Wladyslaw Kozakiewicz | ක්‍රීඩා ලෝලීන්ට ප්‍රතිචාර දැක්වීම හෙවත් අභිමානය සහ අගතිය | 1980

1980 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වුණේ සෝවියට් දේශයේ මොස්කොව් නුවර දී ය. 1979 වසරේ දී සෝවියට් හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට විරෝධය පල කරමින් ඇමරිකාව ප්‍රමුඛ රටවල් 64 ක් 1980 ඔලිම්පික් උළෙල වර්ජනය කරන ලදි. එබැවින් සැබෑ තරගයක් පැවතුණේ නැති තරම් ය.
පිරිමි රිටි පැනීමේ අවසාන තරගය ආරම්භ විය. මෙවර අවසන් තරගයට සුදුසුකම් ලද ක්‍රීඩකයින් දොළොස් දෙනා අතර 1976 ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනූ Tadeusz Ślusarski ඇතුළු පෝලන්ත ක්‍රීඩකයින් තිදෙනෙක් සහ සෝවියට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වූහ.
සෝවියට් දේශයේ Konstantin Volkov සහ පෝලන්තයේ ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර රන් පදක්කම සඳහා තියුණු තරගයක් පැවැත්විණ. පෝලන්ත ක්‍රීඩකයින් තම පිම්ම සඳහා සූදානම් වන හැම විටකම නරඹන්නන් මහ හඬින් ඝෝෂා කරන්නටත් , සිවුරුම් නද නගන්නටත් විය. මේ බාධා කිරීම් මුල සිටම සෝවියට් නොවන ඕනෑම ක්‍රීඩකයෙක් හටම එල්ල වූ නමුත්, සොවියට් ක්‍රීඩකයාට අභියෝගයක් ලෙස පෝලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙක් තරගයේ රැඳී සිටි බැවින් ඔවුන් දෙදෙනා වෙත එල්ල වූ පීඩනය වඩාත් කැපී පෙනිණ.
අවසානයේ දී සෝවියට් ක්‍රීඩක Konstantin Volkov සහ පසුගිය රන් පදක්කම් ලාභී පෝලන්තයේ Tadeusz Ślusarski මීටර 5.65 ක සීමාවේ නතර වන විට අනෙක් පෝලන්ත ක්‍රීඩකයා වූ Wladyslaw Kozakiewicz මීටර 5.70 ක පිම්මක් ද මීටර 5.75 ක පිම්මක් ද සාර්ථක කර ගනිමින් රන් පදක්කම තහවුරු කර ගත්තේ ය. මේ සෑම පිම්මක් ආරම්භයේ දී ම සෝවියට් නරඹන්නන්ගෙන් ඔහුගේ මානසික ඒකාග්‍රතාවට බාධා එල්ල විය.
අවසානයේ දී Wladyslaw Kozakiewicz මීටර 5.78 ක පිම්මකට සූදානම් වූයේ නව ලෝක වාර්තාවක් බිහි කිරීමේ අවස්ථාව ද ඇතිව ය. Wladyslaw එම පිම්ම සාර්ථක කරගනිමින් ලෝක වාර්තාවට හිමිකම් කියූ අතර මෙට්ටය මත පතිත වී සෘජුව සිට ගන්නවාත් සමග තම අත වැළමිටෙන් තමා දෙසට නවා අනෙක් අතෙන් බදා අල්ලා නරඹන්නන් දෙසට ප්‍රදර්ශනය කළේ ය. ඒ මොහොතේ ඔලිම්පික් තරගාවලිය විකාශය වූ ලොව සෑම රටකටම එම ප්‍රතිචාරය දක්නට ලැබුණු අතර සෝවියට් දේශය වහා තඑම සිදුවීමේ ඡායාරූප තම රට තුළ වාරණය කර තිබිණ.
පෝලන්ත ධජය යටතේ තරග වැදුණු Wladyslaw Kozakiewicz තමා හට බාධා කළ සොවියට් නරඹන්නන්ට පෙන්වූ සංඥාව හඳුන්වන්නේ Bras d'honneur ලෙසිනි. එය නිග්‍රහ කිරීම හෝ අවමන් කිරීම පිණිස ප්‍රකට කරන සංඥාවක් වන අතර මැදඟිල්ල පමණක් දිගු කර Fuck You යන්න අදහස් කිරීම හා සමාන අශිෂ්ඨ ඉරියව්වකි.
"රුසියානු ප්‍රේක්ෂකයින් කෑ ගහමින් බාධා කළේ සෝවියට් නොවන ක්‍රීඩකයින්ට විතරයි. ලුශ්නිකි ක්‍රීඩාංගණයේ හැත්තෑ දාහක් වගේ සෙනඟක් හිටියා. විදේශිකයෝ හිටියේ දහදාහක් වගේ ගාණක් විතරයි. ඉතිං හිතාගන්න පුළුවන් ද අපිට ඇහුණ සද්දේ. ලෝක වාර්තාවක් තියන්න හදනකොට බාධා කරන්න කෑ ගැහීම් ලැබුණු මේ ලෝක එකම ක්‍රීඩකයා මම වෙන්නැති. මට පුළුවන් විනීතම විදියට මගේ කේන්තිය රුසියානු ප්‍රේක්ෂකයින් ට පෙන්නුවා. "
Wladyslaw Kozakiewicz පසුකාලීනව එසේ පැවසුව ද ඔහුගේ කේන්තිය පිට කිරීම ශිෂ්ට සමාජය විසින් ආදරයෙන් වැළඳ ගත්තේ නැත.ඔහු පෝලන්තය තුළ තාවකාලික වීරයෙක් බවට පත් වී පසුව ජර්මනියට පලා ගියේ ය.
සෝවියට් සමූහාණ්ඩුව ඔලිම්පික් උළෙලෙන් පසුව මෙම සිදුවීමපිළිබඳ පෝලන්තයට වෙත අප්‍රසාදය රාජ්‍ය තාන්ත්‍රිකව දන්වා සිටියේ ය. නමුත් පෝලන්තය එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ එය වෙහෙසට පත් ක්‍රිඩකයාගේ මාංශ පේෂීන් හරහා නිරායාසයෙන් හටගත් ඉරියව්වක් පමණක් බව ය.
පසුකාලීන ව සිදු කළ ලද කිසිදු ප්‍රකාශයක්, හෝ පැහැදිලි කිරීමක් ඒ මොහොතේ දී ප්‍රසිද්ධියේ පිළිගන්නට තරම් නිර්භීතව බවක් පෝලන්තය ට හෝ Wladyslaw Kozakiewicz ට නොතිබිණ.
ඔහු ඔලිම්පික් රන් පදක්කමක් සහ ලෝක වාර්තාවක් හිමි කරගත්තේ ය ය. නමුත් ඔහු ඉතිහාසගත වන්නේ විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙස නොව ක්‍රීඩා ඉතිහාසයේ අශිෂ්ටතම හැසිරීම් වලට එක් නිදසුනක් ලෙසිනි. ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වූ ඔහු තමා සමඟ නොසිටි ක්‍රීඩා ලෝලීන් ට එසැණින් පාඩම් උගන්වන්නට ගොස් ඔලිම්පික් රන් පදක්කමක් සහ ලෝක වාර්තාවක් අභිබවා යන නරක ප්‍රසිද්ධියකට උරුමකම් කීවේ ය. ඔහුගේ මව් රට ඒ වෙනුවෙන් විසුළුසහගත නිදහසට කාරණා ඉදිරිපත් කරන මට්ටමට පත් විය.
ක්‍රීඩාව යනු ජයග්‍රහණය කිරීම පමණක් නොවන බව අපට උගන්වන්නේ Wladyslaw Kozakiewicz ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. කු.... ......ස් මේ ඔබේ අවධානය පිණිසයි

    ReplyDelete
    Replies
    1. දන්න අය විතරක් කමෙන්ට් කරන්න

      Delete