මුත්තු අත්තා සහ අඩහඳයා නොදකින අපි

අවුරුද්ද සමග රන්වල; දළුපොත; බැද්දගේ සහ වැදිසිංහ මතකය සමග තවත් එක් අමතක නොවන මතකයක් දිග හැරේ. ඒ අමරකීර්ති මතකය ය. 

මහාචාර්ය ලියනගේ අමරකීර්ති තම 'අටවක පුත්තු' හි අවුරුද්ද පිළිබඳ නොනැසෙන මතක සටහනක් තැබී ය. ඔහු අඬහඳයාගේ වදනින් එ පුවත මෙලෙස සාරාංශ ගත කළේ ය. 'තවත් අපේ ගම්වල අවුරුද්දට, ඒ කාලේ ඉපදිලත් නැති කොල්ලෙක් උනත් රතිඥ්ඥයක්වත් පත්තු කරන්නෙ දුකින් අඩක් පිරුන හදින්. එක සැරයක් අවුරුදු බතක් බාන කොටම එය මලබතක් බවට පත් කරමින් කෙල්ලෙක් මියගි විත්තිය දැන් පොඩි කොල්ලෙක් උනත් දන්න හින්දා' මාවතගමට ටිකක් උඩ දී වෙරිකාරයෙක් ගේ වෑන් එකේ හැප්පෙන නන්ද බාප්පගෙ රේස් බයිසිකලය ද ; වෙලේ ළිඳ ගාව මහ නියර උඩ දිගා කර සිටි අනෝමක්කා ද තවමත් මතකයෙන් ඈත් කළ නොහැකි අවුරුදු සමරුවකි. 

ගෙදර තිබූ පැරණි 'ශ්‍රී' සඟරාවක කිය වූ චිත්‍ර කතාවක බොනිපස් පෙරේරා රේස් බයිසිකල් තරගය ජය ගන්නා අතරවාරයේ කතා නායිකාව කැවුම් බදින්නට ගොස් තෙල් තාච්චුව පෙරළී ගින්නට හසුව මිය යන කතාවක් මතකයේ ඇත. ඒ ගම ම කුල්මත් කරවන සුළු රේස් බයිසිකල් තරග දැන් නැත. 

අමරකීර්ති ගේ 'අටවක පුත්තු' එසේ අතීතකාමය දනවමින් ; අළු යට සැඟවුණු ගිනි පුපුරු වලට පිඹින අතරතුර ඔහුගේ ම 'කුරුලු හදවත' ඒ අතීතකාමී සිතුවිලි මතට ඇල් වතුර කෝප්පයක් වක් කරයි. 

රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඇතුළු මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැගෙන අවුරුද්ද සහ බොහෝ සිරිත් විරිත් නරඹමින් ඉන් ලාහෙන් එකක් හෝ අප අත් විඳ ඇතැයි අවංක වන්නට උත්සාහ කරන මොහොතේ සිහියට නැගෙන්නේ 'කුරුලු හදවත' කතාවේ එන 'මුත්තු අත්තා' ය. 

දිනසිරි හෙවත් කුරුලු ගංගොඩ නම් වූ ජනකාන්ත මාධ්‍ය පූරකයා , ගුවන් විදුලියේ හිඳ රසවත් ලෙස වර්ණනා කරන සිංහල ගැමි චාරිත්‍ර පිළිබඳ ඔහුගේ ගමේ වැඩිහිටියෙකු වන මුත්තු අත්තා ට වෙනස් ආකාරයේ කියවීමක් තිබිණ. 

වැල්ලව , බුදනාපිටිය පිහිටි වළංගංගොඩ නම් ගම පසුකාලීනව කුරුලුගංගොඩ නමින් ප්‍රචලිත වන්නට හේතුව වන්නේ දිනසිරි නම් වූ උසස් පෙළ අසමත් තරුණයෙක් ගුවන් විදුලියට යැවූ මේ පෝස්ට් කාඩ්පත හේතුවෙනි. 

'නිරංජලා රතු නැන්දා, මධුවන්ති නංගි, අම්මා, තාත්තා, සමග ‘පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ' ගීතය ඉල්ලන්නේ දිනසිරි කුරුලු ගංගොඩ , කුරුලුගංගොඩ , බුදනා පිටිය, වැල්ලව'

අනතුරුව දිනසිරි කුරුලු බවට පත් වී 'මියුරු එෆ්.එම්' නම් පෞද්ගලික ගුවන් විදුලියට ගොස් ගම සහ ගමේ සිරිත් ගැන බොහෝ දෑ රටට ම පැවසීය. කුරුල්ලන්ට පීනන්නට නොදන්නා බව වටහාගන්නා විට ඔහු බෙහෙවින් ප්‍රමාද ය. 

අමරකීර්තිගේ අනෝමක්කා වෙළේ ළිඳ ට පැන මිය යන විට දිනසිරි මිය යන්නේ දියවන්නා ඔයේ ඔරු පදින්නට ගොස් ය. 

වළංගංගොඩ, කුරුලුගංගොඩ බවට පත් කරමින් පෝස්ට් කාර්ඩ් යැවූ තැනැත්තා කවුදැයි සෙවීමෙන් ඵලක් නැත. 

මෙමොහොත වන විට අප වඩාත් වෙහෙස මහන්සි විය යුත්තේ අප හදවත් තුළ සිටි 'මුත්තු අත්තා' හෝ 'අඩහඳයා' තවමත් ජීවමාන ව සිටිනවා ද යන්න තහවුරු කරගැනීම ට පමණය. 

බොහෝ දෙනෙක් ඒ කවුද යන්න පවා නොදන්නා බව දැන දැන ම මෙය ලියමි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ස්තූතිය ඔබට කුරුළු හදවත අත ඇත කියවා නැත..

    ReplyDelete