් වැල් මුළුමනින්ම වසා ගනිමින් වේගයෙන් ගලා යන නදියේ තනුක බොර දියට එක් වෙමින් තිබිණි. ඉදින් කඳු කඩා හැලී තිබිණි" යි විසාකේස ලියූ එම නවකතාව තුළ ජනප්‍රියවාදී අසපුවක ගී ගයන ගායිකා චරිතයක් වූ අතර ඇය ගැයූ ගී , එනම් විසාකේස රචනා කළ ගී සියල්ල අඩංගු සංගත තැටියක් පොත සමග ම පිදිණ.

රජ සහ ඝාතකයා : ගීතාවලියක් නිදන් කළ අනාගතාත්මක නවකතාව
තම මාමණ්ඩිය ; එනම් රටේ ජනපතිවරයා අසනීප ව කොළඹ ගෙන එන පණිවුඩය අසමින් වුවද නොසැලුණු සන්ධ්‍යා තැවුල් සඟවාගෙන තම ඉමිහිරි ගායනයෙන් අසපුව සන්තර්පණය කළා ය. 

රන් කොත් සිඹිනා උල්කාවකින් බුදුරැස් කෙසේ ඒදෝ 
බුදු පා පිදූ පරවූ පියුමෙ සුවඳක් කෙසේ ඒදෝ 
අවිද්‍යා නේත්‍රා පියා විදර්ශනා දකිමින් 
සකි යාත්‍රා කරන් නිර්වාණ මං සොයා
සුනීත සෝපාක දරුවන්ගේ 
අබිසාරි අඹපාලි අඟනුන්ගේ 
සැනසීම ගෙන දුන්න කරුණා ගුණේ 
කොහේ කහවත් දරන යතියන්නේ
මැති රාජ සිටු චෞර සේනා විනා 
නැත පාරමී පුරන වෙසතුරු පුතුන් 
නැලියක් සොරා කා කළඳක් බෙදා දී 
සුදුවත් දරා උන් ද්වේශයන් පතුරන්නේ 

විසාකේසගේ නවකතාව අනාගතාත්මක ය. නමුත් ඔහුගේ දෘෂ්ඨිය කාලාත්‍රය ම කළඹවන සුලු ය. 

තම සැමියා මනුෂ්‍ය ඝාතනයක් මෙහෙය වූ බව සිතන සන්ධ්‍යා ඔහුට බැණ වැදුණා ය. "ඔහෙගෙ මස්වැද්දො එකතු වෙලා ඒ අහිංසකයගෙ ඇට කඩුත් කඩල." 

නුඹ බොහෝ දුරක් ගොස් ඇත මහිමී 
මම බොහෝ දුරක් ආවා මහිමී 
මට බොහෝ වෙහෙස දැනෙනව මහිමී 
මට තවත් දුර නොයා හැක මහිමී 
නුඹේ සිහින මැදක සිරව 
නුඹම තනිව කොඳුර කොඳුර 
නුඹේ මගම යයි නුඹ මහිමී 
මා බොහෝ පසු පසින් ඇවිදිමි 
බොහෝ පමා වී එන්නෙමි 
නොබලයි නුඹෙ පසු පස මහිමී 

සන්ධ්‍යා බොහෝ කලකට ගී නොගැයුවා ය. අනතුරුව යළිදු ගායනය ට පිවිසියා ය. වත්සුණු ආලේපන පිළිකෙව් කර ඇය හඬ පමණක් අවදි කළා ය. 

ගගන සඳලූ තලේ
සුර සක්මන් කරනෙමි වළා පහස අතරේ
අඩ සඳ අඳුරේ
රඹ විදුලි ලතා රිය වැල් බිම රටා මවයි
ඒ දවසත් නිමාවෙලා - නිදා වැටේ
හිරු අමතමි මම හෙට විදුලි දුම්රියේ කවුළු තුළින්
වීථි සරා - අඳුරු උපැස් දැරූ ආගන්තුකයන් අතරින්
මහල් නිවස් කුටියේ දොර ගුළු ලෑවා
හැමදා මේ ලෙස වෙහෙසෙන්නේ ආයේ ආයේ
ඇයිදැයි මා නෑසුවේ

සන්ධ්‍යා දැන් ජනපති ආර්‍ය්‍යාවයි. නමුත් ඇය තවමත් ගී ගයන්නී ය. පෙළපොතේ ඉතිහාසය වනපොත් කළ පාසලේ අනෙක් ළමුන් ඉදිරියේ දී මුසල්මානුවෙකු වීම නිසා කොන් වන ෆයිසාල් හට ජනපති ආර්යාව ගැයූ නවතම ගීතයක් ඇසෙයි. එය "නුඹෙ අම්මාත් ඉතා කළුයි" නම් ගීතය ය. 

සිංහබාහුගේ කේශර කොහෙදෙ කියපං මල්ලියෙ 
කොටියගේ වලිගේ දෙකකුල් අස්සෙ බලාපං 
වඳුරට නෑකම් කී අපේ මී මුත්තගෙ පනත්තාගෙ 
නමට නිගරු නොකර ඉඳිං මෝඩ කතා පට බඳිමින් 
නුඹෙ අම්මාත් ඉතා කලූයි - නුඹෙ අප්පාත් ඉතා කලූයි 
නුඹ විතරාක් තලඑලලූයි - නුඹෙ සීයා ටිකක් සුදුයි 
නුඹෙ මුත්තා තවත් සුදුයි - කිරි අත්තා ගොඩක් සුදුයි 
සුදු සීයා සුදුම සුදුයි 

මේ සියලු කැළඹීම් මැද බලයට පත් ව සිටින ජනපති පැරකුම් යනු පෙර සිටි මනුෂ්‍යයා නොවන බවත් ඔහු සමකාමීන්ගේ අයිතීන් කෙරෙහි නම්‍යශීලී නොවන බව සන්ධ්‍යා වටහා ගත්තා ය. සැමියාගේ එ හැසිරීම් නොඉවසන ඇය සමකාමිනියන් වෙනුවෙන් ගීයක් ගැයුවා ය. 

මුළු ලොවේ කුඩා තිතකිය මම නොපෙනෙනා මාඉමේ 
මටත් මගේ පුංචි ලොවක් ඇතේ මම ඉඳිමි පාඩුවේ 
මුළු ලොවට වඩා මහ බරක් සිතේ ඇත කෙසේ කියනු මං
මගෙ පුංචි ලොවේ දොර වෙත පියමැන එන්න දැන් ඉතින් 
අසම්මතයි නම් මගෙ පෙම කෙලෙස පෙමක් පිබිදෙන්නද 
ආදරයට නීති කුමට වෛරය තහනම් නැති විට 
මමයි මගේ පෙමයි මගේ ලොව තුළ තනි වී ඇති විට 
මගෙ අවිහිංසික සිහිනය බිඳ ලද හැකි ඵල මොනවද 

'සයපෙති කුසුම' මෙන් ම 'රජ සහ ඝාතකයා' ගෙන ආ විසාකේස චන්ද්‍රසේකරම් ය. අනාගාතාත්මක කතාන්දර ලියන , ලාංකේය සමාජ දේශපාලනයේ ඉසියුම් අනාගතය විනිවිදින , එමතු නොව ඒ ඇසුරෙන් නැවුම් ගී ලියන ගීත රචකයා ඔහු ය. 

ඉතින් විසාකේස ! ඔබට හදවතින් සුබ පතමු !

2019 ජූලි 29 වැනි දා පල කළ ෆේස්බුක් සටහනකි 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: