3 Idiots : ෆර්හාන් සහ රාජු විසින් රැන්චෝ සොයා ඒම


'සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි' කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art ... විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක සේයාවන් හරි දකින්න පුළුවන් නම් ජීවිතය විඳින්න පුළුවන් නම් එතැනින් එහාට තව මොනවද ? 

චිත්‍රපටය 3 Idiots. කතාවේ හැටියට උපාධිය අරගෙන හරියට ම අවුරුදු දහයකට පස්සේ ෆර්හාන් , රාජු සහ චතූර් හදිසියේ ම 'ශිම්ලා' ප්‍රදේශය බලා යනවා. ඒ යන්නේ මෙතෙක් කාලයක් කිසිම ආරංචියක් නොතිබුණු තමන්ගේ පරණ මිත්‍රයා රැන්චෝ ව හොයාගෙන. අවසානයේ හෙක්ටයාර ගණනක් ඉඩමක් මැද්දේ තියෙන සුවිසල් මන්දිරයක යාළුවාගේ ගේ නම ම තියෙන ධනපති ඉඩම්හිමියෙක් ඔවුන්ට හමුවෙනවා. නාටකීය ජවනිකා රාශියකට පසුව ඒ ප්‍රභූ ධනවතා, ඒ කිව්වේ ඇත්ත ‘රැන්චෝදාස් ශ්‍යාමල්දාස් චන්චාන්ද්’, මේ යාලුවෝ තුන්දෙනා හොයන 'රැන්චෝ' ගැන ඇත්ත හෙළි කරන්න එකඟ වෙනවා.තමන්ගේ ම මන්දිරයේ වැසිකිළියක බිම වාඩිගෙන ඔහු කියන කතාවේ විදියට අවුරුදු දහයකට කලින් 'රැන්චෝ' නමින් උපාධිය අරගන්නේ 'චෝටේ' නමින් හැඳින්වුණු මේ මන්දිරයේ අතවැසි පවුලක දරුවෙක්. ගිවිසුමේ හැටියට ඔහු, ඒ කිව්වේ 'චෝටේ' තමන්ට පවරපු රාජකාරිය ඉෂ්ඨ කරලා අතුරුදහන් වෙනවා. ඒ කිව්වේ ඔහුට ඔහු සොයන අවශ්‍ය අධ්‍යාපනය ලැබෙනවා. ධනවතා ට තමන්ගේ නමින් උපාධියක් ලැබෙනවා. මේ සියල්ල හෙළිකළාට පස්සේ ධනවතා මෙහෙම කතාවක් කියනවා. 

He usually said ..... "I won't go meet anyone..But one day two idiots will come searching for me. Then what will u do?

'මම කාවවත් හම්බ වෙන්න යන්නේ නෑ. ඒත් දවසක ගෝතයෝ දෙන්නෙක් මාව හොයාගෙන එයි.එතකොට ඔබ මොකද කරන්නේ' කියලා ඔහු නිතරම කිව්වා .....

මොන තරම් විශාල රහසක් රැකගෙන හිටියත් තමන්ගේ යාළුවෝ දෙන්නා කවදා හරි දවසක තමන්ව හොයාගෙන එන බව 'බොරු රැන්චෝ' දැනගෙන හිටියා. අවුරුදු ගණනක් නිහඬව තිබුණත් කවදාවත් අමතක කරන්න බැරි, කවදාවත් ගැලවෙන්න බැරි මිත්‍රකම තමන් පසුපස ලුහුබඳින බවත් බොරු නමකින් පෙනී ඉඳලත් තමන්ට ගැලවෙන්න බැරි බවත් ඔහු ඒකාන්තයෙන් ම දැනගෙන හිටියා. නිශ්ක්‍රීයව පැවතුණත් කවදා හෝ සක්‍රීය වී පිටාර දමන ගිනි කන්දක් වගේ මිත්‍රයින් ගැන ඔහුට නිවැරදි කියවීමක් තිබුණා. අත් නොහරින මිත්‍ර සම්පත්තිය! ලෝකේ කොයි කොණෙක, මොන තරම් හුදෙකලාවක කාලය ගෙවන්න වුණත් මිනිහෙක් ට ඒ විශ්වාසය ම ඇති දෛවය තමන් වෙනුවෙන් උරුම කරන දවස් කීය වුණත් සතුටින් ගත කරන්න. 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment