Larry Nassar | කළ කම් පසුපස ඒම | 2019


'හොඳයි ලැරී ! මං දැං මෙතන' කයිල් ස්ටෙෆන්ස් සාක්කි කූඩුවේ සිට හඬ අවදි කළාය. 'ඒ කාට හරි කියන්න නෙමෙයි, හැමෝටම කියන්න' කයිල් ඊට මොහොතකට පෙර චූදිත ලැරී නසාර් ඇමතීමට විනිසුරුවරියගෙන් සංසුන්ව අවසර ඉල්ලා තිබිණ. එතෙක් වේලා ඇය පවසමින් සිටියේ ලැරී නසාර් හෙවත් චූදිතයා විසින් තමා අපහරණය කළ අඳුරු ඉතිහාසය පිළිබඳවය.
ඒ ඇයට වයස අවුරුදු හයේ සිට ය. 'ඒ කාලේ මගේ කිරි දත් ඔක්කොම වැටිලාවත් තිබුණේ නැහැ' අද වන විට ලෝකය ඉදිරියේ නිරුවත් වී සිටින ලැරී නසාර්, එනම් ඇමරිකානු කාන්තා ජිම්නාස්ටික් සංචිතයේ වෛද්‍යවරයා කයිල් වෙත සමීප වන්නේ පවුලේ මිත්‍රත්වය හරහාය. දොළොස් හැවිරිදි වූ පසු ඇය තම දෙමාපියන්ට ඒ පිළිබඳව පැමිණිලි කළ ද ලැරී පවසා සිටියේ සැබැවින්ම එවැනි අපචාරයක් සිදු විණි නම් කයිල් ඒ පිළිබඳව කාට හෝ කිව යුතුව තිබුණු බවයි. අවසානයේ දොළොස් හැවිරිදි කයිල් හට වැඩිහිටි ලැරීගෙන් සමාව ඉල්ලීමට සිදු විය. 'හොඳයි ලැරී ! මං දැං මෙතන' කයිල් ස්ටෙෆන්ස් සාක්කි කූඩුවේ සිට හඬ අවදි කළේ ඒ අතීතය සිහිපත් කරමිනි. 'ඒ කාට හරි කියන්න නෙමෙයි, හැමෝටම කියන්න'
කිරි දත් නොවැටුණු ප්‍රීතිමත්, කෙළිලොල් දැරියක ඒ සුන්දර ළමා විය අතරමැද අඳුරු අත්දැකීමක ගොදුරක් බවට පත් වන්නීය. තම නිවැරදි බව ඔප්පු කරගත නොහී දූෂකයාගෙන් සමාව ඉල්ලන අසරණ මොහොතට වැටෙන්නීය. අජන්තා රණසිංහයන් විසින් 'ඈතින් ඈතට' චිත්‍රපටයට ලියූ 'බෝධියේ විහාරයේ' ගීතය සිහියට නැගෙයි. එහි රූපරාමුවෙහි මුනි කුටියෙක මල් පුදන සුන්දර තරුණියකි.
"මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ 
මල් වරම් ලැබ පිපෙන තුරා ඔබ නටුවෙන් බිඳිනු එපා "

ලැරී නසාර් අද වන විට වදනක් හෝ පවසනු නොහැකිව විත්ති කූඩුවේ මුනිවත රකියි. ඔලිම්පික් උළෙල හතරක ඇමරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ නිල වෛද්‍යවරයා වූ ඔහුගේ අවකල් ක්‍රියා සම්බන්ධව ලිඛිත සාක්කි සැපයූ තරුණියන් සංඛ්‍යාව 156 දෙනෙකි. ඉන් බහුතරය එවකට ජිම්නාස්ටික් පිටියේ නිදහසේ දුව පැන ගිය , කෙදිනක හෝ ඇමරිකානු ජාතික කණ්ඩායමට තේරී පත් වන්නට අපේක්ෂා කළ කුඩා දැරියන්ව සිටියහ. නම් ගම් හෙළි නොකළ වින්දිතයින් සංඛ්‍යාව ඒ හා සමානය. තම දියණිය එදා පවසා ඇත්තේ ළමා බොරුවක් නොව අමිහිරි ඇත්තක් බව දැනගත් පසු කයිල් ස්ටෙෆන්ස්ගේ පියා සිය දිවි හානි කරගත්තේය.
කයිල් ස්ටෙෆන්ස් නැවතත් හඬ අවදි කළාය. ඒ තම සොඳුරු ළමා විය උදුරාගත් සිත් පිත් නැති නරුමයා වෙත ය.
'බාගදා ඔබ මේ වන විටත් හොඳහැටි තේරුම් අරගෙන ඇති. කුඩා දැරියන් සදාකාලිකවම කුඩා දැරියන් ලෙස සිටින්නේ නැහැ.ඔවුන් ශක්තිමත් ගැහැණුන් බවට පත් වෙලා ඔබේ ලෝකය විනාශ කරන්න ආයෙමත් දවසක එනවා'
"Perhaps you have figured it out by now, but little girls don't stay little forever. They grow into strong women who return to destroy your world."

අද වන විට ශක්තිමත් ගැහැණියක ලෙස තම අතීතය එළි කරන්නට ඉදිරිපත් වූ නිර්භීත කයිල් ස්ටෙෆන්ස් ට එපිටින් මාරියම් ව සිහියට නැගේ. මාරියම් , එනම් ඛාලිඩ් හොසේනි ගේ "මනරම් හිරු දහසක්" කෘතිය ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද මෙසේ සිංහලයට නැගුවාය.
"මාරියම් කැටි නූල් පොටවල්වලට මැලියම් ගා ඒවා සිය බෝනික්කාගේ හිසේ අලවනු ලයිලා බලා සිටියි. තව අවුරුදු කිහිපයකින් ,මේ පුංචි දැරිය ජීවිතයේ සුළු අයිතීන් ඉල්ලන , අනික් අයට කිසිදාක බරක් නොවන , තමාටත් බලාපොරොත්තු කඩවීම්, සංතාපයන් , අනික් අයගේ සිනහවට ලක්වූ සිහින තිබූ බව කිසිදාක හෙළි නොකරන ගැහැනියක බවට පත්වනු ඇත. අවලාද නොකියා දුක විඳ දරාගන්නා , ගං පතුලක ඇති ගලක් බඳු ගැහැනියක්. ඈ නහවා ගලා යන ප්‍රචණ්ඩ ජලධාරාවෙන් ඇගේ සිරියාව තවත් හැඩ ගැසෙනවා මිස කැළැල් වන්නේ නැත. රෂීඩ්ටවත් , තලිබාන් කැරලිකරුවන්ටවත් සුණුවිසුණු කර දමන්නට නොහැකි ඇගේ හද ගැඹරේ ඇති කිසියම් බලවත් දෙයක් මේ දැරියගේ දෑස් තුළින් ලයිලාට දැනටමත් පෙනෙයි. හිරිගල් කුට්ටියක් බඳු දැඩි සහ අනම්‍ය දෙයක්. අවසානයේදී දවසක, ඇගේ විනාශය සහ ලයිලාගේ විමුක්තිය බවට පත් වනු ඇති දෙයක්. "
ලයිලා කෙදිනක හෝ දකිනු ඇතැයි හොසේනි අනුමාන කළ විමුක්තිය අද වන විට කයිල් ස්ටෙෆන්ස් මුවින් වදන් ලෙසින් පිටව අවසානය.
"Perhaps you have figured it out by now, but little girls don't stay little forever. They grow into strong women who return to destroy your world."
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment