නිරෝෂා විරාජිනී : මගේ ජීවිතේ මල් පිපුණාවේ

සරත් ගලප්පත්ති නිෂ්පාදනය කළ , Super Suns සංගීත කණ්ඩායමේ ෆයාස් සවාහිර් සංගීත අධ්‍යක්ෂණය කළ 'සිත හඬයි' කැසට් පටයෙන් සංගීත ලෝකයේ විශාල පියවරක් තැබූ නිරෝෂා විරාජිනී අද වෙනකොට ගායන ලෝකයේ නොමැකෙන නාමයක් වෙලා ඉවරයි. විරාජිනීගේ මුල් ම ගීතයේ සිට අද දක්වාම ගීත අරගෙන බැලුවොත් මේ ඉතිහාසය පුරා ම විවිධ මතකයන් අවුළුවන ගීත රාශියක් තිබෙන බව පැහැදිලියි. එකිනෙකට වෙනස් ප්‍රස්තුත වල ගීත වුණත් එක් එක් කාල සීමාවන් වල දී අපි එක දිගට අහන , රේඩියෝ එකෙන් , ටී.වී එකෙන් ඇහෙනකොට දුවගෙන එන, කැසට් පටි වලට රෙකෝඩ් කරලා නැවත අහන ගීත. මේ තියෙන්නේ ඒ සමහර ගීත. 

'මා දෑස පියා උන්නාම රළ හැපුණා' (අජන්තා රණසිංහ | අතුල අධිකාරී) ගීතය ගියා 1995 දි සිරස ටී.වී. නාලිකාවේ. විරාජිනීගේ මුල් කාලීන තියුණු කටහඬ රැගත් මේ ගීතයේ රූප රාමු වල සමදරා ආරියංවශ හිටියා මතකයි. ඊ ළඟට 'පුන්සඳ රෑට ඇවිදින්' (රත්න ශ්‍රී විජේසිංහ | ඔස්ටින් මුණසිංහ) ගීතය තමයි විරාජිනීගේ ගායනයේ හැරවුම් ලක්ෂ්‍යය. මම දන්න විදියට ඒ සිංදුව මුලින් ම ගායනා කළේ ඉන්දීවරී ආරියසිංහ. ගුවන් විදුලියේ සරල ගී වලට ගැයුණ ඒ ගීතය ඔස්ටින් මුණසිංහ විසින් විරාජිනීට ලබා දෙනවා. මේ සිංදුවේ අන්තරා කොටසේ තියෙන 'තුන්පත් රෑන' කියන යෙදුම ගැන දීර්ඝ සංවාද, පාසල් වල සිංහල කාල පරිච්ඡේදවල පවා ඇති වුණා ඒ කාලේ. ඔය කාලේම තමයි 'රෑ දොළොස් පැයේ' (අජන්තා රණසිංහ | ඇන්තනී සුරේන්ද්‍ර ) ගීතය සමාජගත වෙන්නේ. 'දෙකනට දෙමික්කං' සහ 'හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැන් එතැයි කියා' වගේ අජන්තා සාමාන්‍යයෙන් යොමු නොවන ගැඹුරු ජනවහර ඒ ගීතය තුළ ගැබ් වෙලා තිබුණා. ඔය කාලේ කැළුම් ශ්‍රීමාල් ගීත රචනයට පිවිසුණා. ඉස්සර 'ලක්බිම - රිද්ම' අතිරේකයේ යනවා අලුතෙන් පිට වෙන සිංදුවක ස්වර ප්‍රස්තාර. 1998 විතර කාලේ වෙනකොට 'සඳු සාක්කි කියාපුදෙන්' (කැළුම් ශ්‍රීමාල් | ඇන්තනී සුරේන්ද්‍ර ) සිංදුව අහලා නැතිව ඒ ස්වර එක්ක පද මාලාව කියවපු අපිට ප්‍රශ්නයක් ආවා කොහොමද දෙයින්නේ මේ හෑල්ල සිංදුවක් විදියට කියන්නේ කියලා. ඒ අස්සේ 'සඳු සාක්කි කියාපුදෙන්' ගීතය රවීන්ද්‍ර මුණසිංහගේ ඉතා ආකර්ෂණීය සහ වෙනස් රූපරාමුවක් එක්ක ජාතික රූපවාහිනියේ 'නදුන් උයන' වැඩසටහනේ පෙන්නුවා. උපේකා ගංගොඩවිලගේ නර්තන කණ්ඩායම එක්ක රඟපෑව ශ්‍රීනාත් මද්දුමගේ පෙම්වතාට හිටියා විතරක් නෙමෙයි. අලි ඇඟත් එක්ක අපූරුවට නැටුවා. සිංදුව සුපර් හිට් වුණා. මේ අතරේ වෙන්න ඕනේ විරාජිනී දමිළ බසින් ගයන 'වෙන්පුරාවේ' (එම්.එච්. ෂම්ස් | ප්‍රේමසිරි කේමදාස) ගීතය මෙරට සිංහල - දෙමළ රසිකයින් අතර එක වගේම ජනප්‍රිය වෙන්නේ. රිදීවන් තටු ගසන සුදු පරෙවියා ගැන ගැයෙන විරාජිනීගේ කටහඬ යුද්ධයෙන් බැටකන රටකට කඳුලක් එක් කරනවා. සුදත් රෝහණගේ 'යුග විලක්කුව' ටෙලි නාට්‍යය විකාශය වෙන්නේ 1999 දි. නැවතත් යුද්ධයට එරෙහිව ගයන විරාජිනී 'ලේ සලකුණු පමණයි රණබිමට ඉතිරිවන්නේ' (සුනිල් ආරියරත්න | රෝහණ වීරසිංහ) තේමා ගීතය ගයමින් 'කවුරුද සතුරෝ කවුරුද රණ විරුවෝ - ජය ලද්දෝ දෙපිලම බිලිගත් මරුවෝ' වගේ දාර්ශනික මතයක් සමාජගත කරන්න තමන්ගේ මියුරු හඬ උපයෝගී කරගන්නවා. ඔය අතරේ 'නාඳුනන සිහිනේ' ඇල්බමයට 'සිනා තොටක් විය' (බන්දුල නානායක්කාරවසම් | රෝහණ වීරසිංහ) ගීතය ගායනා කරන විරාජිනී සහස්‍රය මුල් භාගයේ පරාජිත පෙම්වතියන්ගේ පරමාදර්ශය බවට පත් වෙනවා. පද රචකයා තමන්ගේ ඊ ළඟ ගී පද සංග්‍රහයට 'සිනා තොටක්' කියලා නම යොදන මට්ටමට ගීතය ජනප්‍රිය වෙනවා. නොකියා 1100 වගේ දුරකතන වල අපිට රින්ගිං ටෝන් හදාගන්න පුළුවන් වුණාම පරිශීලකයෝ අතර වඩා ජනප්‍රිය ගී තනු දෙකෙන් එකක් බවට පත් වෙනවා. මේ අතර ජාතික රූපවාහිනියේ 'ඇඟිලි සලකුණ' කියන විවාදාසම්පන්න වැඩසටහන ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ කියන කාරණා දෙකෙන් එකකට ළං වෙනවා. 1999 අවුරුද්දේ ඉනෝකා සෙව්වන්දි නම් සෙබළිය ඝාතනය කළ ඇයගේ පෙම්වතා වන ප්‍රභාත් මනබන්ධන සේරම් නමැත්තාට 2001 අවුරුද්දේ දි අධිකරණය විසින් මරණ දඬුවම ලබා දෙනවා. 'ඇඟිලි සලකුණ' වැඩසටහන මේ සිදුවීම ප්‍රතිනිර්මාණය කරන විට පසුබිමෙන් විරාජිනීගේ ගීතයක් යොදා ගත්තා. 'අළු පාට හැන්දෑවේ' (සුරම්‍යා මාපිටිය | නන්දසේන කටුවාවල) හෙවත් 'සිනාසෙන්න මට' සිංදුව ඒ වැඩසටහනත් එක්කම එක රැයින් ගීතලෝලීන් වැළඳ ගත්තා. අදටත් ඒ ගීතය ඇහෙනකොට ඉනෝකා සෙව්වන්දි ගැන කම්පනීය මතකයක් අවදි වෙනවා. සුරම්‍යාට තව සියවසක් සිංදු ලිව්වත් මේ සිංදුවට අභියෝග කරන්න සිංදුවක් නම් ලියන්න බැහැ කියලා හිතෙනවා. ඔය අතරේ විරාජිනී ආයෙමත් යුද්ධයේ බිහිසුණු බව පිළිබඳව ගායනා කරනවා. 'කරදිය සුළඟට සුසුමක් හැර දා' (නිලාර් එන්. කාසිම් | සරත් දසනායක) ගීතය එතෙක් සොල්දාදුවා පිළිබඳ ගැයුණු අධි තාත්වික සහ යාන්ත්‍රික නිර්වචනයෙන් වියුක්ත වෙලා මානුෂික සහ හැඟීම් දැනීම් ඇති කතිකාවකට දොරගුළු විවර කරනවා. 'වෙඩි හඬ නෑසෙන ඈතක හිත ඉගිලී යාදෝ - පුපුරණ විට ළඟ පාතක සිහිනය මියැදේදෝ' කියන දෙපදයේ ම ඒ හැඟීම් ගැබ් වෙලා තියෙනවා. 

පෙර කී සියලුම ගීත ගැන කතා කරන අතරේ විරාජිනීගේ 'සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ' (නිලාර් එන්. කාසිම් | BnS) ඈතින් ඇහෙනවා. මේ ගීතය පූර්ව නිර්මිත තනුවකට යෙදූ වචන බව දැනගත්තාම නිලාර්ගේ වාග් කෝෂයේ පොහොසත් බව සහ එහි උචිතෝන්නතිය ගැන විස්මයක් ඇති වෙනවා. එහි අන්තරා කොටස් ලියැවෙන්නේ මෙහෙම

රැයේ ඇස් නොසොල්ලා - මලේ රොන් සිඹින්නා
සඳේ රැස් ද මා දැන් අවුලාවී
හසුන් තුඩු හඬාවා - මෙවුල්දම් බිඳේවා
නිවාලන්න ගිනිගත් සන්තානේ

සුසුම් සර විලාපේ ලවන් පීර පීරා
පිපාසෙන්ද මත් වී මල් යහනේ
හැඟුම් නග්න දෑසේ නොකී භාව ගීයේ
සදානන්ද සීමා කොයි මානේ

පූර්ව නිර්මිත තනුවක් ඇතුළට යොදන වචන රාසියක්; අර්ථ රසයෙන් මේ තරම් පොහොසත් වනවා වගේ ම විරාජිනීගේ හඬට රිසි ලෙස ගීතවත් වන්නට තරම් සුගම වීම ගැන මම පුදුම වෙන්නේ නෑ. 

සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ
මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ
රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැඟුම් උදාවේ
මගේ ජීවිතේ මල් පිපුණාවේ

මම පුදුම වෙන්නේ මෙන්න මේ පද පේළිය ගැන.

මගේ ජීවිතේ මල් පිපුණාවේ
ඇන්ජලීන් - ජෝතිපාල දෙන්නා 'අබිරහස' චිත්‍රපටයට ගයන 'සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා' කියන ගීතයේ පෙම්වතියගේ සමස්ත නිෂ්ටාව ම තියෙන්නේ 'මහදේ සොඳුරු අහසේ අනාගතේ' කියන පද පේළියේ. සුජාතා අත්තනායක 'ගංගා' චිත්‍රපටයට ගයන 'මීදුම් වලාවන් ගලාලා' ගීතයේ පෙම්වතිය නිරූපණය කෙරෙන්නේ 'සවනට මොනවාද මුමුණා කියන්නේ' කියන පද පේළියෙන්. යමුනා විනෝදනීගේ 'අසුරු සැණින් එක මොහොතක දී' ගීතයේ කැඩපත වෙන්නේ 'අපේ ම වී අප ඉපදේවා' කියන පද පේළියේ. 

අන්න ඒ වගේ; මේ ගීතයේ ආත්මය රැඳිලා තියෙන්නේ, ගීතයේ ම අර්ථය අත් පසුරට ගන්නාසුලු මේ පද පේළියේ.

මගේ ජීවිතේ මල් පිපුණාවේ


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  2. මා දෑස පියා උන්නාම ගීතය මටත් හොඳට මතකයි.ඒත් අද ඒක අහන්න කොහේවත් හොයාගන්න නැහැනේ...

    ReplyDelete