ලංකාවේ පරණ චිත්‍රවල , ඉදිකිරීම් වල විවිධාකාරයේ වෙනස්කම් තියෙනකොට අපිට ඒ වෙනස්කම් සම්බන්ධ පසුබිම, හේතු කරුණු එහෙමත් උගන්නනවා. උදාහරණ විදියට කිව්වොත් මෙන්න මේ වගේ.
පොළොන්නරු යුගයේ සඳකඩ පහණේ ගවයාගේ රූපය දකින්න නැහැ. 'ඇත්,අශ්ව,සිංහ,ගව' කියන සත්ත්වයෝ හතරදෙනාගෙන් 'ජාති,ජරා,ව්‍යාධි,මරණ' කියන සිව් බිය නිරූපණය වෙනවා කියලා උගන්නනකොට පොළොන්නරු යුගයේ ගවයා ඉවත් වෙන්න හේතුව වුණේ එවකට පැවති දකුණු ඉන්දියානු පාලනයේ බලපෑම් කියලා අපිට කියනවා. ගවයා හින්දු ආගමේ පූජනීය සත්ත්වයෙක් නිසා සඳකඩ පහණක පයට පෑගෙන්න යොදන්න හොඳ නෑ කියලා හිතලා ගවයාව ඉවත් කළා ලු.
පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන පිළිමයෙන් නිරූපණය වෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණය. පිළිමයේ පාද වල මහපොට ඇඟිලි සමපාත නොවීමත් , සිවුරේ රැළි වල ද්විත්ව රේඛා මැදින් ඛණ්ඩනය වීමත් හරහා පිරිනිවන නිරූපණය වෙනවාලු.
මැදවල ටැම්පිට විහාරයේ බිතු සිතුවම් වල සැතපෙන බුදු රුවට මදුරු දැලක් එහෙමත් සිතුවම් කරලා තියෙනවා. දෙගල්දොරුව ඇතුළු විහාර කීපයක ම බිතු සිතුවම් වල ගල්ගුහා අඳිනකොට කර්ට්න් පෝල්ස් සහිත තිර රෙදි සිතුවම් කරලා තියෙනවා. දෙගල්දොරුවේ 'මාර පරාජය' සිතුවමේ මාරයා අතේ තුවක්කුවක් තියෙනවා. කතළුව විහාරයේ බිතු සිතුවමක මහධන සිටුවරයා ඉන්නේ කලිසම් කෝට් ඇඳගෙන , සිටු දේවිය අඳින්නේ බොස්තරැක්කයක්. මේ වෙනස්කම් ගැන උගන්නනකොට කියනවා චිත්‍ර ශිල්පියා තත්කාලීන සමාජ සාධකවල බලපෑම ලබලා තියෙනවා කියලා. ධනවත් බව හෝ සැපවත් බව, රුදුරු බව වගේ දේවල් තත්කාලීන සමාජ ඇගයීම්, මිනුම් දඬු ඇසුරෙන් සංකේතවත් කරන්න ගිය නිසා මේ වෙනස්කම් දකින්න පුළුවන් කියලා.
අපි වැඩිහිටියෝ වෙනතුරුත් විශ්වාස කරනවා මේ චිත්‍රවල, පිළිම නිර්මාණවල වෙනස්කම්, විශේෂ ලක්ෂණ වලට බලපාන්න ඇත්තේ අර වගේ ප්‍රබල සමාජ දේශපාලනික කරුණු තමයි කියලා. පාලකයාගේ ආගමික නැඹුරුවේ සිට සමාජයේ පැවතුණ මිනුම් දඬු දක්වා ම විවිධ කාරණා මේ කලා නිර්මාණවල සියුම් අංග කෙරෙහි බලපාන්න ඇති කියලා
ඒ අස්සෙ 2019 අවුරුද්දේ අග වෙනකොට ලංකාවේ මහජනතාව අතරේ චිත්‍ර ඇඳීමේ උන්මාදයක් පැතිරිලා, ඒ උන්මාදය පාර දෙපැත්තේ චිත්‍ර අඳින මට්ටමට පැතිරෙනවා. මුල් කාලයේ ඔජ වඩාගෙන ජාතික මෙහෙවරක් විදියට අහස මට්ටමට නැගගෙන ගිය මේ බිතු සිතුවම් ක්‍රියාන්විතය එන්න එන්න ම දියාරු වෙනවා. සමහර තැන්වල ඇල්ටමයිරා, ලැස්කෝ ගුහා චිත්‍ර වලට සමාන ප්‍රාථමික රූපාක්ෂර ඇඳෙනකොට තවත් සමහර තැන්වල ගෝත්‍රික සහ පසුගාමී අදහස් සිතුවම් වෙන්න ගන්නවා. එන්න එන්න ම දියාරු වෙන චිත්‍ර ව්‍යාපෘතිය බාගෙට ඇඳපු, බාගෙට පාර කරපු චිත්‍ර එක්ක පාර දෙපැත්තේ අඩ නිරුවතින්, ලැජ්ජාවෙන් ඉන්න ආකාරය දැන් අපිට දකින්න පුළුවන්. මේ චිත්‍ර අඳින්න මැදිහත් වුණේ ලංකාවේ සිතුවම් සහ චිත්‍ර ඇඳීම කියන විෂයයන් ගැන ප්‍රාමාණිකයෝ නෙමෙයි කියන එකත්, තම තමන්ට පුළුවන් විදියට මොනවා හරි අඳින එක මහා ජාතික වගකීමක්, මෙහෙවරක් විදියට හිතුව සමාජයක් පවතින බවත. අපි අමතක කළ යුතු නැහැ.
තව වසර පන්සියයක් යනකොට මේ අසම්පූර්ණ චිත්‍රයක් කොහේ හරි තාප්පයක ඉතිරි වෙලා තිබුණොත් ලංකාවේ මේ යුගයේ චිත්‍ර කලාව ගැන පුදුම විද්වත් අදහස් ටිකක් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා.
'මිනිස් රූපයේ නාසය මුක්කං වීම තුළින් වායු ගෝලය දූෂණය වීමත් දකුණු ඇස ලොකුවට ඇඳීමෙන් දක්ෂිණාංශික දේශපාලන ධාරාවේ ප්‍රබල බවත් පෙන්වයි.වම් ඇස කටට සමීපව ඇඳීම තුළින් වාම දේශපාලන ධාරාව ගිල දමන්නට ආසන්න බව පැවසේ. තීන්ත ආලේප නොකළ සුදු පැහැති හිස්තැන් තුළින් සමාජ ශූන්‍යත්වය නිරූපණය වේ. මිනිස් රූප දෙක දෙයාකාරයක රේඛා තාක්ෂණයකින් ඇඳීම හරහා පෙන්වන්නේ චිත්‍ර ශිල්පියා මිනිස් සමාජයේ දෙබිඩි බව දකින ආකාරයයි'
ඉතිහාසය කියලා අපි ඉගෙනගත්ත දේවල් ආපහු වතාවක් කියවගෙන එන්න හිතෙනවා. අපි ඔය උඩ දාගෙන ගිහිං ලංකාවේ අනන්‍යතාව කියලා බලන බිතු සිතුවම් පිටිපස්සේ තියෙන්නෙත් මේ කාලේ තාප්ප වල තියෙන කතාවමද දන්නේ නෑ කියලාත් හිතෙනවා.
මිත්‍රවරුනි ,
ඇඳීම සහ ඇඳ ගැනීම යනු එකිනෙකට වෙනස් කාරණා දෙකකි.
'මිනිස් රූපයේ නාසය මුක්කං වීම තුළින් වායු ගෝලය දූෂණය වීමත් දකුණු ඇස ලොකුවට ඇඳීමෙන් දක්ෂිණාංශික දේශපාලන ධාරාවේ ප්‍රබල බවත් පෙන්වයි.වම් ඇස කටට සමීපව ඇඳීම තුළින් වාම දේශපාලන ධාරාව ගිල දමන්නට ආසන්න බව පැවසේ. තීන්ත ආලේප නොකළ සුදු පැහැති හිස්තැන් තුළින් සමාජ ශූන්‍යත්වය නිරූපණය වේ. මිනිස් රූප දෙක දෙයාකාරයක රේඛා තාක්ෂණයකින් ඇඳීම හරහා පෙන්වන්නේ චිත්‍ර ශිල්පියා මිනිස් සමාජයේ දෙබිඩි බව දකින ආකාරයයි'
ReplyDeletePost eka harima lassanayi!Eatath wada chithra wicharaya nam harima apooruyi!
'තම තමන්ට පුළුවන් විදියට මොනවා හරි අඳින එක මහා ජාතික වගකීමක්'
ReplyDeleteThe story of a lost nation!!! Endless මෝඩ චූන්.