උපවාස : අතුරලියේ රතන හිමි vs රාසයියා පාතීපන් හෙවත් තිලීපන්


පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ශ්‍රී දළදා මැදුර ඉදිරිපස උපවාසයක් අරඹා ඇතැයි අසන්නට ලැබේ. උපවාසය - බෞද්ධ භික්ෂුව සහ දළදා මන්දිරය අතර ඇති අවියෝජනීය සම්බන්ධය කුමක්දැයි තව දුරටත් අධ්‍යනය කිරීම වැදගත් වේ. මෙයට පෙර 2013 වසරේ මැයි 23 වැනි දින ගව ඝාතනයට විරුද්ධත්වය දක්වන්නේ යැයි පවසමින් බෝවත්තේ ඉන්දරතන හිමියන් දළදා මැදුර ඉදිරිපස ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත් විය. ගව ඝාතනයට විරෝධය දැක්වීම යනු ධර්මපාල උත්කර්ෂයට නගන ලද සහ වෙළඳපොළක් නිර්මාණය කළ මාතෘකාවක් බැවින් උන්වහන්සේගේ පෙර කල්ක්‍රියාව සහ ඒ වනවිට පත් ව සිටි අවුල්සහගත තත්ත්වය පිළිබඳ සාකච්ඡාවට ගැනුණේ නැත. සති පූජාව වැනි බමුණු මත ද ගිනි දෙවියන් පිදීමේ මිථ්‍යාව වෙනුවට පහන් පූජාව ද ආදේශ කළ බෞද්ධ දර්ශනයෙහි ත්‍රිවිධ රත්නයෙහි තුන්වැනි රත්නය බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිරිපසම ගිනි තබාගෙන සිය දිවි නසාගැනීම පිළිබඳ සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත්තේ නැත. එනයින් , බෞද්ධ භික්ෂුව මරණීය උපවාසයක් කිරීම සඳහා දළදා මාලිගයම තෝරාගන්නට හේතුව සමාන කළ හැක්කේ කුමාරි කුරේ ගිනි තබාගෙන සිය දිවි නසාගන්නට රවුෆ් හකීම් ට අයත් කොල්ලුපිටිය කානිවල් අයිස්ක්‍රීම් පරිශ්‍රය ම තෝරාගැනීමේ සිදුවීමට ය.
අතුරලියේ රතන ස්ථවිරයන්ගේ ඉතිහාසය සැලකිල්ලට ගතහොත් උන්වහන්සේ කරළියට පිවිසෙන්නේ ද නොයෙක් ආකාරයේ උසිගැන්වීම් සමග බව සිහිපත් කළ යුතුමය. 2004 දෙසැම්බර් 11 වැනි දා ෂාරුක් ඛාන් ගේ සහභාගීත්වයෙන් Temptation 2004 ප්‍රසංගය ලංකාවේ පැවැත්වුණු අතර අතුරලියේ රතන හිමි සහ ඕමල්පේ සෝභිත හිමි ප්‍රමුඛ ජාතික හෙළ උරුමය එයට විරෝධතාව දක්වන ලද්දේ එදිනට ගංගොඩවිල සෝම හිමියන්ගේ වර්ෂ පූර්ණ සංවත්සරය යෙදී ඇතැයි පවසමිනි. ප්‍රසංගය අවලංගු කරන්නැයි බල කරමින් මරණීය උපවාසයක් සංවිධාන කර පසුව එය අවලංගු කළ රතන හිමියන් දිවයින පුරා බෞද්ධ ජනතාව කැඳවා විරෝධතා සංවිධාන කරන බවට අනතුරු ද ඇඟවීය. අවසානයේ සංවිධායකයින් විසින් කණගාටුව පළ කරමින් පැවැත් වූ Temptation 2004 ප්‍රසංගයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී දෙදෙනෙක් මිය ගොස් දහනම දෙනෙක් තුවාල ලැබීය. ගංගොඩවිල සෝම හිමිගේ අභාවය සැලසුම් සහගත ඝාතනයක් බවට සමාජ මතයක් නිර්මාණය කර බෞද්ධ සමාජයේ අනියත බියක් ගොඩ නගා ඒ හරහා පාර්ලිමේන්තුවට පිවිසුණු ජාතික හෙළ උරුමයේ භික්ෂූන් වර්ෂ පූර්ණ සංවත්සරය උදෙසා සියදිවි නසා ගන්නට උත්සාහ කළ ද ඉන් අනතුරුව අද වන විට ගත කරන්නේ සෝම හිමි යනු කවරෙක්දැයි නොදන්නා තරමේ ජීවිත ය. ගංගොඩවිල සෝම හිමි චරිතය පැන්ෂන් ගිය පොලිස් භටයෙක්ගේ ආනුභාවයට පිරිහෙන්නේ ද අතුරලියේ රතන හිමි ප්‍රමුඛ ජාතික හෙළ උරුමයේ භාවිතය නිසා ය.
මරණීය උපවාස සහ සිය දිවි නසා ගැනීම් සම්බන්ධව අප දැක ඇත්තේ අන්ත දෙකක අවසානයන් ය. 1987 සැප්තැම්බර් 12 වැනි දා යාපනයේ නල්ලූර් කෝවිල අසල දෙමළ ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ඇරඹූ රාසයියා පාතීපන් හෙවත් තිලීපන් සැප්තැම්බර් 20 වැනි මෙසේ පැවසීය.
"තවත් ටික දිනකින් මා මියෙනු ඇත. එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්ති කාමීන්ගේ උපත මාගේ මරණය හරහා සිදුවනු ඇත "
අනතුරුව සැප්තැම්බර් 27 වැනිදා ජීවිතක්ෂයට පත් වන තිලීපන් සිහි මුර්ඡා වීමට පෙර, තමන් මෙලොවින් පිට වී දිව්‍යමය භවනට ගොස් පක්ෂය වෙනුවෙන් දිවි දුන් සාමාජිකයන් මුණගැසෙන බවත් එහි සිට ඊලාම් දේශය දෙස බලා සිටින බවත් පැවසී යැයි වාර්තා වේ. තිස් වසරක යුද්ධයකට උත්තේජනය සැපයීම සහ මරාගෙන මැරෙන්නට අනුබල දීම හැරෙන්නට තිලීපන් ගේ උපවාසයෙන් දමිළ සමාජය ගත් හරයක් ඇතැයි විශ්වාස කිරීම උගහට ය.
2006 ඔක්තෝබර් 07 වැනිදා නෝර්වේ තානාපති කාර්යාලා ඉදිරිපිට නෝර්වේ මැදිහත්වීම් වලට විරෝධතාව පල කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැතැයි පවුලේ සාමාජිකයින් විසින් පවසන ලද රේමන්ඩ් පෙරෙයිරා නම් හතළිස් පස් හැවිරිදි තුන්දරු පියෙක් එම විරෝධතාවයේ දී ගිනිතබා ගෙන මිය ගියේ ය. ත්‍රී රෝද රථ රියදුරෙක්ව සිටි එම පුද්ගලයා ගත කළ ආර්ථික සහ මානසික මට්ටම කුමක්දැයි අධ්‍යනය කරන්නෙක් හට මෙම ගිනිතබා ගැනීම පසුපස ඇති ජාත්‍යාලයේ තරම අවබෝධ කර ගත හැකිය.
දේශපාලනික අරමුණු උදෙසා ස්ව පණ නැසීම ආදර්ශව පෙන්වා තවත් පරපුරකට පර පණ නැසීමට උත්තේජනය සැපයීමත් ; පුද්ගලික මානසික වියවුල් වලින් මිදෙන්නට පොදු වේදිකාවක ස්ව පණ නසා ගැනීමත් හැරෙන්නට ලංකාවේ දේශපාලන පක්ෂ වල අතකොළු වූ සියල්ලන්ගේ ම උපවාස අවසාන වූයේ කාගේ අතින් හෝ තැඹිලි වීදුරුවක් බීමෙන් විනා වෙන කිසිවකින් නොවේ.
වරින් වර උපවාස පවත්වමින් සුඛ මරණය හෙවත් euthanasia පිළිබඳ නවතම සංකල්පයක් ගෙන එන අතුරලියේ රතන හිමියන් ගේ අපේක්ෂාව ඉහත කුමන ඛාණ්ඩයටදැයි දන්නේ උන්වහන්සේ පමණය.
හිමියනි ; 
සන්ධ්‍යා කාලයේ තැඹිලි වතුර පානය කිරීම විකාල භෝජනයටත් වඩා සෙම්ප්‍රතිශ්‍යාවට නොකැප බව සිහි කරනු කැමැත්තෙමු.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. Such a selfish bunch of monks..do we really need them to understand the meaning of Buddhism?

    ReplyDelete