ජේසුනී ඔබට ආදරේ පව්කාරයා මං : රූකාන්ත ගුණතිලක


ජිප්සීස්ලා ගේ ඕයේ ඔජායේ සිංදුවේ හැට් තොප්පියක් ද පැළඳ විනීත නොසණ්ඩාල බවකින් රැඟූ තුරුණු මානවකයා ඔබ ය. ෂර්ලි වෛජන්ත ; කීර්ති පැස්කුවල් වැන්නන් ඉස්‍තරම් යුරෝපීය ඇඳුම් ඇඳ ගීත ගයන කාලයක දේදුනු පාට ඇඳුම් වලට වීදුරු කෑලි ; බෝතල් අඩි අලවාගෙන ගීත ගැයූ නොදැමුණු තරුණ ගායකයා නුඹ ය. වැස්ස වෙලාවට අකුණු ගසන තරමට යකඩ කෑලි එල්ලූ ඇඳුම් හැඳ වේදිකා මත හූ කියමින් තමන්ටම අනන්‍ය වූ නැටුම් නැටූ අධිවේගී තරුණ ගායකයා නුඹ ය. නිහඬ මාවතේ ; උලත් එකයි පිලත් එකයි මෙන් ම බොල් පිනි වෑහෙන, සුවඳ දැනී දැනී දැනෙනවා වැනි ගීත ද ගැයූ තුතුරුවා හළ පරාසයකින් හෙබි පරිණත ගායකයා නුඹ ය. භීම සමයක බිරන්තට්ටු වූ මුහුණින්ද ; කප්පාදු කළ හිස කෙසින්ද චන්ද්‍රලේඛා සමග ප්‍රවෘත්ති අතරට පැමිණ අපේ ඇසට කඳුළක් එක් කළ ආදරණීය ගායකයා නුඹ ය. නෙළන්නට ගොසින් පල වැල ගීය ගයමින් වේදිකාවේ හැඟුම්බරව දණ ගසන විට සංගීත ලෝලීන් ඉවක් බවක් නැතිව නටන තැනට වැඩ සැලැස්වූ ඉන්ද්‍රජාලික ගායකයා ඔබ ය. විරහව සික්ස් එයිට් රිද්මයෙන් ගයන්නටත් වේදනාවෙන් නටන්නටත් හැකි බව බිඳුණාද ලෙහුණාද බැඳි ප්‍රේම තේඩාව ගීතයෙන් පසක් කළ අසමසම ගායකයා නුඹ ය. පති-පතිනි සෙනෙහස ඇත්තේ පුවත්පත් සාකච්ඡා සහ රූපවාහිනී වැඩසටහන් වලට බොහෝ ඉහළින් බව සනාථ කරමින් චන්ද්‍රලේඛා සමග සඳලේඛා සඳගිරිහිසින් ගීතය ගැයූ රස හඳුනන ගායකයා නුඹ ය.

අද මහ මග රිළා සංදර්ශන පවත්වන ; වළවල් කණින ; වැසිකිළි තනන දේශපාලන මඩ ගොහොරුවේ වැටුණු පුද්ගලයා කවුදැයි අප නොහඳුනන්නෙමු. ඔහු කවුද ; කරන්නේ කුමක්ද යන්න වත් නොසොයමු. ඉඩක් ලද විගස රූකාන්ත ගුණතිලක නම් ගායකයා දසකයකට උඩ දී ගැයූ මේ ගීය අසන්නැයි ඉල්ලා සිටිමු.

ජේසුනී 
ඔබට ආදරේ පව්කාරයා මං
මා සිතේ 
මටම වද දෙනා පව්කාරයා මං


මං සීල සමාදන් වෙනවා
පාපෙට යළි යළි වැටෙනවා
සතුරන්ට සමාවත් දෙනවා
යළි ඔවුනට බැණ වදිනවා
ඉඳහිටලා දන් දෙනවා
දීලා අඬ බෙර ගහනවා
දුක දහදිය හොරකම් කරනවා
ඉන් පස්සෙ මම රජ වෙනවා


ජේසුනී
මා සිතේ මටම වද දෙනා
පව් කාරයා මං
ජේසුනී
ඔබෙ දයාව අයදිනා
පව් කාරයා මං
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment