නිරංජලා : ඇයි මම ඔබ ළඟ නතර වුණේ



"මේ ගඟ මේ දුරු කතර ගෙවා" ගීතය යූ ටියුබයේ පිරික්සන විට ඒ ගීතය ම සෙව්වන්දි රණතුංග ; දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරන ආකාරය ද අසන්නට ලැබිණ. සමහර කටහඬ මෙ මිහිමත බිහිව ඇත්තේ ඔවුන් ගැයූ ගීත මතු මතුවටත් ඔවුන්ගේ ම හඬින් ගැයෙන්නට විනා වෙනකෙක් ගේ හඬින් ගැයෙන්න ට නොවේ යැයි සිතෙන අවස්ථා ඇත. එයට ජීවමාන සහ කදිමතම උදාහරණ වන්නේ නිරංජලා සරෝජිනීගේ හඬ සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ හඬ ය.

"මේ ගඟ මේ දුරු කතර ගෙවා" දීපිකා ප්‍රියදර්ශනීගේ හඬින් ගැයුණ ද නිරංජලා ගේ හඬට සමීප සෙව්වන්දි රණතුංගගේ හඬින් ගැයුණ ද ඒ කිසිම තැනක නිරංජලා සරෝජිනී වෙතින් උපදින අහිංසක යුවතියකගේ විප්‍රලම්භ ප්‍රශ්නාර්ථ රාසිය උපදින්නේ නැත. මියුරු ව ගයන සෙව්වන්දි වෙත නිරන්තරව සපයන මන්දගාමී සංගීතය ද ඇගේ ගායනය සහ මුල් ගීතය අතර ඇති පරතරය වැඩි කරවන්නට තරම් අකාරුණික ය.

සමහර තැනෙක වැරදීමකින් වික්ටර් රත්නායකයන්ගේ යැයි සඳහන් වුණ ද මේ ගී තනුව එච්. එම් ජයවර්ධනයන් ගේ ය. නිරංජලා සරෝජිනීගේ ගායනය අතරතුර වරින් වර "ඇයි ඔබ ආදර" වැනි පද වල දී නිර්මලා රණතුංග ගේ හඬ මතු වී ඇසෙන්නේ මට පමණක්දැයි සිතේ. පීරිස් පවුලේ කාන්තා හඬ සියල්ල එකිනෙකට අසමාන වුව ද නිර්මලා සහ නිරංජලාගේ හඬ අතර නෑ කමක් දක්වන ගී අතරින් "මේ ගඟ" වඩාත් කැපීපෙනෙන සුලු ය.

නිරංජලා අද වන විට ගායනය නවතා ඇතැයි යමෙක් පවසන විට මගේ මුහුණට උපහාසාත්මක සිනාවක් නැගෙන්නේ එය එක හෙළා මුසාවක් බව දන්නා බැවිනි. ඉදින් , ඇය ගායනය නවතා දැමුවේ නම් අදටත් අප ඒ හඬ අසමින් කම්පා වන්නේ ද ඒ ගී වරින් වර සිහිකරමින් මෝහනයට ද විස්මෘතියට පත්වන්නේ ද , ඒ හඬ පිළිබඳ විස්මය පළ කරමින් නොස්ටැලිජියානු මිහිරට ලක් වන්නේ කෙසේ ද ?

නිරංජලා සරෝජිනී ;

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ ?



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment