සාගරයක් මැද අමන රටක් ඇත


පසුගිය පාස්කු ඉරිදාව බෝම්බයෙන් ද රුධිරයෙන් දූලි වලාවෙන් ද සුණු විසුණු ව කම්පනීය මතකයක් සමග ඉතිහාසයට එක් විය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලකයින් හට පාස්කු ඉරිදාවේ දී කතෝලික දේවස්ථාන ඉලක්ක කරගත් බෝම්බ උවදුරක් ඇති බව ට අනතුරු ඇඟවීම් ලිඛිත ව ලැබී තිබුණ ද එම පණිවුඩය මෙරට ඡන්දදායකයන් වෙත ප්‍රේෂණය කිරීමට පමණක් ඔවුන් අපොහොසත් වූහ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇත්තා වූ කතෝලික බැතිමතුන් පමණක් නොව , බුදුන් වහන්සේ සහ ධර්මය කෙරෙහි විශ්වාසය ඇති බොදු බැතිමතුන් ද අල්ලා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති ඉස්ලාම් බැතිමතුන් ද දේවස්ථාන තුළ ද , හෝටල් පරිශ්‍ර තුළ ද අවසන් හුස්ම හෙළූ හ. නමුත් එක ම දේශපාලකයයෙකුගේ හෝ පවුලක් මේ කිසිදු තැනක දක්නට නොලැබිණ. ශුභාරංචිය ලද ආශිර්වාදලත් කොට්ඨාසය එය ඔවුන් සන්තකයේ ම තබාගෙන කුදු මහත් ජනතාව මහත් වූ විපත කෙරෙහි සමීප කළහ.

පළමු ප්‍රතිචාරය (අතීත කාල) : - 

මින් මතුවට පාර්ලිමේන්තු සාමාජිකයින් 225 දෙනාම ප්‍රතික්ෂේප කරම්හයි ඔවුන් මුර ගෑහ. ඔවුන් සියලු දෙනාම අනතුරු ඇඟවීම් ලිපි ලද්දාහ ! ඔවුන් සෑම දෙනාම අනතුර වසං කර සිටියාහ ! ඔවුන් තම නෑ සිය සුතඹු ආරක්ෂාව පිළිබඳ විනා රට වැසියන්ගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු නොකළාහ ! ඉදින් අනතුරු ඇඟවීම දැන දැනත් අප විපතේ හෙළූ මේ 225 දෙනා හෝ ඔවුන් නියෝජනය කරන්නෙක් නැවතත් පාර්ලිමේන්තු නොයවන්නෙමුයි රට වැසියන් ශපථ කළ හ. මනාපය ඉල්වා ගෙයි දොරකඩට පැමිණියහොත් ඉරටු මිටිය , මුස්නය සිට මෝල් ගස දක්වා වූ ආම්පන්නයෙන් තලන බවට ද පන්නා දමන බවට ද දිවුරූහ.

දෙවැනි ප්‍රතිචාරය (අතීත කාල) : - 

අනතුරුව එළඹුණේ මුසල්මානුවන්ගේ කඩ සාප්පු සහ දේපොළ ගිනි තැබීමේ උද්වේගකර මොහොත ය. බෝම්බ ප්‍රහාරය පසු පස සිටින්නෙ මුස්ලිම් අන්තවාදීන් බවත් , මෙයට සමස්‍ත මුස්ලිම් ප්‍රජාවගේ කුමනාකාරයේ වගකීමක් හෝ දායකත්වයක් ඇතැයි අනුමාන කළහ. ඔවුන්ගේ දේවස්ථාන වල දී මේ අන්තවාදයට අනුබල දෙන බවත් තීන්දු කළහ. අසූ තුනේ කළු ජූලියෙන් දසක ගණනක පාඩම් ඉගෙන ගත් රටක් ගිනි හුළු ද පන්දම් ද රැගෙන මුසල්මානුවන්ගේ (අගනා) දේපොළ ගිනි තැබූ හ. සිංහල , දමිළ සේක සේවිකාවන් සිය ගණනකගේ බඩ වියත රකින ව්‍යාපාර පවා එක් පෙට්‍රල් බූලියක වියදමෙන් අළු කළ හ. බෝම්බ ප්‍රහාර එල්ල කළ පිරිස මුස්ලිම් අන්තවාදීන් නිසා මුස්ලිම් ප්‍රජාව මෙරටින් තුරන් කළ යුතු යැයි කෑ ගෑහ.

තෙවැනි ප්‍රතිචාරය (අතීත කාල) : - 

ඉන් අනතුරුව වර්ජන සමය එළැඹියේ ය. බෝම්බ ප්‍රහාර එල්ල කළ පිරිස මුස්ලිම් අන්තවාදීන් බවත් එබැවින් අප මුස්ලිම් ප්‍රජාව පිටු දැකිය යුතු බවත් යෝජනා විය. ඒ සඳහා වඩාත්ම සාර්ථක මාර්ගය වන්නේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම බව යෝජනා විය. වඩාත් පහසු වනු පිණිස මුස්ලිම් ව්‍යාපාර වල නම් ලැයිස්තු බෙදා හැරුණු අතර මේ වර්ජනය වෙනුවෙන් ම සමාජ මාධ්‍යජාලා වල නව කණ්ඩායම් , සමූහ ද නිර්මාණය විය. සංසරණය වූ ලැයිස්තු වල මුස්ලිම් ව්‍යාපාර ලෙස සඳහන් වූ සමහර ආයතන සිංහල ව්‍යාපාර බවත් ඒවා කවුරුන් හෝ විසින් කූඨ අරමුණින් ඉහත කී ලැයිස්තු වලට ඇතුළත් කර ඇතැයි පසුව හෙළි වූ අතර ඇති හැකි අය තම ව්‍යාපාර පිළිබඳ සත්‍ය තතු පහදමින් වෙළඳ දැන්වීම් ද පළ කරන්නට වූහ.

සිව්වැනි ප්‍රතිචාරය (වර්තමාන කාල) : - 

ඔවුහු ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ද සජිත් ප්‍රේමදාස වෙනුවෙන්ද මල්මාලා ගොතති. අනුරකුමාර වෙනුවෙන් ද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද අංජනම් බලති. මහා රැළි වල සෙනඟ මවමින් පෑගෙති. මහා රැළි වලට ඇරියුම් පත් නොලැබුණේ යැයි වැලපෙති. ඇරියුම් නොලැබුණත් අමනාප නැතැයි කියා සැනසෙති. මල් මාලා දමන්නට පොර කති. මල් මාලා දමන්නට ගොස් කරණම් ගසති. අසවලාගේ වෙබ් අඩවි හැක් කරති. පුරසාරම් දොඩති. සාප වැදෙති. කිරි පුස්සාට වඩා අපෙ පැඟිරා ඉතාමත් හොඳ යැයි ඔජ වඩති.

නිගමනය : -

සිසිර කුමාර මානික්කාරච්චි "සාගරයක් මැද අමන රටක් ඇත" යනුවෙන් පොතක් ලියා ඇත.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment