නවක වධය - නොනිමෙන ගොදුරු මාලාව


තවත් නවක සරසවි ශිෂ්‍යයෙක් වැඩිහිටි සිසුන්ගේ ගොදුරක් බවට පත් වූ දුක්ඛඃදායක පුවත ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අසන්නට ලැබිණ. මේ සිදුවීම නවක වධයට අදාල නොවන බව පවසමින් මරණ මංචකයේ වැතිර සිටින සිසුවා වෙනුවෙන් නොව තමාගේ මස් රාත්තල බේරා ගැනීම උදෙසා සටන් වදින ෂයිලොක් විද්‍යාර්ථීන් රැසකගේ අදහස් දැක්වීම් ද දැක තාරුණ්‍යය මෙතරම් වේගයෙන් තිරස්චීන වන්නේ කෙසේදැයි විමතියට පත් ව සිටින්නෙමි.
සරසවි පරිශ්‍රය තුළ CCTV කැමරා සවි කිරීමෙන් ශිෂ්‍යයන්ගේ කුමක්දෝ පරම පිවිතුරු දෙයකට හානි වන බව පවසමින් කැලණිය සරසවි සිසුන් අරගල කළේ ද මහා වීරත්වයකින් යුතු ව ශිෂ්‍ය චීවරධාරීන් දෙදෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් CCTV කැමරා ගලවා භාර දෙන පුණ්‍යකර්මයක් පැවැත්වූයේ ද මසක් ඇතුළතදී ය.
මෙරට සරසවි සිසුන් හට ඇති මූලිකම බාධාව සහ තර්ජනය වන්නේ ආරක්ෂිත කැමරා පද්ධති සවි කර තිබීමය.ඒ බව අප දනිමු. ඒ යුගයේ ආරක්ෂිත කැමරා තිබුණා නම් 1975 වසරේ දී පේරාදෙණිය සරසවියේ කෘෂි අධ්‍යයන පීඨයේ පළමු වසරේ සිසුවිය රූපා රත්නසීලි නවක වධය ඉවසාගත නොහැකිව රාමනාදන් ශාලාවේ දෙවැනි මහලෙන් පනින ආකාරය සනිටුහන් වන්නට ඉඩ තිබිණ. ඒ යුගයේ ආරක්ෂිත කැමරා තිබිණි නම් 1986 වසරේ දී කොළඹ සරසවියෙන් කැඳවාගෙන ගොස් හිරණ තොටුපළ අසල ගෙල කපා මරා දැමූ දයා ආනන්ද පියසිරි පතිරණගේ ඝාතකයින් හඳුනාගන්නට ඉඩ තිබිණ. එකල ආරක්ෂිත කැමරා තිබිණි නම් 1992 වසරේ දී පුෂ්පා මධුවන්‍ති ගුණවර්ධන සිසුවියගේ ගමේ පෙම්වතා කැලණිය සරසවි භූමිය තුළදී ම ඇයට පිහියෙන් ඇන මරා දමනයුරු සටහන් වන්නට ඉඩ තිබිණ. ආරක්ෂිත කැමරා තිබිණි නම් 2002 වසරේ දී නවක වධයට විරෝධය පල කළ නිසා නවක වධ පාක්ෂික ජනතා විමුක්ති පෙරමුණට සමබන්ධ සරසවි ශිෂ්‍ය පිරිසක් විසින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ ශිෂ්‍ය, ඕවිටිගල විතානගේ සමන්ත සිසුවා ඝාතනය කළ ආකාරය සාක්ෂ්‍ය සහිතව බලාගන්නට තිබිණ. ආරක්ෂිත කැමරා තිබිණි නම් අද වන විට ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් දිවිදුන් ශිෂ්‍ය වීරයන් ලෙස ඉතිහාසගත වී සිටින සමහරෙක්ගේ මරණ වල සැබෑ හේතුව හෙළිදරව් වී සියලුම ව්‍යාපාර නිරුවත් වන්නට ද , අනුස්මරණ නාම පුවරු ගැලවෙන්නට ද ඉඩ තිබිණ.
ලැන්කෂයර්හි එළිමහනක සිටි අයිසැක් නිව්ටන්ගේ හිස මතට වැටුණේ ඇපල් ගෙඩියකි. ජයවර්ධනපුර සරසවි භූමිය ඇතුළත සිටි සිසුවාගේ හිස මත වැටෙන්නේ ට්‍රැක්ටර් ටයරයකි. උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබා කළමනාකරණ පීඨයට තේරී පත් වූ පසිඳු හිරුෂාන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ ප්‍රායෝගික පාඩමක ප්‍රතිඵලයක් ලෙස කොළඹ ජාතික රෝහලේ යන්ත්‍රානුසාරයෙන් ජීවිතය සමග සටන් වදී. කහ රෙදි පොරවාගත් මචං සාදුලා ප්‍රමුඛ ශිෂ්‍ය සංවිධාන සරසවි තුළ ආරක්ෂිත කැමරා සවි කිරීම ශිෂ්‍යයන්ගේ නිදහසට බාධාවක් යැයි අරගල කරති. කැමරා ගලවා උත්සවාකාරයෙන් භාර දෙති. නීතිය කඩකළ නිසා නීතිය හමුවට පැමිණවූ විට එක රැයින් ශිෂ්‍ය වීරයන් වන්නට කැසකවති.
දරුවනි ;
පණහ දසකයේ දී 'ලිට්ල් රොක් නයින්' ලෙස හැඳින් වූ කළු ජාතික ඇමරිකානු උසස් පාසල් සිසුන් ද හැටේ දසකයේ දී රූබි බ්‍රිජස් නම් හුදෙකලා කළු දැරිය ද වර්ණභේදයකින් තොර අධ්‍යාපන නිදහස වෙනුවෙන් අරගල කරන විට ; දෙදහස් දොළහ වසරේ දී බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අරගල කර මලාලා යුසුෆ්සායි නම් පාකිස්ථාන දැරිය තලිබාන් වෙඩි ප්‍රහාරයට ලක් වන විට නුඹලා දෙදහස් විස්ස වසරේ දී ලංකාව තුළ අරගල කරමින් ඉල්ලා සිටින ශිෂ්‍ය නිදහස වන්නේ නවක සිසුන්ගේ හිස මතට ටයර අත ඇරීමේ වරප්‍රසාදය ද ?


ශ්‍රීමත් විලියම් ගෝල්ඩිං විසින් රචිත Lord of the Flies කෘතියෙහි කියැවෙන්නේ බ්‍රිතාන්‍ය පාසල් සිසුන් කණ්ඩායමක් රැගත් ගුවන් යානාවක් පාළු දූපතකට කඩා වැටෙන සිදුවීම ය. නියමුවා මිය ගියද සිසුන් සියල්ලම තම දිවි බේරාගන්නේ වැඩිහිටියෙක් තොර දූපතක හුදෙකලා වෙමිනි. ආරම්භයේ එකිනෙකා සහයෝගයෙන් වැඩ රාජකාරි බෙදා හදාගෙන තම පැවැත්ම සුරක්ෂිත කරගන්නා යොවුන් දරුවන් කල් ගතවත්ම නායකත්වයේ සහ පාලන බලයේ වියරුවෙන් එකිනෙකා හා සටන් වදින්නට ගනී. සිසුන් දෙදෙනෙක් ඝාතනය වන අතර කඳු මුදුනේ සිට පහළට ගල් පෙරළමින්; කුසගිනි නිවන පළතුරු ගස් සහිත කැළෑව ගිනිතබමින් පවා විරුද්ධවාදියා නැසීමට තරම් ඔවුන් සැහැසි වූහ.

අවසානයේ තමා හඹා එන අනෙක් වියරු යෞවනයින්ගෙන් බේරීමට දිවවිත් වෙරළේ පැකිලී වැටෙන රැල්ෆ් දකින්නේ නාවුක භට කණ්ඩායමක් ගොඩ බැස තමා දෙස බලා සිටින බවය. කැළෑව ගිනි තබමින් ම්ලේච්ඡ වෙස් ගෙන එකිනෙකා හඹා යන ළමුන් සෙල්ලමක් කරන්නේ යැයි භටයින් සිතති. බ්‍රිතාන්‍ය ළමුන් පිරිසක් නිසා සියලු දෙනාම මීට වඩා වැදගත් ආකාරයට හැසිරෙතැයි සිතූ බව නාවුක නිළධාරියා පැවසූ විට තම සමවයස් පිළිමළුන්ගෙන් දිවි බේරාගත් රැල්ෆ් මෙසේ පවසයි.
"අපි එකට තමයි හිටියේ .. පස්සේ"
නාවුක නිළධාරියා ඊට බාධා කරමින් තම උපකල්පනය ළමයා මත ආරෝපණය කළේය.
"මට තේරෙනවා. සාමූහික වැඩ. හරියට කොරල් දූපත පොතේ වගේ"
“I know. Jolly good show. Like the Coral Island"
අද වන විට විශ්ව විද්‍යාල පද්ධතිය විලියම් ගෝල්ඩින් රචිත ඒ අහඹු හුදෙකලා දූපත ය.වැඩිහිටි පාලනයකින් තොර යෞවනයින් හට දිනෙන් දින අහිමි වන සහ අහිමි කරගන්නා අගනා කම් පිළිබඳ තක්සේරුවක් නැත.
නාවුක හමුදාව වෙරළ බට සෑම මොහොතකම සාමූහිකව , කොරල් දූපත කතාවේ මෙන් සමගිව සිටි බව ඔවුහු ඒත්තු ගන්වති. නමුත් සැබෑ තත්ත්වය කොතරම් ම්ලේච්ඡ ද , කුරුරු ද සහ හිංසාකාරී ද යන්න දන්නේ ඔවුන් පමණය.
සිසු දරුවනි ;
ඔබ ජීවත්වන්නේ ද විලියම් ගෝල්ඩින් රචිත ඒ වැඩිහිටි පාලනයකින් තොර යෞවනයින් වෙසෙන අහඹු හුදෙකලා දූපතේය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. මේ වගේ සක්කිලි වැඩ කවදා නතරවෙයිද මන්දා... මම අදුනන කිහිප දෙනෙක්ම අමාරුවෙන් ඒලෙවල් පාස් වෙලත් කැම්පස් ගියේ නෑ මේ වගේවැඩ නිසා... ටික කාලෙකට කලින් කැම්පස් කිහිපයකට RTI එකෙන් ලියුම් දැම්මා නවක වදය ගැන ප්‍රශ්න මාලාවක් අහලා... වැඩිමනක් ඒවට උත්තර නෑ... අරෙහෙම පනතක් තිබුනත් හැම තැනකටම ඒක එක විදිහට ක්‍රියාත්මක වෙනවද කියලත් ප්‍රශ්නයක්... මොකද විදාතා එකටත් වෙනමම ප්‍රශ්න මාලාවක් හදල දුන්නම ඒකට පිලිතුරු ආවා...

    ReplyDelete