රියැලිටි තරු : මල් වරම් ලැබ පිපෙන තුරා


රූපවාහිනී ලිට්ල් ස්ටාර් රියැලිටි වැඩසටහනකින් මෑතක දී ඉස්මතු වූ ලාබාල ගායිකාවක් කුවේට් හි සාදයක ගී ගයන ආකාරයත් නරඹන්නන්ගේ නොමනා වැළැඳගැනීම් වලට ද අනිසි ස්පර්ෂයන්ට ද ලක්වන කණගාටුදායක වීඩියෝවක් නැරඹුවෙමි.
ඇය තවමත් වයස අවුරුදු හත - අට ඉක්මවා ඇතැයි නොසිතමි. ඇය ව වඩා ගන්නට, හාදු දෙන්නට උත්සාහ කරන වැඩිහිටි පිරිමි සමූහයා බීමත්ව සිටිනවා යැයි පවසන්නට සාක්ෂ්‍ය නැති නමුත් ඔවුන් හැසිරෙන්නේ පියවි සිහියෙන් නොවන බව නම් එකහෙළා පැවසිය හැකි ය.
එම රූපවාහිනී වැඩසටහන සමයේ ඇය තම නිවසේ සංගීත භාණ්ඩයක් වයමින් ගී ගයන වීඩියෝවක් ද පසුකාලීන ව ඇන්ජලීන් ගුණතිලක මහත්මිය සමීපයේ හිඳ ඇයගේ ගීයක් ගායනා කරන ආකාරයද අන්තර්ජාලයෙන් නරඹා තිබුණෙමි. මේ දැරිය ගායන හැකියාවට වඩා ගිය ප්‍රාසාංගික කෞෂල්‍යයෙන් පිරිපුන් දැරියකි. නමුත් ඔබ එම වීඩියෝ දර්ශන මේ ඔබේ දියණියක යැයි සිතා වැඩිහිටි ඇසකින් නරඹන්න. මේ බොහෝ ප්‍රාසාංගික අභිනයන් නොතේරුම් කමට කරනවා විනා අවබෝධයකින් කරන දෑ නොවන බව ඔබට වැටහෙනු ඇත. අධ්‍යාපනය කෙරෙහි යොමු කළ යුතු වයසේ දැරියක වන ඇය ව සීමා විරහිත ව දිගින් දිගට ම ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම හෝ ප්‍රචාරය කිරීමට එකඟ වීම හරහා එම දෙමාපියන්ගේ සමාජාවබෝධය සහ මානසික මට්ටම පිළිබඳව ද තක්සේරුවකට පැමිණෙනු ඇත. නමුත් අවාසනාවකට මෙන් බොහෝ දෙනෙක් දුටුවේ රූපවාහිනිය විසින් අලෙවි කළ ඇයගේ ප්‍රාසාංගික බව සහ නොපැකිළෙන සුළු බව ම පමණකි. ඇය තවමත් ඉතා කුඩා දැරියක බවත් මේ සමාජය ගැන දැනුම් තේරුම් ඇති වයසක නොවන බවත්, වැඩිහිටියන් විසින් ආරක්ෂා කළ යුතු වයසක සිටින බවත් බොහෝ දෙනා ට අමතක වී තිබිණ.
අද වන විට ඒ දැරිය විදෙස් උත්සව සාද වල ගී ගයන ලාබාල ගායිකාවක බවට පත් ව ඇත. ළමා රූ රැජණ තරග වල ජයග්‍රහණ ලැබූ ඇමරිකාවේ JonBenet Ramsey වැනි දැරියන් ට අත් වූ ඉරණම පිළිබඳ අසා නැති නම් මේ දැරිය ගේ දෙමාපියන් අඩුම තරමින් සේයා සදෙව්මි පිළිබඳ හෝ අසා තිබිය යුතු ය. මන්ද යත් මේ දැරිය සහභාගී වූ රූපවාහිනී නාලිකාව තුළ සේයා ගේ පුවතට ද මහා ඉඩක් වෙන් වූ බැවිනි.
JonBenet Ramsey : ළදැරියක රූ රැජණක් බවට පත් වීම සහ අබිරහස් මරණය
මිත්‍රවරුනි ; 
ඔබ අප ජීවත් වන්නේ පිටස්තරයෙකු හට තම දරුවෙක් වඩා ගැනීමටවත් ඉඩ දිය නොහැකි තරමට විකෘති වූ සමාජයක ය. මොහොතක් වැය කර අවලෝකනය කරන්න. ඒ පිළිබඳව ඕනෑ තරම් ප්‍රකට, අප්‍රකට , හෙළි වූ සහ හෙළි නොකළ සිදුවීම් රාශියක් ඔබගේ මතකයට ගලා එනු ඇත.

නැවත නැවතත් සිහිපත් කරන, අජන්තා රණසිංහයන් 'ඈතින් ඈතට' චිත්‍රපටය වෙනුවෙන් සරසවි සම්මානයට පාත්‍ර වූ ගීතය උපුටා ගනිමි. ඔහු පවසන්නේ බෝධිය , විහාරගෙය අබියස පිදූ පියුම් වැනි බාලිකාවන් ගේ ලොව මැලවුණු දිනයට මුළු ලොවටම රාත්‍රිය උදා වන බව ය.

"ජීවිතේ පිහාඹමින් සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ උණු කඳුලක් කරනු එපා"

"මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ 
මල් වරම් ලැබ පිපෙන තුරා ඔබ නටුවෙන් බිඳිනු එපා"

අජන්තා රණසිංහයන් අනාගතය විනිවිද තිබිණ. ඔහු දැරියක ගේ ළඳ බොළඳ ජීවිතය ට ආරක්ෂාව ඉල්ලා සිටියේ ය.
බෝධියේ විහාරයේ : බාලිකා ලොව මැලවුණු දා මුළු ලොවටම රෑ වෙනවා

මේ ලාබාල දැරිය මහත් අභිරුචියෙන් ගීත ගායනා කරන්නී ය. ඇගේ දෙමාපියන් දැරියගේ හැකියාව පිළිබඳ මහත් ප්‍රබෝධයෙන් එය ලොව පුරා පැතිරෙන්න ට ඉඩ හරින්නාහ. මේ වන විට හය හතර නොදන්නා වෘත්තීමය ගායිකාවක් වෙමින් සිටින ඇය බාගදා ඉහත සඳහන් කළ ගීතය පවා ගයනු ඇත. නමුත් ඇය සිටින්නේ ඒ ගීතයේ යටි පෙළ අර්ථය තේරුම් ගන්නට සමත් වයසක ද ? වටහා ගන්නා වයසක සිටින ඇගේ දෙමාපියන් ඒ යථාර්ථය තේරුම් ගැනීමට සූදානම් ද ?
නැවත නැවතත් සිහිපත් කරන "මුතුහර" තේමා ගීතය යළිත් වරක් ලියා තබමි. "මුතුහර" ළමා වැඩසටහනේ නිර්මාතෘවරිය වන ලලිතා සිරිබද්දන මහත්මිය දසක තුනකට එහා ඇනලොග් වත් නොවන සමාජයක් උදෙසා ලියූ මේ ගී පදය තුළ ගැබ්ව ඇති පණිවුඩය තේරුම් ගැනීමට වර්තමාන ස්මාර්ට් සමාජයට නොහැකි ද ?

දෙමාපියනි වැඩිහිටියනි අප හට රැකවරණය දෙන්න
අපේ දුබලකම් පෙන්වා ආදරයෙන් ඔවදන් දෙන්න 
ලොවේ අනාගත උරුමය අප හට නිසිලෙස පවරන්න
අප හැදුණොත් අද හැකිවනු ඇත හෙට ඒ ලොව දැකගන්න

වැඩිහිටියන්ගේ ලෝකයේ අඳුරු පැතිකඩ සහ තිරස්චීන ස්වභාවය පිළිබඳ හාංකවිසියක් නොදත් දෙහිවල ගෝඨාභය කිරඹකන්ද, මතුගම සමන් කුමාර වැනි අහිංසක දරුවන් මේ සමාජ ක්‍රමයේ ගොදුරු බවට පත් වන්නේ ලලිතා සිරිබද්දනයන් මේ වචන ලියන්නට පෙරාතුව ය. ඇය ළමුන් වෙනුවෙන් මුතුහර ළමා සංවිධානය පිහිටුවා අද වන විට නොස්ටැල්ජියානු කඳුළක් ඇස උනන්නට සමත් මේ ඉමිහිරි ගීතය රචනා කළාය. නමුත් ඉන් පසුව ද මීපාගම ප්‍රියදර්ශනී , කළුතර සදීප ලක්ෂාන් , ත්‍රිකුණාමලය වර්ෂා රෙජී, කොටදෙණියාවේ සේයා සදෙව්මි වැනි හයක් හතරක් නොදත් සමනළ ජීවිත සුළු අවසරයකින් , සුළු ප්‍රමාදයකින් සිත් පිත් නැති වැඩිහිටියන්ගේ ගොදුරු බවට පත් විය.
අසූව දසකයේ අග භාගයේ "ගම් උදාව" ප්‍රසංග වේදිකාවන් හි ජනප්‍රිය තාරකාවක් වූයේ පුංචි වෙළෙන්දා හෙවත් ළමා ගායක රුවන් ශ්‍රීලාල් දල්පතාදු ය. නමුත් එතරම් දුර අතීතයක දී පවා පුංචි වෙළෙන්දා ගේ දෙමාපියන් වෙත චෝදනා එල්ල විය. ඒ , පාසල් යන වයසක දරුවෙක් දිවා රෑ නොබලා ප්‍රසංග වේදිකා මත ගී ගයන්නට රැගෙන යෑම නිසා ය. 'ළමයා' සහ වැඩිහිටියා යනු එක හා සමාන නොවන බැවිනි.
සූරාලා බලන්න : පුංචි වෙළෙන්දා ගම් උදා වේදිකාවට ගොඩවීම  
දෙමාපියනි ;
හයක් හතරක් නොදත් ළදැරියක් වේදිකා මත නටවා මහ මිනිසුන් පිනවන ඔබ රියැලිටි වැඩසටහන් හැරෙන්නට ප්‍රවෘත්ති කියා වැඩසටහනක් කිසිමදිනෙක රූපවාහිනියෙන් නරඹා ඇත්තේ ම නැද්ද ?


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. මේ දරුවා දකින සෑම විටකම සිතට නැගුණු දේ ඔබ මනාව පෙල ගස්වා ඇත. මේ බව කියන්නට ගිය විට බෝහෝ මුග්ධයන්ගේ දෝෂ දර්ශනයට අප ලක් වන්නේ කුහකයන් ලෙසය. ඒ දරුවා මැණිකකි.එහෙත් එය අධ්‍යාපනය දැනුම සහ බුද්ධියෙන් ඔප දැමිය යුතුය. ජාත්‍යන්තරයේ පවා නිසි කලට පෙර ( එනම් පැසුනු බුද්ධිය එලඹීමට පෙර) ධනය, කීර්තිය, බලය ලැබීම හේතුවෙන් නොමග ගිය උදාහරණ එමටය.. ඔබට ස්තුතියි!!

    ReplyDelete