උපන් අකුලෙහිම සැඟ වී - මිය යා යුතු නැත ගොළු වී


කරුණාසේන ජයලත් ගේ "යහළු යෙහෙළි" නවකතාවේ ප්‍රධාන චරිතය වූයේ වනිගසේකර මුදියන්සේලාගේ දෝන මුදිතලතා ය. එක්තරා රාත්‍රියක මුදිතලතාගේ වත්තේ මුරකරු විසින් අසල්වැසි ගෘහ මූලිකයා ව වෙඩි තබා මරා දැමෙන්නේ හොරෙන් පොල් කඩන්නට පැමිණියේ යැයි චෝදනා කරමිනි. යමක් කමක් ඇති පවුලක, සැපට සනීපයට වැඩුණ ද දහදිය කඳුළු තුළ දැවෙන ජීවිත මැනවින් හඳුනා ගත් මානව දයාවෙන් යුක්ත දැරියක වූ මුදිතලතා මේ මිනිස් ඝාතනයෙන් කම්පා වූවාය. නමුත් අනුන්ගේ ඉඩමක් පල්ලේ වෙඩි කා මියගිය කළු දියෝනිස්ගේ බිරිඳ " මරා නොදමා කකුල් වලට වෙඩි තැබුවා නම් අඩුම ගණනේ තමා හෝ රැක බලාගන්නවා නොවෙදැ'යි" නැගූ විලාපය අසා කම්පාවට පත් වූයේ මුදිතලතා පමණ ය. ඇගේ වැඩිමල් සොහොයුරියන් වූ ආරියලතා සහ ජිනාදරී ට කළු දියෝනිස්ගේ මරණය තවත් එක්තරා සිදුවීමක් පමණක් විය. සොරකමට නිසි දඬුවම් ලැබීමක් විනා එතැන තැවෙන්නට හෝ වධ වන්නට දෙයක් නැතැයි ඔවුහු එකහෙළා විශ්වාස කළහ. මේවා අසන දකින වනිගසේකර මුදියන්සේලාගේ දෝන මුදිතලතා නම් මානවිකාව වඩ වඩාත් න්‍යාය විරෝධී වන්නී, මිනිසුන් කෙරෙහි නැමුණු සිත් ඇතිව ජීවත්වීමේ කැරැල්ල තම නිවසින් ම ඇරඹුවා ය.
මේ මොහොත වන විට තම පියාණන් ඉල්ලා හඬන සහ පියා මිය යන අයුරු සියැසින් දකින මල් කැකුළක් වන් දැරියක් කඳුළු සඟවමින් , කඳුළුවලට ඉඩ දෙමින් වේදනාබර මොහොතක් වචන වලට පෙරලන්නීය. බෝනික්කා සමග දබරයක් හෝ වැලි කෝම්පිට්ටුවක අරියාදුවක් පැමිණිලි කළ යුතු වයසක පසු වන දැරිය තම ජීවිත කාලයටම ඉහිලිය නොහැකි තරම් සිදුවීමක් සියැසින් දුටු ආකාරය විස්තර කරන්නේ අපගේ දෑස් ද තෙත් කරවමිනි. හයක් හතරක් නොදත් දැරියකගේ ආත්මය ම විනාස කළ හැකි ඒ තුවාලය හාර හාරා , ප්‍රශ්න නැවත නැවත අසමින් වේදනා විලාපයන් මතු කරන මාධ්‍ය සුනඛයින් ට සාප කරනු මිස වෙනත් කියන්නට දෙයක් ඇත්තේ ද නැත.
ඇසට කඳුළක් ගෙන දුන් අහිංසක දියණිය වෙනුවෙන් මෙසේ ලියා තබමි. කුලරත්න ආරියවංශයන් "යහළු යෙහෙළි" සිනමා නිර්මාණයට ඔබ වෙනුවෙන් ම ගීයක් ලියා ඇත.

මලක් ලෙසින් පිබිදී හිනැහීලා
ලොවට සුවඳ දී මිස පෙති සලා
උපන් අකුලෙහිම සැඟ වී
මිය යා යුතු නැත ගොළු වී
ආදර දියණිය ;
හෙට දිනයේ අපට ද වෙඩි තබා අපව ද කළු දියෝනිස් කෙනෙක් බවට පත් කරවන තුරු ම මේ සමස්ත සමාජයම ජීවත්වන්නේ ජිනාදරීලා ආරියලතාලා ගුරු කොට ගෙන ය.
ඉදින් නුඹ මතු දිනෙක මුදිතලතාවක් විය යුතුම ය. !
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. රේටින් වලට ඉලක්කම් වලට ප්‍රේක්ෂකයා ලඝු කරන කොට මේ දියණිය සේම තවත් දූ වරුන් (මාධ්‍යයේ) ගොදුරු වනු ඇත..

    ReplyDelete