"කුමාරිලාට වෙන්නේ සමාජ අසාධාරණයක්. එයාලාට ආපහු කවදාවත් සමාජෙට මුහු වෙන්න බෑ" අලුතෙන් ආපු චාමර සර් කතා කරනවා. මේසේ වාඩිවෙලා ඉන්න අනිත් ගුරුවරු උගන්නන කොට අහං ඉන්න ළමයි වගේ අහං ඉන්නවා. ස්ටාෆ් රූම් එකට ඇතුළු වුණු ලක්මාලි ටීචර් බිම බලාගෙන ඇතුළට ඇවිල්ලා අල්ලපු මේසෙන් වාඩි වුණා. අලුතෙන් ආපු ගුරුවරයෙක් නිසා වෙන්න ඇති චාමර සර් නම් ලක්මාලි ටීචර් දිහා බලලා හිනා වුණා. "කුමාරිලාව සමාජෙන් සාමාන්‍ය මිනිස්සු විදියට බාර ගන්නේ නෑනේ" කියලා චාමර සර් කියන අස්සේ ශ්‍රියා ටීචර් තමන්ට එහා පැත්තෙන් හිටිය පත්මා ටීචර්ට වැලමිටෙන් අනින හැටි ලක්මාලි ටීචර් දැක්කා. ඒක නොදැක්කා වගේ අනික් මේසේ උඩින් බෑග් එකයි කුඩේයි තියලා පුටුවක් ඇදගෙන වාඩිවෙන ගමන් මේ මොන කුමාරි ගැනද කතා කරන්නේ කියලා ලක්මාලි ටීචර් කල්පනා කළා. කුමාරි කුමාරගමගේද ? ජයවර්ධනද ? මුණසිංහද ? එයාලට සමාජෙට මූණ දෙන්න බැරි මොකෝ කියලා හිතනකොටම චාමර සර් ආයෙම කතාව පටන් ගත්තා. එයා කිය කිය ඉඳලා තියෙන්නේ නේපාලෙ තියෙන චාරිත්‍රයක් ගැන. මල්වර නොවුණු ගෑණු ළමයෙක්ව තෝරලා "කුමාරි" නමින් දේවත්වයට පත් කරන ඒ චාරිත්‍රය අනුව කුමාරි වැඩිවියට පත් වුණාට පස්සේ ඒ දේවත්වය අහිමි වෙනවා. ඊට පස්සේ "කුමාරි" විදියට වෙන ගෑණු දරුවෙක්ව පත් කරගන්න එකලු සිරිත. ඒ වගේම කුමාරිලා කවදාවත් කසාද බඳින්නේ නෑලු. පොඩි කාලේ දෙවඟනක් වෙලා හිටි කෙනෙක්ව කසාද බඳින්න කවුරුත් කැමති වෙන්නෙත් නෑලු. ඉතිං ඒ කුමාරිලාට ආණ්ඩුවෙන් ගෙයක් එහෙමත් දෙනවලු. ගෙයක් දෙන එකම මදෑ කියලා හිතන ගමං ලක්මාලි ටීචර් බෑග් එක අස්සෙන් ගුරු අත්පොතක් ගත්තා. මේ රස්සාවෙන් නිවාස ණයක් ගන්නයි , ඒක ගෙවන්නයි තියෙන අමාරුවේ දන්නේ කීයෙන් කී දෙනාද ? පත්තර වලට ලිපි ලියන නිසා චාමර සර් කියන කතා අහං ඉන්න ආසා හිතන විදියට කියනවා. ඒත් අහන් ඉන්න හිතෙන්නේ නෑ. ලක්මාලි ටීචර් දන්න කුමාරි කෙනෙක්ව මතක් වෙන නිසා.
එයාගේ නම කුමුදු කුමාරි. ගෙදරට හුරතලේට කිව්වේ කුමාරි කියලා විතරයි. සංගීතකාමියෙක් වුණු තාත්තා ඒ නම දැම්මේ ජෝතිපාලගේ "නින්ද නේන රාත්‍රියේ" සිංදුවට තියෙන පිස්සුව නිසාලු. තාත්තා මාසෙකට දවසක් වගේ ගෙදර සංගීත සාජ්ජයක් පවත්වනවා. "කුමුදු කුමාරියේ .. ඔබ නිදනා යහන් ගැබේ" කියලා තාත්තා ඩොල්කිය ගහනකොට කුමුදු කුමාරි තාලම්පොටක් ගැහුවා. සර්පිනාව ගහන්නේ පොඩි බාප්පා. ටික ටික ලොකු වෙනකොට කුමාරිටත් ඒ හැකියාවම පිහිටලා තිබුණා. පන්සලේ ; ඉස්කෝලේ ඕනෙම උත්සවයක කුමුදු කුමාරිගේ සිංදුවක් වැරදුණේ නෑ. හැබැයි ඒ කුමාරි ආස නිසා නෙමේ. අම්මලා තාත්තලා ආස කරපු නිසා. කුමාරිට ලස්සනට සිංදු කියන්න පුලුවන් බව හැමෝම දන්න නිසා. අන්තිමට කොහොම හරි කුමුදු කුමාරි රේඩියෝ එකෙත් ළමා වැඩසටහනක සිංදුවක් කිව්වා. එදා තාත්තාට හරි සතුටුයි. පඩියෙන් ඇඩ්වාන්ස් එකක් අරං අලුත් කරාබු ජෝඩුවකුත් ගෙනල්ලා තිබුණා. ඒත් කුමාරිට නම් ඒක ගැන ලොකු සතුටක් තිබුණේ නෑ. සෙනඟ ඉස්සරහ සිංදු කියනකොට , අර විදියට , මේ විදියට හිටගන්න , ඉඳගන්න කියනකොට ලැජ්ජාවක් වගේ දැණුනා. පස්සේ පස්සේ ඒක කරදරයක් කියලා හිතෙන්න ගත්තා. මොකද දහම් පාසලේ සමිතියේ සිංදුවක් කියන්න බෑ කියලා කියපු එකම එක සමිතිවාරෙදි ලොකු හාමුදුරුවො කියපු කතාව අහලා. "ඔය ළමයට රේඩියෝ එකේ ගිහිං නොදන්න ඈයෝ ඉස්සරහා සිංදු කියන්න පුළුවන්. ගමේ පන්සලේ සිංදුවක් කියන්න කිව්වාමයි බැරි" එදා අඬාගෙන ගෙදර ගිය පාර කුමුදු කුමාරි ආයේ කවමදාකවත් දහම් පාසල් ගියේ නෑ.
"දානාදි ධම්ම විධිනා... ජිතවා මුනින්දෝ" ලක්මාලි ටීචර්ට ජයමංගල ගීත සිහිවෙන්න ගත්තා. ඒ කාලේ කුමුදු කුමාරි නොගිය මඟුල් ගෙදරක් ගමේ තිබ්බේ නැති තරම්. හැම මඟුල් ගෙදරකම ජයමංගල ගීත ; පිළිගැනීමේ ගීත කියන්න යන කුමුදු කුමාරිට ලියුම් කවරත් සෑහෙන්න ලැබුණා. හෝටල් දොරකඩ ඉඳන් මනමාලයාගේ මූණ බලාගෙන "මංගල නැකැතින් මංගල සිරියෙන් හිනැහේ අද දවසේ" කියලා පටන් ගන්නකොට කුමුදු කුමාරි බිම බලාගෙන හිටියට සිංදුව මැදදි මනමාලයාගේ මූණ බලන්න වෙනවා. ඇයි ඉතිං "තුෂාර කුමරුනි ඔබ පිළිගන්නයි ඔබේ මඟුල් දවසේ" කියලා මනමාලයාගේ මූණට පොරි ඉහින්නත් තියෙනවනේ. මනමාල මහත්තුරුත් කවදාවත් දැකලා නැති කුමුදු කුමාරිලා දිහා සිනාමුසුව බලා ඉන්නකොට කුමුදු කුමාරිලා කවදාවත් දැකලා නැති පිරිමින්ගේ මූණ බලාගෙන බෙල්ලේ නිල් නහර පෑදෙනකම් සිංදු කිව්වා. ලියුම් කවර ලැබුණා. ලියුම් කවර එක්ක ඇඟිලි මිරිකුණා. සමහර වෙලාවට මනමාලයගේ පැත්තෙන් එන්න කිව්වා කියලා හෝටලේ කොණකට , පැත්තකට තමයි අඬ ගැහුවේ. ඒ ඉතිං සන්තෝසෙට වැඩිපුර කීයක් හරි දෙන්නනේ. බීලා නටන ගෑණු පිරිමි අස්සේ වාඩිවෙන කුමුදු කුමාරි ඇතුළු පිරිස මඟුල් ගෙදරින් කෑමත් කාලා තමයි එනකොට එන්නේ.
ඊ ළඟ පීරියඩ් එකට බෙල් එක වැදුණා. ලක්මාලි ටීචර් කුමුදු කුමාරිව අමතක කරලා බෑග් එක අරං සංගීත කාමරේට යන්න පිටත් වුණා. විදුහල්පති තුමාගේ ඉල්ලීමක් අනුව හිස් පීරියඩ් වලදි සංගීත කාමරය නාට්‍ය තරගයකට යන ළමයින්ට දෙන්න වෙලානේ. ඒකයි කවදාවත් නැතිව ස්ටාෆ් රූම් එකට ආවේ. වෙනදට මෙතෙන්ට එන්නේ නැත්තේ කවුරුත් ලක්මාලි ටීචර් එක්ක යාලු නැති නිසා. ලක්මාලි ටීචර් තමන් ප්‍රතිපත්තියක් විදියට ළමයින්ට මඟුල් ගෙවල් වල ජයමංගල ගාථා, පිළිගැනීමේ ගීත පුරුදු කරන්නේ නැති බව දැන ගත්ත දවසේ ඉඳන් මුලු ගුරු මණ්ඩලේම ලක්මාලි ටීචර් ගැන වපරැහෙන් බලන්න ගත්තා. "මම කැමති නෑ ළමයි ඕවට පුරුදු වෙනවට" කියලා ලක්මාලි ටීචර් කියපු කතාව ඒ විදියට භාරගන්න හුඟදෙනෙක් කැමති වුණේ නෑ. "තිස් පහ පැනලා වුණාට තාම බැඳලත් නෑනේ. කුඩුකේඩුකම ඇර වෙන මොකක්ද ඔය" අනික් ටීචර්ලා කතා වුණා.
ලක්මාලි ටීචර් දොරෙන් යනකොට චාමර සර් නේපාලේ කුමාරිලා බඳින්නේ නැහැ කියන සම්ප්‍රදාය ඇතිවෙන්න සමාජයීය හේතු පැහැදිලි කර කර හිටියේ. චාමර සර් ආයෙම හිනා වුණා. ශ්‍රියා ටීචර් ,පත්මා ටීචර්ගේ මූණ දිහා හොරෙන් බලන හැටි දැක දැකම ලක්මාලි ටීචර් එළිය බැස්සා. "වෙලාවට මේ මල ඉලව් නම රස්සාවට එන්න කලින්ම වෙනස් කළේ" කියලා සැනසුම් සුසුමක් හෙළන ගමන් එහෙම නොවුණා නම් ශ්‍රියා ටීචර් හිනාවෙන්නේ කොහොමද කියලා ලක්මාලි කුමුදු කුමාරි හෙවත් ලක්මාලි සෙනෙවිරත්න කල්පනා කළා.
නියමයි කසීර .
ReplyDeleteමනෝරාමයා මේ පැත්තේ එන්නේ නැතෙයි
මං හිතන්නෙ අර වීඩියෝ එක මේකෙ නිමිත්ත වෙන්න ඇති, මේක් එෆ්බී ගියේ නෑ නේද?, ලියවිල්ල මරු සහන් හැමදාම වගේ
ReplyDelete