මරණ දඬුවම සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීම සඳහා වන නිර්දේශයට තමන් අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබිණ.
සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය මුතූර් හි පහළොස් හැවිරිදි රිසානා නෆීක් 2013 වර්ෂයේ දී හිස ගසා දැමුණේ ශ්‍රී ලංකා රජයේ බලවත් විරෝධය මත ය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ වේල්ස් හි චාල්ස් කුමරු පවා රිසානා වෙනුවෙන් අභය ඉල්ලා තිබුණ ද ඒ සියලුම උත්සාහයන් ව්‍යර්ථ විය. රිසානා අදාල චෝදනාවට වරදකාරියක නොවන බව පැවසුණ ද මරණ දඬුවම නීතිගත කළ රටක කිසි ලෙසකින් හෝ ජීවිතයට undo ඔප්ෂන් නොමැත.
"මරණ දඬුවම" නමින් ක්‍රියාත්මක වන දඬුවම ඕනෑම රාජ්‍යයක දී අගති සහිත බවට සාක්ෂි සපයන්නේ සෞදි අරාබිය විසින් මරණ දඬුවමට ලක් කළ ශ්‍රී ලාංකික බාලවයස්කාරියගේ හුදෙකලා සිදුවීම පමණක්දැයි විමසුම වටී. මෙවැනි දඬුවමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම කොතරම් ප්‍රායෝගික ද යන්න අනාදිමත් කාලයක පටන් ඔප්පු කර පෙන්වා ඇත්තේ මෙරට පාලකයන් විසින් ම ය.
1979 වසරේ දී "ලංකාදීප" උප කර්තෘ ව සිටි සමන් චන්ද්‍රනාත් වීරසිංහව අනිවාර්ය නිවාඩු යවන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා පිළිබඳ ලිපියක "ජනාධිපතිතුමා" වෙනුවට "ජනාධිපතිවරයා" යනුවෙන් සඳහන් කර තිබීමේ වරදට ය. නමුත් ඒ ජනාධිපතිවරයා ම ඊට වසර කිහිපයකට පසු ව 14 හැවිරිදි බාල වයස්කාරියක දූෂණය කළ වරදට පසළොස් අවුරුදු සිර දඬුවමක් ලබා සිටි ගෝනවල සුනිල් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කළේ ය. ඉන් නොනැවතී මුළු දිවයිනට ම බලපාන සාම විනිසුරු පදවියක් ද ග්‍රාමෝදය මණ්ඩලයක සභාපති පදවියක් ද ලබා දුන්නේය.
ජාතීන් අතර සංහිදියාව නැති කිරීම සඳහා මාධ්‍යය යොදාගත්තේ යයි චෝදනා කරමින් මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් ට ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ බරපතල වැඩ සහිතව විසි අවුරුදු සිර දඬුවමක් නියම වූයේ ජනපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ය. 2009 වසරේ සිට අනීතික ලෙස සිරගත කර සිටි තිස්සනායගම් වෙත ජනාධිපති සමාවක් ලබා දෙන්නට 2010 වසරේ මැයි 03 දිනට යෙදුණු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේ දී ඇමරිකානු ජනපති බැරක් ඔබාමා කළ මේ ප්‍රකාශය ද ඉවහල් විය.
"අසර්බයිජානයේ සිට සිම්බාබ්වේ දක්වා ද, බුරුමයේ සිට උස්බෙකිස්ථානය දක්වා ද, කියුබාවේ සිට එරිත්‍රියාව දක්වා ද ලෝකයේ සෑම අහුමුල්ලක ම පුවත්පත් කලාවේදීහු සිරගත කරනු ලැබ හා පීඩාවට පත් කරනු ලබමින් සිටිති. ශ්‍රී ලංකාවේ ජේ.එස්. තිස්සනායගම් හෝ චීනයේ ෂී තා ඕ සහ හු ජියා වැනි අය මෙම භයානක යථාර්ථයට සංකේතීය උදාහරණ වේ".
නමුත් ජනපති මහින්ද රාජපක්ෂ එවකට ඔහුගේ ඇමතිවරයෙක්ව සිටි මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳට නියම ව තිබූ මරණ දඬුවම ජනාධිපති සමාවක් යටතේ ඉවත් කිරීමට ජාත්‍යන්තරය ඉල්ලා සිටින තුරු බලා සිටියේ නැත. ඇමතිවරයාගේ අනියම් බිරිය සහ ඇගේ සේවිකාව ඝාතනය කර පුළුස්සා දැමූ වරදට 2005 වසරේ දී මරණ දඬුවම ලද මේරි මොනිකා ප්‍රනාන්දු 2009 වසරේ දී ජනාධිපති සමාවේ නාමයෙන් නිදහස් විය.
2018 වසරේ දී අධිකරණය තුළ ඈනුමක් හැරීමෙන් අධිකරණයට අපහාස කළැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් විසින් මාස අටක සිර දඬුවමක් ලබා දෙන්නේ රත්මලානේ ඉමේෂ් වසන්තට ය.
අධිකරණ භූමියේ දී පැමිණිලිකාරියකට තර්ජනය කිරීම පාදක කොටගෙන අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි බරපතල වැඩ සහිත වසර 6 ක සිර දඬුවමක් ලබන්නේ 2018 වසරේ අගෝස්තු මාසයේ දී ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත ඥානසාර හිමියන් ජනාධිපති සමාවක් ලබා නිදහස් වන්නේ 2019 මැයි මාසයේ ය.
සේයා සදෙව්මි ඝාතනයට මුල් ම සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන විකෘති කාමාසාවකින් පෙළෙන්නෙක් ලෙස හංවඩු ගසා සමස්ත අනාගතයම අඳුරු කළ ගම්පහ උසස් පෙළ සිසුවා ද , අනතුරුව පොලිසිය විසින් හඳුන්වා දී සමාජගත කළ "කොණ්ඩයා" යන අන්වර්ථ නාමයකින් රටම හඳුනා ගත් කොටදෙණියාව දුනේෂ් ප්‍රියශාන්ත නම් නිවැරදි කරුවාගේ සිදුවීම් ද සිහියට නගා ගැනීම නුවණට හුරුය.
පෙම්වතියට තෑග්ගක් ගැනීම පිණිස ඉල්ලූ මුදල් නොදුන්නා යැයි උරණව මව මරා දැමුවායැයි චෝදනා ලද , පාපොච්ඡාරණය පවා කළා යැයි පැවසුණ කහවත්‍තේ 18 හැවිරිදි උෂාන්ත මහේෂ් ශ්‍රියානන්ද එම ඝාතනයට සම්බන්ධ නැති බව තහවුරු වූ අතර සැබෑ ඝාතකයා හසු වූ බවත් දන්නේ කීයෙන් කී දෙනා ද ?
මරණයට ද මිලක් ඇති රටක "මරණ දඬුවම" ගෙන එම්යැයි පාලකයින් වහසි බස් දොඩන සඳ අප ඉන් මෝහනය නොවිය යුත්‍තේ මන්දැයි තේරුම් ගැනීමට ඉහත සිදුවීම් ප්‍රමාණවත් ඇතැයි විශ්වාස කරමි.
ඔබ අප ජීවත් වන්නේ ධන බලය , දේශපාලන බලය සහ නිල බලය ඇති තාක් කිසිදු අපරාධයක් කිරීමට බිය විය යුතු නැති පව්කාර දේශයක ය. ඔබ ද එක් බලසම්පන්න අයෙක් නම් කෙළක් මිනිසුන් නසා වුවද ජයරත්න VIP අවමංගල ශාලාවේ සැනසුම් සහගත ගෞරවනීය අවසානයක් ලද හැකිය.
ඔබ කුරා කුහුඹු මිනිසෙක් වන තුරාවට කුසගින්නට කඩන පොල්ගෙඩිය වුවද ඔබට පෝරකයට මග පෙන්වනු ඇත.
මිත්‍රවරුනි ;
අධෝමුඛය දෙනවා මදිවාට ඛේඨ ග්‍රන්ථිය ද මේ ජනපතිවරයාට පුද දීම අනතුරු සහගත බව වටහා ගන්න !
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment