නිරෝෂා සහ උරේෂා සමග සන්සුන් රුවන් හද මන්දිරයේ

ළඟක දි දවසක යාළුවෙක් මට යූ ටියුබ් සිංදුවක් පෙන්නලා ඇහුවා 'මේක අහලා තියෙනවද ?' කියලා. ජින්ජර්ගේ උග්‍ර රසිකයෙක් වන ඒ යාළුවා කණ්ඩායම් සංගීතයට ඇලුම් කරන විනෝදකාමී පුද්ගලයෙක්. මම ඒ නිසා ඕනෙවට එපාවට ෆෝන් එක දිහා බැලුවේ එක්කෝ අදත් ජින්ජර්ගේ කස්තිරමක් හරි එහෙමත් නැත්නම් 'ආටක නාටක' වල ගිය විකාර සිංදුවක් හරි කියන හැඟීමෙන්. තම්බ්නේල් එක දකිනකොට ම මට ඒ හැඟීම තුරන් වුණා. නිරෝෂා විරාජිනී සමග උරේෂා රවිහාරි. 'මේකේ නිරෝෂාගේ වොයිස් මරු' යාළුවා කිව්වා. මමත් ඉක්මණට සිංදුව ප්ලේ කරන්න කියලා කිව්වා. ඉතිහාසේ මුල් වරට යාළුවා මම එකඟ වෙන කතාවක් කියලා. ඇත්තට ම ඒ සිංදුව මරේ මරු. හැබැයි ඉතිං ආයෙත් මගෙයි යාළුවාගෙයි පරණ නොගැලපීම එනවා. මට නම් වැඩියෙන් ම ලස්සන උරේෂාගේ හඬ. 

'සන්සුන් රුවන් හද මන්දිරයේ' කියන්නේ 1971 තිරගත වුණු 'කේසර සිංහයෝ' චිත්‍රපටයේ එන ගීතයක්. ඒ තරම් කරළියට ආවේ නැති සංගීතඥයෙක් වුණු, මෑතක දී වියෝ වුණු ප්‍රේමදාස අතුකෝරළගේ තමයි සංගීතය. පද රචනය සිරිල් ඒ. සීලවිමලගේ. සිංදුව ගායනා කළේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා සමග ශ්‍රීමතී තිලකරත්න. ඒ කාලේ ශ්‍රීමතී රණසිංහ. 

ශ්‍රීමතී කියන්නේ අතිශය ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායිකාවක් නොවුණත් මේ සිංදුව නම් අදටත් අමරණීයයි. 'කේසර සිංහයෝ' චිත්‍රපටයේ අනික් සිංදු හතර ගායනා කළේ , එච්.ආර්. ජෝතිපාල - ජේ.ඒ. මිල්ටන් පෙරේරා, ධර්මදාස වල්පොළ , සුජාතා අත්තනායක , ලතා වල්පොල වගේ චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයේ පතාක යෝධයෝ. එහෙම වුණත් ඒ අතරින් ටිකක් හරි ජනප්‍රිය වුණේ ලතා ගැයුව 'කිත්සිරි රැන්දූ' ගීතය විතරයි. ඒත් ඒ සිංදුවට ශ්‍රීමතී - මිල්ටන් ගේ මේ සිංදුව එක්ක හැරෙන්නවත් පුළුවන් ද ? 

චිත්‍රපටයේ දී සිංදුවේ රූප රාමුව නම් හරිම බොළඳයි සහ මෝඩයි. නීටා ප්‍රනාන්දු මල් බොකේ එකක් දෝත දරාගෙන, ඒක බදාගෙන එහේ මෙහේ දුවනවා. මල් බොකේ එක විජය දිහාවට දිගු කරමින් , හිස නමා නමස්කාර කරනවා. ආයෙමත් ගේ පුරා දුවනවා. මේ විකාරරූපී නර්තනය පුරා ම විජය කුමාරණතුංග නාමිකව පෙනී සිටිනවා පමණක් නෙමෙයි ,ඒ රූප රාමුව මිල්ටන්ගේ හඬේ තියෙන හැඟීම්බර බව යටපත් කරලා පාගා දමනවා. ශ්‍රීමතීගේ ප්‍රේමයෙන් උද්දාම වුණු නැවුම් හඬට අස්ප කුලප්පුවක් ඇති කරනවා. හරියටම කිව්වොත් ගායනයේ හැඟීම රංගනය විසින් විනාස කරනු ලබනවා. 

දැන් ඒ අස්සේ මේ සුරේෂ් මාලියද්දගේ නව සංගීත සංයෝජනයට කියන 'සන්සුන් රුවන් හද මන්දිරයේ' ඇහෙන්න ගන්නවා. අද වෙනකොට ලාංකේය රිදී තිරයේ අණසක පතුරවලා ඉන්න උරේෂා සහ නිරෝෂා ගේ මිහිරි ගායනය හිත පුරවගෙන යනවා. විශේෂයෙන් ම කිසිදු ආයාසයකින් තොරව ලෙල දෙන හඬකින් ගයන උරේෂා ! ඒ හඬ නිසා දීර්ඝ මතකයක් දිග ඇරෙනවා. 

'මල්සර දෝණි' චිත්‍රපටය ට අජන්තා රණසිංහ වගේ කෘතහස්ත ගීත රචකයෙක්ගේ පද රචනයක් (උන්නා එක ගංගාවක) ගායනා කරලා අපේ ළමා ලෝකයේ වීරවරියක් වුණු උරේෂා පස්සේ කාලෙක කැසට් ලෝකයේ අතරමං වෙලා අනන්‍යතාව අහිමි කරගන්නවා. 'ජීවිතේට කාටවත්ම නෑ මා මෙවැනි ලිපියක් ලියා' වගේ කසිකබල් වචන සහිත බාල හින්දි අනුකාරක ගී කැසට් වලට වෙන් වෙලා හිටිය උරේෂා පස්සේ කාලෙක මම දකින්නේ ස්වර්ණවාහිනියේ විකාශය වුණු 'ඉඩෝරයක මල් පිපිලා' නාට්‍යයේ තේමා ගීතයෙන්. ඒ සංගීතය කේමදාස මාස්ටර්ගේ. බාල බොළඳ හින්දි අනුකාරක ගී , පිළිතුරු ගී කිය කිය දෙවැනි සංජීවනී වීරසිංහ කෙනෙක් වෙමින් හිටිය උරේෂා අර නාට්‍යය ට 'උඩුහුළඟට අල්ලා ගිනිහුල දල්වා' සිංදුව සමන්ත පෙරේරා එක්ක කියපු හැටි අද වගේ මතකයි. 'චන්ද්‍රවංශයේ වරංගනා නුඹ - කිරුළු පළන් රැජිණියේ - ආදර ඉඩෝරයේ' කියලා ගයන මනරම් ගැයුම තවම මතකයි.

එතකොට නිරෝෂා ? අනූ ගණන් වල මුල් කාලේ Super Suns සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායිකාව විදියට ජනප්‍රිය සිංහල, දමිළ ගීත ගායනා කර කර හිටිය නිරෝෂා මුලින් ම ස්වාධීන ගායිකාවක් විදියට කරළියට ආවේ 'සිත හඬයි' කැසට් පටයෙන්. පස්සේ කාලෙක සිරස ටී.වී (ඒ කාලේ එම්.ටී.වී) නාලිකාවේ ගිය වෙසක් ගී වැඩසටහනක 'යසෝදරා' කියලා අති උච්ඡ ස්වරයෙන් කෑ ගසා කියන සිංදුවක් ගැයුවාත් මතකයි. ඒ එක්කම, ඒ නාලිකාවේ ම අජන්තා රණසිංහ ලිව්ව 'රෑ දොළොස් පැයේ නිදි කඩුළු ඇරන්' ගීතයත් , අජන්තා රණසිංහ ම ලිව්ව 'මා දෑස පියා උන්නාම රළ හැපුණා' කියන ගීතයත් එක්ක විරාජිනී ගායිකාවක් විදියට මේ ක්ෂේත්‍රයේ නම සලකුණු කරනවා. පස්සේ කාලෙක විරාජිනී පුදුමාකාර විදියට තමන්ගේ හඬ අලංකාරවත් කරගෙන, කලින් තිබුණු හඬටත් වඩා ඉතාමත් සංවිධිත , පුහුණු හඬක් ලබා ගන්නවා. 

මාලියද්දගේ නව සංගීත සංයෝජනය ඇතුළෙන් හැත්තෑවේ දසකයෙන් ඇරඹෙන කතාව අනූව දසකයේ අපේ මතකයත් එක්ක ලොකු රවුමක් ගහනවා. විරාජිනීගේ, උරේෂාගේ හඬ අහනකොට ශ්‍රීමතී ට ඇයි ඒ තරම් අවස්ථා හිමි නොවුණේ කියන දුකක් දැනෙනවා. ඒ අතරින් මගේ ප්‍රියතම උරේෂා අනායාසයෙන් ද නිරෝෂා කැපවීමෙන් ද ගයනවා ඇහෙනවා. හිත ඇතුළේ නීටා - විජයගේ විකාර චිත්‍රපට නැටුම කුණු මුල්ලට දාන මිල්ටන් - ශ්‍රීමතී කැරකි කැරකී නටනවා. 

ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ 
දෙනෙතේ කැළුම් බර නිල් මල් පිපේ 
තුරුහිස් මුදුන් දළු සුළඟින් සැලේ 
සුළඟක් ඇවිත් පොඩි රහසක් කියයි



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment