අසේකා ! කෙසේදෝ කියන්නේ - මගෙ දිව දෙතොල් අතර සැංගේ.



අපි චන්න - උපුලි ගේ නැටුම් හරියාකාරව දකින්නට ගත්තේ අනූව දසකයේ මැද භාගයේ සිටය. ඒ රූපවාහිනිය ගීත සඳහා නර්තනාංග හඳුන්වාදෙමින් තිබූ යුගයයි. බුදවත්ත ගෝල පරපුර ඒ ප්‍රවණතාවයෙදී පවා තම ශෛලිය වෙනස් නොකර ගීත වලට නැටූහ. මනෝහාරී වැඩසටහනට "තරු මල් අතරින් රිංගාලා - කොහි යන්නෙද මා තනිකරදා" යනුවෙන් ටී. එම් ගයන විට ඔවුන් මොකක්දෝ අතරින් රිංගා යන අභිනය පෑහ. ඒ හැරුණු විට මතක තිබුණේ නදුන් උයන වැනි වැඩසටහනක ප්‍රීති ගනේගොඩගේ ශිෂ්‍යාවන් ගීත උදෙසා නර්තනයේ යෙදීමය. කිසිදු නර්තනයක් අපූර්වත්වයෙන් හෙවත් පෙර නොවූ විරූ බවකින් යුතු ඒවා නොවීය. අදටත් මතක එක දෙයකි. ඒ ප්‍රීති ගනේගොඩගේ ශිෂ්‍යාවන් නිරතුරුවම ඇන්දේ එකත් හැට්ට (එක් අතක් පමණක් ඇති) විලාසිතාව බවය. 


චන්න - උපුලී අපේ ලෝකයට පැමිණෙන්නේ ඒ අතරවාරයේ ය. අදටත් ඔවුන් අපේ ලෝකයෙන් නික්ම ගොස් නැත. නික්ම යන ලකුණකුදු නැත. ඒ බව පසක් වන්නේ අසේකා විජේවර්ධනගේ රංගනාභ්‍යාසයන් සහ චලිතයන් කෙරෙහි ආසක්ත වූ පසුවය. මම ඇයව මුලින් දුටුවේ 2007 වසරේ දී කුලරත්න ශාලාවේ පැවති ආනන්ද විද්‍යාලයේ "රිදම් ඔෆ් ද මෙරූන්ස්" ප්‍රසංගයේ දී ය. අසේකා එවකට දහසය හෝ දහ හත් හැවිරිදි වන්නට ඇත. "මීදුම උතුරන සඳපානේ " ගීතයට රඟදෙන අනෙක් රූපිකාවන් අතරින් ඇයව වෙන් කර හඳුනාගත හැකි ලක්ෂණයකි. ඒ සිහින් , රිද්මයානුකූල දිගු දෑත් !!! 

ඉන් පසු ඇය 2008 රිදී රැයක් වේදිකාවේ , "සමනළ රෑනක් සේ" ගීතයේ සුරාජ් මාපා - දිල්හානි අශෝකමාලා පසුපසින් , නමුත් ඔවුන් අභිබවා යමින් මනහර නර්තනයෙක යෙදුණාය. 

එදා සිට අද දක්වා අසේකාගේ නර්තන විලාසයන් දුටු වාර ගණන අපමණය. නමුත් ඇය ඊයේ පෙරේදා අහම්බෙන් දුටුවේ , ගෝල්ෆේස් හෝටලයේ පැවති ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන උළෙලේ දීය. "වස්සානයට අත වනලා" ගීතයට අතිශය කලාත්මක සහ සිත් ඇදගන්නා සුළු පසුබිම් රූ රටාවක් ඉදිරියේ අසේකා නර්තනයේ යෙදුණාය. අභිරූපිකාවන් රැසක් මැද ඇගේ සිහින් , දිගු දෑත් ඇදහිය නොහැකි සුන්දරත්වයෙන් චලනය විණ. 

මේ එහි එක් සේයාරුවක් පමණය. එදා වීඩියෝව නැතත් අසේකා ඒ ගීතයටම තවත් වේදිකාවක නර්තනයේ යෙදෙන වීඩියෝවක් පළමු කමෙන්‍ටුවේ ඇත. 

තවමත් සිහිවන්නේ 2008 වසරේ රිදී රැයක් ය. ප්‍රිටි වුමන් ය. සමනල රෑනක් ය. 

අසේකා !
කෙසේදෝ කියන්නේ - මගෙ දිව දෙතොල් අතර සැංගේ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment