Chen Shih-hsin | ජාතික ගීය සහ ජාතික ධජය අහිමි රන් පදක්කම | 2004


2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ කාන්තා ටයිකොන්ඩෝ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 49 බර පංතියේ රන් පදක්කම දිනාගන්නේ තායිවානයේ Chen Shih-hsin ය. ඇය දිනාගත් රන් පදක්කම ඉතිහාසගත වන්නේ තායිවානය දිනූ මුල් ම ඔලිම්පික් රන් පදක්කම ලෙසිනි. 2000 සිඩ්නි ඔලිම්පික් උළෙල වන විට තායිවානය දිනාගෙන තිබූ සමස්ත ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව 10 ක් වුව ද ඒ අතර කිසිදු රන් පදක්කමක් නොවිණ. 

Chen Shih-hsin තම ඉතිහාසගත පදක්කම ප්‍රදානය කරන මොහොතේ ඉතාමත් ප්‍රීතියෙන් කාලය ගත කළ ද රන් පදක්කම ප්‍රදානයෙන් අනතුරුව ජයග්‍රාහකයාගේ ජාතික ධජය ඉහළ නංවා ජාතික ගීය වාදනය වන විට ඇයට හැඬුම් යන්නට විය. ඒ, වෙනත් ජයග්‍රාහකයෙක් තම ජාතික ධජය එසෙවෙනු දැක, තම ජාතික ගීය වාදනය වනු අසා තමන් ලද ජයග්‍රහණය පිළිබඳ ආඩම්බරය පෙරදැරි කොට හෙළන සතුටු කඳුළු ආකාරයේ කඳුළක් නොවිණ. ඇය හඬන්නේ ශෝකයෙනි. සමස්ත තායිවානයට ම වැදගත් වන, සමස්ත තායිවානය ම ප්‍රීතියෙන් සමරන මේ ඉතිහාසගත දිනයේ ඇය වැළපෙන්නේ තම රට වෙනුවෙන් නැගෙන ශෝකයෙනි. එතැන තායිවානයේ ජාතික ගීතය වාදනය වන්නේවත් තායිවානයේ ජාතික ධජය එසැවෙන්නේවත් නැත. එහි එසැවෙන්නේ Chinese Taipei හෙවත් 'චීන තායිපේ' යන ආරූඪ නාමය වෙනුවෙන් නිම වූ ධජයකි. වාදනය වන්නේ ඒ ධජය වෙනුවෙන් වයන්නට වෙන් වූ ආරූඪ ගීයකි. ඒ, තායිවානයට රටක් වශයෙන් හිමි ව ඇති ඉරණම ය.

තායිවානය ට චීන තායිපේ ලෙස ජාත්‍යන්තරය සමග මුසු වන්නට වන්නේ චීනය විසින් එල්ල කරන ප්‍රබල බලපෑම හේතුවෙනි. 1949 දී චීන සිවිල් යුද්ධය අවසන් වූ පසු ව එතෙක් Republic of China (ROC) ලෙස හැඳින් වූ වත්මන් තායිවානය සහ People's Republic of China හෙවත් වත්මන් මහජන චීනය අතර 'චීනය' යන නම වෙනුවෙන් සීතල යුද්ධයක් ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1971 වසරේ දී එක්සත් ජාතීන්ගේ සමුළුව විසින් තායිවානයට එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට බලකරන්නේ 'චීනය' වෙනුවෙන් වූ එකම නීත්‍යානුකූල සාමාජිකයා 'මහජන චීනය' බවට නිගමනය කරමිනි. මේ භේදනය තව දුරටත් පැතිරෙමින් 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ දී සත්කාරක රාජ්‍යය වන කැනඩාව විසින් තායිවානය ට Republic of China (ROC) ලෙස තරග වැදීමට අවසර දීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.1979 වසරේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ 'චීන' අර්බුදයට විසඳුමක් ලෙස 'නගෝයා ප්‍රඥප්තිය' සම්මත කරගනු ලබන්නේ තායිවානයට තව දුරටත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ‍රැඳී සිටීමට අවස්ථාව උදා කර දෙනු පිණිස ය. ඒ අනුව තායිවානයට ඔවුන් භාවිතා කරන Republic of China (ROC) ජාතික ධජය හෝ ජාතික ගීය භාවිතා නොකර Chinese Taipei යන ආරූඪ නාමයෙන් තරග වැදීමට අවසර ලබා දීමට ඔවුන් තීරණය කළහ. එහි දී තායිවාන කණ්ඩායමට භාවිතා කිරීමට ආරූඪ ධජයක් සහ ගීතයක් ද නිර්මාණය වූ නමුත් තායිවානය මේ විසඳුම පිළිගත්තේ නැත. ඔවුන් 1980 මොස්කොව් ඔලිම්පික් උළෙල වර්ජනය කරන්නේ එබැවිනි. 

අවසානයේ 1981 වසර වන විට සාකච්ඡා මාලාවකට පසු තායිවානය එම තීරණයට හිස නමනුයේ තම රට වැසියන්ට අහිමි වන අවස්ථාවන් සැලකිල්ලට ගෙන බව පැහැදිලි ය. ඒ අනුව මුල් වරට 1984 සරේයේවෝ ශීත සෘතු ඔලිම්පික් උළෙලට 'චීන තායිපේ' යන නමින් සහභාගී වූ තායිවානය එදා සිට අද දක්වා ම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල වලට සහභාගී වන්නේ Chinese Taipei නම් ආරූඪ නාමයෙනි. 

2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කමක් දිනන Chen Shih-hsin ඒ ප්‍රීතිමත් නිමේෂයේ දී සංවේගයෙන් වැළපෙන්නේ මේ සා මහරු මොහොතක දී තම මව්බිම නියෝජනය කිරීමට සැබෑ ජාතික ධජය හෝ සැබෑ ජාතික ගීය භාවිත කිරීමේ අවසරය නොලැබීමේ කණස්සල්ල හේතුවෙනි. 

ජාතිකත්වය පිළිබඳ ආඩම්බර වීමට කරුණක් හෝ හේතුවල් නොමැතිව ම, අනෙක් රටවල්වලට තිබෙන නිසා අපටත් තිබෙන, එසේත් නැත්නම් පාළුවට, මෝස්තරයට, ආසාවට හෝ කාට හරි රිදවන්නට ජාතික ගීත සහ ජාතික ධජ නඩත්තු කරන රටවල් තුළින් Chen Shih-hsinලා බිහි වීම බුදු කෙනෙකුන් බිහි වීමයටත් වඩා දුර්ලභ ක්‍රියාවකි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment