හෘද සාක්ෂ්‍ය සහ මරණය | ඊවන් ෂැන්ඩ්ලර්


කලු ජාතික ඇමරිකානුවෙකු වන ජෝ ජැක්සන් අග්න්‍යාශීය පිළිකා ප්‍රදාහයක් හේතුවෙන් 2018 වසරේ ජූනි මස 27 වැනි දා ලස් වේගාස් නුවරදී ජීවිතයෙන් සමු ගත්තේය.
මිය යන විට අනූ හැවිරිදි වියේ පසු වූ හෙතෙම ලෝ ප්‍රකට පොප් තරුව වූ මයිකල් ජැක්සන්ගේ ආදරණීය පියාණන් විය. හිසකේ මුදු ගැසුණු කළු ජාතිකයෙක් ලෙස ඉපිද , හිසකේ ඇද දැමුණු සුදු ජාතිකයෙක් ලෙස මිය ගිය පුතුගේ දිවි සැරිය දසක ගණනක් තිස්සේ බලා සිටි ජෝ ජැක්සන් ද අවසානයේ දෙවියන් වහන්සේ වෙතින් ඉසිඹුවක් ඉල්ලා සිටින්නට ඇත.
මෙයට වසර නමයකට පෙර, එනම් 2009 වසරේ දී තවත් ඇමරිකානුවෙකු වන ඊවන් ෂැන්ඩ්ලර් නිව් ජර්සි නුවර සුපිරි මහල් නිවාස සංකීර්ණයක් තුළ දී හිසට වෙඩි තබා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් විය.
සිය දිවි තොර කර ගන්නා විට හැට පස් හැවිරිදි වූ ඔහු ලෝ පුරා ප්‍රකට වූයේ මයිකල් ජැක්සන් වෙතින් අපහරණයට ලක් වූ දරුවාගේ පියා ලෙසිනි. ජෝර්ඩන් ෂැන්ඩ්ලර් නම් එම දරුවා සම්බන්ධ සිදුවීමේ දී මුල සිටම මයිකල් ජැක්සන් වෙතින් මුදල් ප්‍රතිලාභ ලැබ තිබූ ඊවන් ෂැන්ඩ්ලර් අවසානයේ ජැක්සන් ගෙවූ වන්දි මුදල් සමගින් කෝටිපතියෙක් බවට පත් විය.
මෙම සිදුවීම ගලා ගිය ආකාරය සම්බන්ධව සමාජ විරෝධය කෙතරම් ද පැවසුවහොත් අපහරණයට ලක් වූ දරුවා තම ස්වරූපයෙන් ම සිටියදී ඔහුගේ පියා ඊවන් ෂැන්ඩ්ලර් කිහිප වතාවක්ම ප්ලාස්ටික් සැත්කම් මගින් මුහුණුවර වෙනස් කරගත්තේය. අවසානය වන විට දරුවා වූ ජෝර්ඩන් තම පියාට එරෙහිව උසාවි නියෝගයක් ද ලබාගැනීමට කටයුතු කළේය.
ළමා අපයෝජකයාගේ පියා අනූ හැවිරිදි වියේ දී සාමකාමී ලෙස පිළිකාවකින් මිය යන විට අපයෝජනයට ලක් වූ ළමයාගේ පියා හැට පස් වියේ දී සිය දිවි නසාගෙන ජීවිතයෙන් පලා ගියේය.
සමාදානයේ සැතපීම පවා තීරණය වන්නේ හෘදය සාක්ෂ්‍යයේ අවංක බව අනුව ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. *ළමා අපයෝජන ගැන චෝදනාවට ලක් වූ පුද්ගලයාගේ පියා* වශයෙන් නිවැරදි විය යුතු නැත්ද?

    ReplyDelete