ගරුතර මැතිඳුනි ! ඔබ සැම සාදරයෙන් ගෞරවයෙන් පිළි ගනිමු


අමාත්‍ය මංගල සමරවීර ; අමාත්‍ය රාජිත සේනාරත්න සහ මන්ත්‍රී චතුර සේනාරත්න වැනි දේශපාලකයින් හට විහාරස්ථාන වල පැවැත්වෙන උත්සව හෝ පිංකම් සඳහා ඇරියුම් කිරීමෙන් වළකින බවත් වළකින ලෙසත් පවසා ගම්පහ දිසාවේ සංඝයා වහන්සේලා පිරිසක් තීරණය කර ඇත. එම තීරණය බෞද්ධ ඉතිහාසයේ එන "පත්ත නිකුජ්ජන කම්ම" වර්ගයේ තීරණයක් ලෙස අර්ථකථනය කිරීමේ වෑයමක් දැක සිනහා පහළ වීම ද වැළැක්විය නොහැකි ය. අද වන විට වැඩිහිටියන් බවට පත් ව ඇත්තේ 2004 වසරෙන් පසුව උසස්පෙළ බෞද්ධ ශිෂ්ඨාචාර පංති වල "සමුද්‍ර වාණිජ ජාතකයෙන් පැවසුණේ ද සුනාමියක් පිළිබඳ නේදැ"යි විමසා චිට් යැවූ ළමා පරපුර ය. ඉදින් සයිබරයෙන් අහුලාගත් "පත්ත නිකුජ්ජන කම්මය" වැනි සංකල්පයක් ම කොපි පේස්ට් කරමින් හැල්මේ දුවනවා විනා මේ යුගයේ අඩුම තරමින් පණිවුඩ චන්ද්‍රිකාවක් ගුවන්ගත කරන තරමේ නව දැනුමක් වත් සංසරණය නොවීම අපේක්ෂා කළ හැකි තත්ත්වයකි. එනයින් බලන කල ආගමේ නාමයෙන් භෞතිකව මරාගෙන මැරෙන සහරාන් ලා සහ ආගමේ නාමයෙන් ආධ්‍යාත්මිකව මරාගෙන මැරෙන කට පාඩම් බෞද්ධයින් අතර වැඩි වෙනසක් නැත. සහරාන් ලැප්ටොප් බෑගය බෝම්බ ප්‍රවාහනය පිණිස භාවිත කළ අතර අපේ උදවිය ලැප්ටොප් බෑගයෙන් ප්‍රවාහනය කරන්නේ කුල්ලේ උලන්නට ලාබයට ගත් පරණ බෙලි ගෙඩි ටික. ය.
"පත්ත නිකුජ්ජන කර්මය" යනු පාත්‍රය අනෙක් අතට හැරවීමෙන් තමා තවදුරටත් දායකයාගේ සිවුපසය භාර නොගන්නා බව දැනුම් දීම වැනි සංකීර්ණ ක්‍රියාවලියක් විනා ගැලරිය පිනවීම පිණිස පවත්වන පයිට් තුනයි කොමිට් පහේ සංදර්ශනයක් වන්නේ නැත. එකල බෞද්ධ භික්ෂුවක් සන්තකටවම තිබූ වස්තූන් වශයෙන් වටාපත සහ පාත්‍ර්‍ය හැඳින් වූ යුගයක, පාත්‍රය අනෙක් පසට හැරවීම වනාහි ප්‍රබල දේශපාලනයක් සහ මතවාදයක් සහිත ක්‍රියාවකි. පාත්‍රය අනෙක් පස හැරවීම ඔස්සේ පැවසෙන්නේ පිඬු සිඟාවෙන් දිවි රකින භික්ෂුවක් වුවද අදාල තැනැත්තාගේ දානය පිළිකෙව් කළ බව ය. එනම් ; තමා කුසගින්නේ මිය ගිය ද අදාල ප්‍රතික්ෂේපිත පුද්ගලයා සමග කිසිලෙසකින් හෝ එකඟ නොවන බව ය.
ගම්පහ සංඝයාවහන්සේලා ගේ රැස්වීම "පත්ත නිකුජ්ජන කම්මය" ට ගව් හතක් දුරින් වත් ගමන් නොකරනුයේ පාත්‍රය මුණින් අතට හැරවූවා යැයි උන් වහන්සේලා ට අහිමිවන දෙයක් නොමැති බව රහසක් නොවන නිසා ය. එය ගම්පහට පමණක් නොව වර්තමානයේ සමස්ත භික්ෂු ශාසනයටම අදාල කරුණකි. අඩුම තරමින් එදින "බෙන්ස් නිකුජ්ජන කම්මය" හෝ "ප්‍රාඩෝ නිකුජ්ජන කම්මය" වැනි දෙයක් විණි නම් අඩුම තරමින් මෙට ප්‍රබල දේපාලනික තීරණයක් සහ මතවාදීමය පෙළ ගැස්මක් ලෙස හිතට එකඟව අදහස් දක්වන්නට තිබිණ. මිත්‍රවරුනි ; උසාවි නියෝගයක් ගෙන දානය තහනම් කළ යුතු මට්ටමට තරබාරු සහ ස්ථූල සංඝයා වහන්සේලා විනා පාත්‍රය අනික් පස හැරවූවා යැයි කියා පිණ්ඩපාතය හෝ දානය අහිමිව ක්ෂුධාවෙන් නසින එකදු භික්ෂුවක් හෝ ඔය සැණකෙළි වේදිකාවල අප දැක නැත.
මේ හැරුණු කොට භික්ෂූන් වහන්සේලා පිරිසක් රැස් ව තෝරාගත් දේශපාලකයින් පිරිසකට පමණක් උත්සව හෝ පිංකම් සඳහා ඇරියුම් කිරීමෙන් වැළකීමට තීරණය කිරීම එක්තරා ආකාරයක උත්ප්‍රාසය දනවන කරුණකි. කතරගම දොදොල් රස බලමින් තෝරන්නාක් මෙන් සංඝයා වහන්සේලා මේ තරම් කැපවීමෙන් දේශපාලකයින් තෝරා ගන්නට දක්වන වෙහෙස වීර්යය අනුව පෙනීයන්නේ දේශපාලකයින්ගේ සම්බන්ධතාව සහ අනුග්‍රහය නොමැතිව සංඝරත්නයේ පැවැත්ම අස්ථිර බව ය. නිර්වාණය අවබෝධ කරගැනීමට යැයි කියා ගිහි ජීවිත්‍ය අතහැර බුද්ධ චීවරය ඇඟ ලා ගත් බෞද්ධ භික්ෂුව, ගිහි දේශපාලනයෙන් මිදෙනු වෙනුවට, තමාගේ ප්‍රමිතීන්ට අනුව පන්සල් වලට ආරාධනා කළ යුතු දේශපාලකයින්ව තෝරනු දක්නට ලැබීම විහිළුවක්
නොවන්නේ ද ?
ජයසේකර අපොන්සුගේ "තටු" වේදිකා නාට්‍යයෙන් කියැවෙන්නේ බාලිකා අනාථ නිවාසයක් පිළිබඳව ය. නිවාස පාලිකාව වන එලිසබෙත් බැචුලර් මේරි ඇතුළු අනාථ දැරියන් ලෝක අනාථයින්ගේ දිනය සැමරීමට සූදානම් වන අතර ලෝක අනාථයින්ගේ දින උත්සවයේ ආරධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට නියමිත වන්නේ ගැහැණුන් අනාථ කරන්නන්ගේ සංගමයේ සභාපති ය.
මිත්‍රවරුනි ; 
එලිසබෙත් බැචුලර් මේරි මැඩම්ගේ ආරාධිතයා තේරීම සහ ගම්පහ සංඝයා වහන්සේලාගේ ආරාධිතයින් තේරීම අතර එහෙමට කියා වෙනසක් නැත.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. What a post... I wish people think like you Kaseera.. all I can say you don't belong to Sri Lanka...

    ReplyDelete