Dominique Moceanu | රන්මසු අබියස අහිමි වූ ළමා විය | 1996


Dominique Moceanu සැලකෙන්නේ ඇමරිකානු ජිම්නාස්ටික් ඉතිහාසයේ ස්වර්ණමය මොහොත වෙනුවෙන් දායක වූ ස්වර්ණමය සාමාජිකාවක් ලෙසිනි. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ දී ඇමරිකානු කාන්තා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් ඉසව්වේ හය වැනියා වූ ඇමරිකාව පුරා වසර හතරක් මේ ඉලක්කය හඹා යන්නට පිඹුරුපත් ඇඳ තිබිණ. දීර්ඝ සැලසුම් වලින් අනතුරුව තම මව්බිමේ දී ම මෙම රන් පදක්කම දිනා ගැනීමට හැකි බව තීරණය කළ බලධාරීහු Magnificent Seven හෙවත් 'විශිෂ්ටයින් සත් දෙනා' ගේ කණ්ඩායමක් නිර්මාණය කළ හ. අවසානයේ රුසියාවේ සහ රුමේනියාවේ ජිම්නාස්ටික් ආධිපත්‍ය ට අභියෝග කළ Dominique Moceanu ඇතුළු ඇමරිකානු යෞවනියන් පිරිස තම මව්බිමේ දී ම ඒ රන් පදක්කම දිනා ගන්නට සමත් විය.
ඇට්ලන්ටා ඔලිම්පික් රන් පදක්කම හරහා ඇමරිකාව තුළ මහත් පිළිගැනීමට ලක් වූ කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායමේ වූ Kerri Strug වීරත්වයට නැගුණේ ජයග්‍රහණයට අවැසි අවසාන අනිවාර්‍යය පිම්ම උදෙසා ඇය කැඩුණු වළලුකරින් තරග වැදීමේ උද්වේගකර මොහොත හේතුවෙනි. නමුත් එවකට දහ හතර හැවිරිදි වූ ඇමරිකාවේ ලාබාලතම ඔලිම්පික් රන් පදක්කම් ලාභිනිය වූ Dominique Moceanu ?
Magnificent Seven : ස්වර්ණමය ඉතිහාසය සහ අහිමි බව
Dominique Moceanu ඇමරිකාවම හඳුනාගන්නේ වසර 2 ට පසුව එනම් 1998 දී තම දෙමාපියන්ට එරෙහිව අධිකරණයට ගිය ලාබාල ක්‍රීඩිකාව ලෙසිනි. තම දෙමාපියන්ගේ පාලනයෙන් ඉවත් වුණු දහ හත් හැවිරිදි ඩොමිනික් මොචිආනු අධිකරණය හමුවේ පවසා සිටියේ තමා ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් උපයන ලද මුදල් තම පියා විසින් නාස්ති කරමින් , අවභාවිත කරමින්, අනිසි ලෙස පාලනය කරන බව ය. සමස්ත ඇමරිකාවේම මාධ්‍ය අවධානයට ලක් වූ මේ පුවත අවසාන වූයේ තම මුදල් ස්වාධීනව පාලනය කිරීම සඳහා Dominique Moceanu වෙත අවසර ලබා දෙමිනි.
ළමා විය අහිමි කළ යෞවනියකගේ මුරණ්ඩු බව
එපමණක්ම නොව ;ඇය එම වසරේදී ම තම පුහුණුකරුවන් දෙපළ වූ Béla Károlyi සහ Márta Károlyi වෙත චෝදනා එල්ල කරමින් පවසා සිටියේ තමා ලාබාල දැරියක ලෙස ඔවුන්ගේ පුහුණුවීම් යටතේ කායික, වාචික , සහ මානසික වශයෙන් අපහරණයට ලක් වූ බව ය. ලාබාල දැරියක් රටක පදක්කම් සිහිනය උදෙසා ක්‍රීඩාවේ බලහත්කාරයෙන් රඳවා තැබීමත් දැඩි ශාරීරික දඬුවම් පැණවීමත් පිළිබඳ ඇය චෝදනා කළාය. තමා නිසි ලෙස පුහුණුවීම් නොකළ විට වහාම පියා කැඳවන බවට තර්ජනය කර මානසික බිය වැද්දීම් සිදු කළ බවද පැවසූ නමුත් ඇමරිකානු ජිම්නාස්ටික් සම්මේලනය 1998 දී ඒ චෝදනා නිෂ්ප්‍රභ කරන ලදි.
නමුත් Dominique Moceanu එදා පැවසූ දෑ සත්‍ය බව පසක් කරමින් 2019 වසරේ දී තරුණියන් 156 දෙනෙක් ඉදිරිපත්ව පෙර ඔලිම්පික් උළෙල හතරක ඇමරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ නිල වෛද්‍යවරයා වූ ලැරී නසාර් ගේ අවකල් ක්‍රියා සම්බන්ධව ලිඛිත සාක්ෂ්‍ය සැපයූහ. ඒ බොහෝ දෙනා ලැරී අතින් අපහරණයට ලක් ව තිබුණේ කිරි දත් වත් නොවැටුණු ළදැරියන් කාලයේ දී දෙමාපියන් විසින් ක්‍රීඩාවට යොමු කළ වකවානුවක ය.
Dominique Moceanu ඔලිම්පික් රන් පදක්කමක් දින්නා ය. එදා මෙදා තුර ලාබාලතම ඇමරිකානු රන් පදක්කම් ලාභිනිය ලෙස ඉතිහාසයට එක් වූවා ය. නමුත් ඇය කණගාටුදායක ලෙස තම ළමා කාලය ද, දෙමාපිය ආදරය ද දිනා ගැනීමට අපොහොසත් වූවාය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment