තාල : පිටිසරට පැමිණි ගණිත ගුරුවරයා බහු කාර්ය මෙවලමක් බවට පත් වීම

කැකිරාව මණ්ඩලයේ දොඹෑව පාසලේ කළුබණ්ඩාගේ මුදලිහාමි කොළඹ පාසල් වල උල් සපත්තුකරුවන් පරදා මීටර සියය දිනුවේ අනාදිමත් කාලයේ හත වසර සිංහල පෙළ පොතේ ය. අද වන විට 'හෝ ගාන පොකුණ' සමග ඇරඹූ ගමේ පාසල විසින් කොළඹ අභිබවා යාමේ සිංහල සිනමා ප්‍රවණතාව 'පහ සමත්' ,'ගෝල්' සහ 'හීන හොයන සමනල්ලු' ආදී නානා වේශයෙන් දක්නට ලැබේ. ළමා ළපටි රැගත් සිනමා ලෝලීන්ගෙන් සිනමා ශාලා ඉතිර යාම සතුටට කරුණක් වන නමුත් මේ ගමයි - පාසලයි - ගුරයි - නගරයයි පන්නයේ සිනමා ශානරය වෙනුවෙන් ස්වයං තක්සේරුවක් කිරීමට අවශ්‍ය කාලය එළැඹී ඇති බව සිහිපත් කරනු වටී.
චිත්‍රපටය යල් පැන ගිය වට්ටෝරුවකි. උදාසීන සහ අකුරට කම්මැලි ළමයි රොත්තකි.දුෂ්ඨ සහ පසුගාමී ගුරුවරයෙකි. හිත හොඳ ගුරුවරයෙකි.මඩේ හිටවූ ඉන්නක් මෙන් වැනෙන විදුහල්පතිවරයෙකි. සියල්ල අවසානයේ ප්‍රාතිහාර්යයක් පාමින් පාසලට කඩා වදින ගුරුවරයෙකි. ළමයි රැළ උඩ පනිමින් නටන , ගස් දිගේ බඩගාමින් ගයන සිංදු කීපයකි.

ගමේ පාසලට පැමිණෙන්නේ ගුරු පත්වීම් රැගත් සුපර් හියුමන්ලා වීම
අසේල හෙවත් හේමාල් රණසිංහ පැමිණෙන්නේ පාසලේ ගණිත ගුරුවරයා ලෙසය. ඔහු නව අධ්‍යාපන ක්‍රමවේදයන් ඇසුරින් ගණිතය කියා දෙන බව අධ්‍යක්ෂවරයා අප හට පවසන්නට උත්සාහ කරයි. නමුත් තිරයේ දිස්වන්නේ වෙනකකි. බාලදක්ෂ ජම්බෝරියකට ගිය පාසල් සිසුන් කණ්ඩායමක් සේ තුන්සිය හැටපස් දවසේම ගල් තලා වල , වැව් තාවුළු වල අත්පොඩි තලන , සාමූහික ක්‍රියාකාරකම් වල යෙදෙන දරුවන් විනා ඒ පාසලේ වෙනත් කිසිම විෂයයක් උගන්වන පාටක් නැත. පාසලක් යැයි පැවසූ නුමුදු අසේල සර් පසුපස යන ගෝලබාලයින් රෑන හැරෙන්නට වෙන ළමා පුළුටක් පාසල තුළ හඳුනාගත නොහැකිය.
පාසලේ ගුරුවරුන් හිඟයට වඩා ගුරු පුටු හිඟයක් තිබෙන බව අපට පෙන්වන්නේ හේමාල් රණසිංහ ය. ඔහු ගුරු මේසයේ හැරෙන්නට එකදු අවස්ථාවක හෝ ගුරු පුටුවේ වාඩි වනවාදැයි නිච්චි නැත. පාසලේ ගණිත ගුරුවරයා වන අසේල සර් පාසලට අඳින්නේ ට්‍රැක් බොටම් සහ ටී ෂර්ට් ය. අමරාවතී ටීචර් හෙවත් කෞෂල්‍යා ප්‍රනාන්දු රාහු කාලය සහ , නැකැත් විශ්වාස කරන බව පෙන්වා සුපුරුදු ලාබ සිනහව උපදවන්නට උත්සාහ ගත්තද ආරම්භක ජවනිකාවෙන් පසුව එක් ජවනිකාවක තත්පරයෙන් පංගුවක අමරාවතී ටීචර් ජ්‍යොතිෂ්‍ය පත්තරයක් කිසිල්ලේ ගසාගෙන එබෙනයුරු පෙන්වන අධ්‍යක්ෂවරයාට පසුව එය අමතකම වී යයි. එක්කෝ එය හිතක් පපුවක් නැති සංස්කාරකවරයාගේ වැඩකි.
මුල් ජවනිකා වල දී මහා කතාවක් සේ ගොඩනගන නිධන් ගැනීම - ඒ වෙනුවෙන් පාරක් හදන ලීලාවෙන් පාසල කඩා දැමීම වැනි දෑ සංකීර්ණ ප්‍රශ්න ඉදිරිපත් කළ අධ්‍යක්ෂවරයාගේ චිත්තාවේගය සිංදු තුනක්ම වාදනය කළ පසු නිවී ගිය හැඩ ය. නිධන් ගැනීමේ ප්‍රයත්නයේ අවසානය පෙන්වනවා හැරෙන්නට අනෙක් කිසිවක් ඔහුට මතක් වී නැත. නමුත් අපට ඒවා මතකය. අවසානය වන විට එරන්දතී දිවිතොටවෙල නමින් අමුතුම ගුරු පත්වීමක් සමග පාසලට එන කළණි දොඩන්තැන්න 'සන්ලයිට් .. සන්ලයිට් පෙණ ඉතිරෙයි' වෙළඳ දැන්වීම් මාලාවේ නූතන රංගන ශිල්පිනියක් ලෙස අනර්කලී ආකර්ෂාමය රංගනයක් ඉදිරිපත් කරන්නීය. අසේල සර් මේ පාසලට පැමිණෙන්නේ ගණිත ගුරුවරියකගේ පුරපාඩුව ලෙසින් ය. අසේල සර් වෙනුවට තාවකාලිකව අහසෙන් පාත් වන එරන්දතී දිවිතොටවෙල උගන්වන්නේ ගල්තලාවක් මත ඇඳගත් පියානෝවක ස්වර වැයෙන ආකාරය ය. මේ පාසලට ගුරුවරුන් වේශයෙන් පැමිණෙන්නේ එක්ස් ෆයිල් මාලා නාටකයේ සිටි සුපර් හියුමන්ස් ලාය.

සිංහල සිනමාවේ ගුරු පත්වීම හෙවත් සිලබස් එකක් නැති ඉගැන්වීම
අපි මේ හා සමාන , නමුත් විශ්වාස කළ හැකි මට්ටමේ කතා සැබෑ ජීවිතයේ අසා දැක ඇත්තෙමු. මීට හරියටම අවුරුදු දහයකට පෙර ඩී.එස්.අයි වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 12 න් පහළ බාලිකා ජාතික සූරතාව දිනාගත්‍තේ ළමයින් 80 ක් වත් නැති එක ගොඩනැගිල්ලේ කැන්දපොළ විදුහලය. සිංහරාජ මායිමේ පිහිටි මේ පාසලට වොලිබෝල් හඳුන්වාදුන්නේද , කණ්ඩායම පුහුණු කළේ ද පාසලේ ගුරුවරයෙක් වූ පඥ්ඥාතිලක නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් විසිනි. නමුත් 'තාල' චිත්‍රපටය යනු සත්‍යාසන්නයට හෝ පැමිණීමට නොහැකි ලෙස වට්ටෝරුවක් විසින් පිළුණු කළ කතා පුවතකි.
සමස්‍තයක් ලෙස ගතහොත් 'තාල' යනු ගමේ පාසල - නගරය පැරදවීමේ පිළුණු වූ සිනමා ශානරයේ මිනී පෙට්ටියට ගසන අවසාන ඇණය විය යුතුය. ළමා චරිත තුළ අපූර්වත්වයක් දක්නට නොලැබෙන්නේ , අපූර්වත්වය යන්නෙහි තේරුම 'පෙර නොවූ විරූ බව' වන නිසා ය. 'ඔසුකුල මහත්තයා' ලෙස රඟන ප්‍රියන්ත සිරිකුමාරගේ රංගනය ද ජයලත් මනෝරත්න සහ කෞෂල්‍යා ප්‍රනාන්දුගේ රංගනය ද එකිනෙකට නොදෙවෙනි ලෙසින් ගලා යයි නමුත් කිසිදු ආලෝකයක් නොමැති බවද පැවසිය යුතුමය. සම්මානනීය කෙටි චිත්‍රපට කරුවෙකු ලෙස නමක් දිනා සිටින 'තිසර මංගල බණ්ඩාර' ගේ ගීත රචනයක් අසන්නට ලැබීම , 'ගෝඨයිම්බර කෝලම' වැනි විකල්ප නිර්මාණ ධාරාවන්හි අප දුටු දක්ෂ රංගන ශිල්පියෙකු වන 'ධනුෂ්ක ඩයස්' රොෂාන් සර් ලෙසත් , සම්මානලාභී කෙටි චිත්‍රපටයක් වන 'Song of the innocence’ හි ප්‍රධාන චරිතයෙන් අප 'දුටු ප්‍රදීප් රාමවික්‍රම' බාසු ලෙසත් දක්නට ලැබීම හැර මේ චිත්‍රපටය අප තුළ ඇති කරවන්නේ උදාසීන හැඟීමකි.
ගමයි - පාසලයි - ගුරයි - නගරයයි සංකල්පයට සමුදීමට කාලය එළැඹ ඇත.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment