දැල්පන්දුවේ කෙහෙවලු අන්දරය : හයිසින්ත්ගේ කාලයේ ආසියානු ශූරතාව ගිලිහුණේ ඇයි ?



2019 වසරේ දැල්පන්දු ලෝක කුසලානය පසුගිය ජූලි මස 12 - 21 දක්වා එංගලන්තයේ ලිවර්පූල්හි දී පැවැත්විණ. 2018 වසරේ ආසියානු සූරියන් ලෙස තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම් 16 ක් අතරින් 15 වැනි තැන හිමි කරගත් අතර 16 වැනි ස්ථානය හිමි වූයේ සිංගප්පූරුවට ය. මූලික වටයේ පළමු අදිරේ දී ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ උතුරු අයර්ලන්තය වෙතින් පරාජයට පත් වූ ශ්‍රී ලංකාව දෙවන අදියරේ දී ෆීජී සහ සැමෝවා හමුවේ පරාජයට පත් වෙමින් සිංගප්පූරුව හමුවේ 88-50 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට සමත් විය. 15 වැනි ස්ථානය සඳහා වූ ශ්‍රේණිගත තරගයේ දී යළිත් වරක් 78-57 ක් ලෙස සිංගප්පූරුව පරාජය කළ ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියේ දී වාර්තා කළ ලකුණු පරතරය පවත්වා ගැනීමට සමත් විය.   

මේ අතර පුවත්පත් කිහිපයක වාර්තා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකාවන් මෙන් ම පුහුණුකාරිණියන් ද වන කිහිප දෙනෙකුගේ පැමිණිල්ලක් මත ක්‍රීඩා අමාත්‍යංශය මගින් මෙවර ලෝක කුසලානයේ ලද පරාජය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව ය. එම වාර්තා වලට අනුව 'හිටපු නායිකාවන් මෙන් ම පුහුණුකාරිණියන්" ලෙස හයිසින්ත් විජේසිංහ , දීප්ති අල්විස් සහ වජිරා පුෂ්පකුමාරි යන තිදෙනාගේ නම් සඳහන් වුණ ද මාධ්‍ය හමුවේ මේ පිළිබඳ අදහස් දැක් වූ එක ම පාර්ශ්වය වූයේ හයසින්ත් විජේසිංහ ය. 2011 වසරේ ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව තම පුහුණුකාරීත්වය යටතේ 14 වැනි තැන දිනා ගත් බවත් මෙවර ලංකාවට හිමි වූයේ 15 වැනි ස්ථානය බවත් ඇය එක් පුවත්පතකට ප්‍රකාශ කර තිබිණ. මෙවර කණ්ඩායම පෙරපුහුණු විදේශ සංචාර තුනකට සහභාගී වූ නමුත් 2011 වසරේ දී තමා පුහුණු කළ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූයේ එක් විදෙස් පුහුණු සංචාරයකට පමණක් බව ද පැවසූ හයිසින්ත් අවසාන වශයෙන් අවධාරණය කර තිබුණේ මෙවර ආසියානු කුසලානය දිනාගැනීම වෙනත් පුහුණුකරුවන්ගෙන් පන්නරය ලබා තිබූ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් රැසක් කණ්ඩායමට ඇතුළත් වීමේ ප්‍රතිඵලයක් විනා වත්මන් පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් නොවන බව ය.   

දසක ගණනාවක් තිස්සේ තිලකා ජිනදාස හට ලංකාවේ දැල්පන්දු පිටියට පිවිසෙන්නට නොදුන් ප්‍රබල කුමන්ත්‍රණයක් දියත් වූ බවත් අවසානයේ ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස තෝඅරා ගැනුණු බවත් මේ වන විට රට ම දන්නා රහසකි. තිලකා ට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස අයදුම් කරන්නට නොහැකි වන ආකාරයට වරින් වර නීති රීති වෙනස් කරමින් හැංගි මුත්තං සෙල්ලම් කරමින් සිටි පිරිසට නිසි පිළිතුරු වූයේ ඇය දිනා දුන් ආසියානු සූරතාවය ය. තරගාවලි තුනක් පිට පිට ම පරාජය වී සිටි ශ්‍රී ලංකාව මෙවර සිංගප්පූරුවට එරෙහිව විශාල ලකුණු පරතරයකින් ජය ලබන්නට සමත් විය. මෙයට පෙර අවසාන වරට ශ්‍රී ලංකාව ආසියානු සූරියන් වී තිබුණේ 2009 වසරේ දී වන අතර එම කණ්ඩායමේ පුහුණුකාරිණිය  වූයේ ද මේ කියන තිලකා ජිනදාසම ය. තිලකා ලවා ආසියාව ජයග්‍රහණය කර ලෝක කුසලානයට සුදුසුකම් සපුරාගත් නමුත් ඇයට 2011 වසරේ ලෝක කුසලාන කණ්ඩායම භාර නොදුන් බලධාරීන් හයිසින්ත් විජේසිංහ ව තෝරාගත් අතර දිගින් දිගටම එල්ල වන සැලසුම්සහගත කෙණෙහිලිකම් මැද තිලකා ලංකාව අතැර යන්නට තීරණය කළා ය. ලංකාවේ බලධාරීන් ට තිලකා ජිනදාස යන නම සිහිපත් වන්නට ගත්තේ ආසියානු තරගාවලි 3 ක් පිට පිට ම පරාජය වූ පසු ය. 

ආසියානු කිරුළ හමුවේ මුළුගැන්වී සිටි කල්ලි-කණ්ඩායම් ලෝක කුසලානය අවසාන වූ වහා තම සුපුරුදු චර්යාව විදහා පාන්නේ මෙවැනි පසුබිමක ය. එබැවින් අප පළමුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක භාවය පිළිබඳ පැමිණිලි කළා යැයි පැවසෙන සාර්ථක පුහුණුකාරිණියන්ගේ අති සාර්ථක ඉතිහාස විමසා බැලිය යුතුම ය. 


වජිරා පුෂ්පකුමාරි
ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණිලි කර ඇත්තේ හිටපු නායිකාවන් සහ පුහුණුකාරිණියන් වන හයිසින්ත් විජේසිංහ , දීප්ති අල්විස් සහ වජිරා පුෂ්පකුමාරි යන තිදෙනා යැයි පුවත්පත් වල සඳහන් වූ නමුත් වජිරා පුෂ්පකුමාරි යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩිකාවක නොවන අතර අඩුම තරමින් මතකයේ රැඳෙන තරම් කාලයක්වත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක ද නොවන බව සිහිපත් කළ යුතුම ය. ඇය පිළිබඳ ක්‍රීඩා මතකය දිවයන්නේ 1997 වසරේ සිංගප්පූරුවේ පැවති 04 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියට ය. නිත්‍ය ක්‍රීඩිකා ගයාත්‍රි ලංකාතිලක මුහුණ දී සිටි ආබාධ තත්ත්වයක් මත 13 වැනි ක්‍රීඩිකාව ලෙස වජිරා එම සංචාරයට එක් වූ කරුණ හැරෙන්නට වජිරා පුෂ්පකුමාරි හිටපු නායිකාවක් ලෙස ශ්‍රී ලංකා දැල්පන්දු ඉතිහාසය තුළ ස්ථානගත වී නොමැත.     


දීප්ති අල්විස් 
දීප්ති අල්විස් යනු මෑත ඉතිහාසයේ දැල්පන්දු ක්‍රීඩාවේ පරිහානියට වගකිවයුතු පුහුණුකාරිණියන් දෙදෙනා අතරින් එක් අයෙකි. දීප්ති 2012 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවති 08 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ සහාය පුහුණුකාරිණිය වූ අතර දැල්පන්දු ක්‍රීඩාවේ වත්මන් ඉරණමට වග කිව යුතු අනෙක් පුහුණුකාරිණිය වන හයිසින්ත් විජේසිංහ එවර ප්‍රධාන පුහුණුකාරිණිය වූවා ය. සිංගප්පූරුව සමග පැවති අවසාන මහා තරගය දේශීය නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මැද ආරම්භ වූ අතර පළමු කාර්තුව අවසානයේ විවේකයේ දී ශ්‍රී ලංකාවේ නිත්‍ය ගෝල් ඇටෑක් ක්‍රීඩිකාව වූ ශෂිකා සමරසිංහ ව පිටියෙන් ඉවතට ගෙන සහාය පුහුණුකාරිණිය ගේ දියණිය වූ සේමිණි අල්විස් ව ආදේශ කිරීමට පුහුණුකාරිණිය වන හයිසින්ත් කටයුතු කළා ය. ශෂිකා යනු එවකට කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවන්ගෙන් එක් අයෙකු වූ අතර හිටපු ශ්‍රී ලංකා නායිකාවක ද විය. ඇයව ඉවතට ගෙන ආදේශ කළ දීප්ති අල්විස් ගේ දියණිය , සේමිණි යනු ආබාධයක් හේතුවෙන් තරගාවලිය පුරා විවේක ගනිමින් සිටි ක්‍රීඩිකාවකි. අවසානයේ දී අහසින් පාත් වූ සේමිණි ගෝල විදින්නිය සමඟ නිසි සබඳතාව ගොඩනගා ගැනීමට අපොහොසත් වූ අතර ශ්‍රී ලංකාවට 47-48 ක් ලෙස එක ලකුණක පරාජයක් උරුම විය. 

2014 වර්ෂයේ දී හොංකොං හි පැවති "ට්‍රයි නේෂන්ස්" තුන්කොන් දැල්පන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය වූයේ ද දීප්ති අල්විස් ය. 2012 වසරේ පැවති ආසියානු තරගාවලියට අනුව ආසියාවේ අංක 2 වූ ශ්‍රී ලංකාව ත් අංක 3 වූ මැලේසියාව ත් අංක 4 වූ හොංකොං ත් අතර පැවති එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් සමග අවසන් ස්ථානය හිමි විය. ලෝක ශ්‍රේණිගත කිරීම් වලට ද බලපානු ලබන තරගාවලියක දී තමා ප්‍රකට කළ අසාර්ථකත්වය සහ ලැබූ නින්දාසහගත පරාජය සාධනය කරනු පිණිස දීප්ති අල්විස් විදෙස් ක්‍රීඩිකාවන්ගේ නීති විරෝධී ක්‍රීඩා විලාසය නිසා මෙරට ක්‍රීඩිකාවන් ආබාධ වලට මුහුණ දුන් බව පවසා සිටියා ය. කණ්ඩායම ආප්සු ලංකාවට ගොඩ බසින විට තම දියණිය වූ සේමිණි අල්විස් රෝද පුටුවක රැගෙන එමින් ජුගුප්සාජනක මාධ්‍ය සංදර්ශනයක් ක්‍රියාත්මක කළා ය. 2015 වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති දැල්පන්දු ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුවට පවා පසුපසින් 16 වැනි තැන හෙවත් අවසාන තැන දිනා ගත් අතර එම සංචාරයේ පුහුණුකාරිණිය වන දීප්ති අල්විස් ට නැවතත් 2016 වසරේ දී මැලේසියාවේ පැවති ආසියානු දැල්පන්දු තරගාවලියේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාර දීමට තරම් බලධාරීන් නිර්ලෝභී විය. එහි දී අවසාන මහා තරගය මැලේසියාවට පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු ලෙස අනු සූරියන් පැමිණිය හ.    


හයිසින්ත් විජේසිංහ
1989 වසරේ ඉන්දියාවේ පැවති 2 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වූ හයිසින්ත් විජේසිංහ 2001 වසරේ ශ්‍රී ලංකාවේ පැවති 5 වැනි  ආසියානු දැල්පන්දු තරගාවලියේ ජය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය ද වූවා ය. හයිසින්ත් විජේසිංහ පුවත්පත් වලට පවසා ඇති කරුණු වල සමහර වැදගත් කොටස් පුදුම සහගත ලෙස මග හැරී තිබූ අතර ඒවා ඇයට මෙන් ම ක්‍රීඩා ලෝලීන්ට ද පහසුවක් වනු ඇත. 

2009 වසරේ තිලකා ජිනදාසගේ පුහුණුව යටතේ ආසියානු සූරතාව දිනූ ශ්‍රී ලංකාව ඒ හරහා ආසියානු කලාපයෙන් ලෝක කුසලානය ට සුදුසුකම් ලැබූ නමුත් 2011 වසරේ දී සිංගප්පූරුවේ පැවති එම ලෝක කුසලාන තරගාවලියේ පුහුණුකාරිනිය වන්නේ හයිසින්ත් විජේසිංහ ය. තමා පුහුණු කළ එම කණ්ඩායම 2011 වසරේ දී රටවල් 16 ක් අතරින් 14 වැනි තැන හිමි කරගත් බවත් මෙවර කණ්ඩායමට හිමි වූයේ 15 වැනි තැන බවත් පවසන හයිසින්ත් මාධ්‍ය හමුවේ වසං කළ පරිච්ඡේදයක් ඇත. එනම් 2011 වසරේ ලෝක කුසලානයට ආසියාවෙන් රටවල් 3 ක් සහභාගී වූ බව ය. 2007 වසරේ ලෝක කුසලානයේ සිට තරගාවලි ආකෘතිය වෙනස් වූ අතර සහභාගීත්වය කණ්ඩායම් 16 ට පමණක් සීමා කෙරිණි. ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් වෙනුවෙන් බර තැබූ පසු ව එක් භූ ගෝලීය කලාපයකින් රටවල් දෙකක් බැගින් තෝරා ගන්නා අතර 2005 සිංගප්පූරුවේ පැවති 06 වැනි ආසියානු තරගාවලියේ 3 වැනි තැනට ඇද වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම ට 2007 වසරේ නවසීලන්තයේ ලෝක කුසලානයට අවස්ථාව අහිමි වන්නේ එම කණ්ඩායම් දෙකේ නීතිය මත ය. හයිසින්ත් 14 වැනි තැන හිමි කර ගත්තා යැ‍යි පවසන 2011 වසරේ ලෝක කුසලානය සිංගප්පූරුවේ දී පැවැත්වුණු බැවින් සිංගප්පූරුව එයට සුදුසුකම් ලැබුවේ සත්කාරක රාජ්‍යය පදනම මත ය. එහි ප්‍රතිඵලයක් ලෙස ආසියානු නියෝජනය වශයෙන් 2009 වසරේ ආසියානු සූරියන් වූ ශ්‍රී ලංකාව ට අමතරව තෙවැනි තැන දිනූ මැලේසියාව ට ද අවස්ථාව හිමි විය.15 ට වඩා 14 අගනේයැයි පවසන හයිසින්ත් 14 වැනියා වූ ශ්‍රී ලංකාවට පසු පසින් සිටි අනෙක් රටවල් වූයේ  ආසියාවේ දී පවා ශ්‍රී ලංකාවට පරාජය වූ සිංගප්පූරුව සහ මැලේසියාව යන කරුණ හිතා මතා සඟවයි. මේ සුවිශේෂී දස්කම දැක්වීම සඳහා හයිසින්ත් විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්තයේ පුරා මාසයක පුහුණුවක් ලැබූ බව ද ඇයට සිහිපත් කර දිය යුතු ය. 

ඉන් අනතුරුව පැවැත්වුණේ 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ආසියානු තරගාවලිය ය, කොළඹ දී පැවැත්වෙන ආසියානු තරගාවලියට පෙර පුහුණුවක් ලෙස ප්‍රධාන පුහුණුකාරිණිය හයිසින්ත් සහ සහාය පුහුණුකාරිණිය දීප්ති ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ මාස 3 ක පුහුණුවක් ලැබූ අතර එවර ශ්‍රී ලංකා කණ්ඩායමට සූ බෝඩියන් නම් ඕස්ට්‍රේලියානු උපදේශක පුහුණුකාරිණියක් ද විය. අද වන විට තිලකා ජිනදාස ට චෝදනා කරන හයිසින්ත් - දීප්ති යුවළ ඕස්ට්‍රේලියාවේ සීත සෘතුවේ කළ තුන් මසක පුහුණුවෙන් අඩුම තරමින් ආසියානු තරගාවලිය වත් දිනා දීමට වත් අසමත් වූහ. අවසාන තරගාවලියේ දෙවැනි කාර්තුවේ දී සහාය පුහුණුකාරිණිය ගේ දියණිය සේමිණි අල්විස් ව අත්තනෝමතික ලෙස පිටියට යැවීමේ තීරණයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න අදටත් හෙළිදරව් නොකරන අබිරහසකි. ඉන් අනතුරුව වසර කිහිපයක් දැල්පන්දු පුහුණු ක්ෂේත්‍රයෙන් කැපී සිටි හයිසින්ත් විජේසිංහ 2014 වසරේ 09 වැනි ආසියානු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යමුනා සඳමාලි වෙත භාර දුන් පසුව කෙසේ හෝ උපදේශක පුහුණුකරු තනතුරක් එල්ලාගෙන සිංගප්පූරු සංචාරයට ද සහභාගී විය. නමුත් ලංකාවට එවර ද ආසියාව ජය ගැනීමට නම් නොහැකි විය. 

හයිසින්ත් විජේසිංහ නැවතත් කරළියට පිවිසෙන්නේ නීතිවිරෝධී කණ්ඩායමක පුහුණුකාරිණිය ලෙසිනි. 2018 වසරේ ජාතික ජ්‍යෙෂ්ඨ සූරතා තරගාවලියේ "යුධ හමුදා" කණ්ඩායමේ පුහුණුකාරිණිය වූයේ හයිසින්ත් විජේසිංහ ය. "සෙලාන් බැංකු" කණ්ඩායම සහ "ගුවන් හමුදා" කණ්ඩායම විරෝධතාවක් ගොනු කරමින් පවසා සිටියේ "යුධ හමුදා" කණ්ඩායමට එප්පාවල මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ සිසුවියන් තිදෙනෙක් ක්‍රීඩා කරන බව ය. අවසානයේ දී එම ක්‍රීඩිකාවන් තිදෙනා සම්බන්ධ ව සිදු කරන ලද පරීක්ෂණයට පසුව වංචනික "යුධ හමුදා" කණ්ඩායම තරගාවලියෙන් නෙරපන ලදි. පුහුණු සංචිත වලට පවා තේරුණු පිටපළාත් පාසල් ක්‍රීඩිකාවන් යොදවා වංචනිකව ක්‍රීඩා කිරීම සම්බන්ධව "යුධ හමුදා"කණ්ඩායමේ පුහුණුකාරිණිය වූ හයිසින්ත් විජේසිංහ නිදහසට පවසන්නේ කුමක්දැයි දන්නේ ඇයගේ හෘද සාක්ෂ්‍ය පමණ ය.


ආසියානු දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා ඉතිහාසය 

2019 වසරේ ලෝක කුසලානය අවසන් වූ වහාම වත්මන් කණ්ඩායමේ දක්ෂතා සහ වත්මන් පුහුණුකාරිණියගේ යෝග්‍යතා පිළිබඳ අසම්පූර්ණ දත්ත සහ තම වාසිය පිණිස සංක්ෂිප්ත කළ තොරතුරු සමග ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණිලි කරන්නේ මෙවැනි පුහුණුකාරිණියන් ය. මේ කල්ලියට මෙවර සංචාරය වෙනුවෙන් වැය කළ මහජන මුදල් පිළිබඳ එකවර සිත උණු වී වැගිරෙන්නේ දැල්පන්දු ක්‍රීඩාවට ඇති සැබෑ ආදරය නිසාදැයි තේරුම් ගැනීමට උක්ත සිදුවීම් මාලාව සහ අතීත කතා පුවත ප්‍රමාණවත් ය. අවසාන වශයෙන් අවධාරණය කළ යුතු වන්නේ මේ කිසිවක් හුදෙකලා සිදුවීම් ලෙස ලඝු කළ යුතු නැති අතර දැල්පන්දුවේ පිරිහීමට තනතුරු , වරප්‍රසාද සහ විදෙස් සංචාර වලට කෑදර කමින් බලය අත නොහරින ප්‍රවීණයින් ද වග කිවයුතු වන බව ය. 


පුවත්පත් ලිපි සබැඳිය : රැස | 2019 අගෝස්තු 08

http://resa.lk/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F/2019/aug/08/13997/%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%9A-%E0%B6%87%E0%B6%BA%E0%B7%92





Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment