ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා ?

'අධ්‍යාපනය' යන විශ්වීය සංකල්පය තව දුරටත් 'ආගම' නම් ගෝත්‍රික හමස්කඩයෙන් වසා තබන්නට ඔබට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අන්‍යාගමික දරුවන්ට දොරගුලු විවර නොවන, 'ආගම' ප්‍රවේශය කොටගත් සියලුම පාසල් රජයේ නඩත්තුකරණයෙන් ඉවත් කරවා ගැනීම ය. රටක පුරවැසියන් ජාති - ආගම් භේදයකින් තොරව උපයන

මහජන මුදල් , ආගමේ නම තෙවරක් හඬ ගා කියූ විට පමණක් ගල් දොරටු විවර වන විසි එක්වන සියවසේ අධ්‍යාපනික ගල්ගුහා නඩත්තු කිරීම පිණිස වෙන් කිරීම අයුක්තිසහගත ය. 

බෞද්ධ හෝ කතෝලික හෝ ඉස්ලාමීය ආදී කවර හෝ ආගමක් පදනම් කොටගෙන දරුවෙකුගේ අධ්‍යාපන අයිතියෙහි වරණය සිදු කරන්නා වූ ඕනෑම පාසලකට මේ විවේචනය අදාල ය.ඔබ අධ්‍යාපනය නම් විශ්වීය මොණර මාළුව බෙදා දෙන්නේ ආගම පදනම් කොටගෙන තෝරා ගත් තමුන්ගේ ළමුන්ට පමණක් ම නම් අදාල ආගමික සංස්ථාව විසින් එම අධ්‍යාපන ආයතනයේ බරපැණ දරනවා විනා රජය විසින් දැරිය යුතු නැත. 

ඉදින්, කිසියම් ආගමක් පදනම් කරගෙන අධ්‍යාපනය සඳහා වූ ප්‍රවේශය විවර කරදෙන පාසලක් වේ නම් ඔවුන් මූලික වශයෙන් කළ යුත්‍තේ තමන්ට අදාල ආගමික ස්ථානයේ ඇති පිංකැට වල ඇති මුදලින් එම පාසල් නඩත්තු කර ගැනීමට කටයුතු කිරීම ය. මන්ද යත් ආගමික බැතිමතුන් විසින් පන්සල්, පල්ලි, කෝවිල් ආදී ආගමික ස්ථානයන් වෙත පරිත්‍යාග කරනු ලබන, කිසිදා විගණනයකට ලක් නොවන එම මුදල් කන්දරාව යෙදවිය යුත්තේ ඒ ඒ ආගම නඩත්තු කරනු පිණිස විනා ඒ ඒ ආගමේ නියෝජිත ලෝගුධාරීන් නඩත්තු කිරීම සඳහා නොවන බැවිනි. 

ඔබේ පාසල ද අන්‍යාගමික දරුවෙකුගේ ආගමික පදනම මුල් කොටගෙන ඒ දරුවාගේ හෝ දැරියගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් දොරගුලු විවර නොකරන්නේ නම් , ඔබට සර්වාගමිකයන්ගේ ද නිරාගමිකයන්ගේ ද බදු මුදල් එකතුව සැදුම් ලත් රජයේ ප්‍රතිපාදන වලින් එම පරම පවිත්‍ර ආගමික බිබික්කම නඩත්තු කිරීමට සදාචාරසම්පන්න අයිතියක් නැත. කරුණාකර ඔබේ ආගමික සිද්ධස්ථානයේ ඇති පිං කැට වලින්ම ඒ කරුණු ඉටු කරගන්න.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment