තිලකා ජිනදාස : දැල්පන්දු පල් වළෙහි සත් පියුම් පුබුදන්නී


සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු සූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමටත් ජාතික කණ්ඩායමේ පුහුණුකරු තිලකා ජිනදාසටත් අපගේ උණුසුම් සුභ පැතුම් පිරි නමන්නෙමු ;
ලාංකේය දැල්පන්දුව අද පත්ව සිටින අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකි යමෙක් වේ නම් ඒ තිලකා ජිනදාසම බව පැවසීමේ වරදක් නැත.
2009 ආසියානු සූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය වූ තිලකා ලාංකේය දැල්පන්දුවෙන් ඈත් කරවීමේ උත්සාහයක් තිබූ බව ක්‍රීඩාව පිළිබඳ යහ අවබෝධයක් තිබූ අය දන්නා රහසකි. ලංකා ඉතිහාසයේ මුල්වරට ඔලිම්පික් උළෙලකට සහභාගී වීමට වරම් ලද ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් එක් අයෙක් වන තිලකා ජිනදාස (1988 සෝල් ඔලිම්පික් - 100 කඩුළු පැනීම + දීපිකා චන්මුගම් - පිහිණුම්) අවසානයේ ආසියානු සූරතාව දිනූ කණ්ඩායම පුහුණු කළ තමාට ලංකාව තුළ අවස්ථාව නොලැබෙන විට බෘනායි දේශයේ පුහුණුකාරිනියව විදෙස්ගත විය. එරටට දැල්පන්දු හඳුන්වාදී ආසියානු කලාපයේ පළමු කණ්ඩායම් හය අතරට ගෙන ආ තිලකා පසුකාලීනව ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු තනතුර පුරප්පාඩු වූ මොහොතක බෘනායි සිට අයැදුම් කළාය. ස්කයිප් හරහා සම්මුඛ පරීක්ෂණයකට මූලිකව එකඟව තිබූ නමුත් පසුව අදෘෂ්‍යමාන බලවේගයක මැදිහත් වීමෙන් එම ස්කයිප් සම්මුඛ පරීක්ෂණ අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කෙරිණ.
ලාංකේය දැල්පන්දුව වළ පල්ලටම කඩා වැටෙන්නට විය. 2012 දී කොළඹ පැවති ආසියානු සූරතාවලිය අවසන් වූයේ සිංගප්පූරුව හමුවේ 47-48 ක් ලෙස අවාසනාවන්ත පරාජයක් ලංකාවට ඉතිරි කරමිනි. පුද්ගලික පළිගැනීම් සහ පුද්ගලික ඔසවාතැබීම් මනාව පෙන්නුම් කළ එම තරගාවලිය තුළ ඉතා දක්ෂ වරාය ක්‍රීඩිකාවක කිසිදු අවස්ථාවක් නොලබා බංකුවට වී සිටියාය. සුගතදාස ක්‍රීඩාංගනයේ ලාංකේය ප්‍රේක්ෂකයින් බහුතරයක් ඉදිරියේ පැවති අවසන් තරගයේ මුල් කාර්තුව අවසන් වූ වහාම කණ්ඩායමේ අත්දැකීම් බහුලතම ක්‍රීඩිකාව සහ ජාතික කණ්ඩායමේ හිටපු නායිකාව වූ ගෝල් ඇටෑක් ක්‍රීඩිකාව ශෂිකා සමරසිංහ බංකුවට යවා සහාය පුහුණුකාරිණිය වූ දීප්ති අල්විස්ගේ දියණිය සේමිණි අල්විස් ව ආදේශ කරන ලදි. මූලික තරග වලදී අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත බංකුවේම ගත කළ සේමිණි ගෝල විදින්නිය සමග මනා සබඳතාවක් ගොඩනගා ගැනීමට අපහොසත් වූ අතර සමස්ත කණ්ඩායමේ ම රිද්මය බිඳ වැටිණ. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේ දීම එක ලකුණකින් පරාජය වූ අතර අවසාන මොහොතේ සේමිණී අල්විස් ව ආදේශ කිරීමට හේතුව හෝ එම තීරණය ගත්‍තේ කවුද යන්න එවකට ජාතික පුහුණුකාරිය වූ හයිසින්ත් විජේසිංහ හෝ නවසීලන්ත ජාතික උපදේශිකාව සූ බෝඩියන් අද වන තෙක් හෙළි කර නැත. දැල්පන්දුවට වගකියන පරිපාලනය ද ඒ ගැන වද වූයේ නැත. තිලකා ජිනදාස බෘනායි රාජ්‍යය අතහැර භාර ගන්නේ එබඳු ඉතිහාසයක් ඇති පල් වළකි.
පසුගිය වසර ගණනාවක් පුරාවට ජාතික දැල්පන්දු කණ්ඩායම පිළිබඳ පළ වූ පුවත් කුකුළු කොටුවක සිරි ගෙන තිබිණ. එකිනෙකා කොටා ගන්නා කිකිළියන් සේ පරිපාලන අභ්‍යන්තරයේ කොණ්ඩා වලු පටලවාගැනීම් ද පරිපාලනය සහ ක්‍රීඩිකාවන් අතර නොයෙක් අඬදබර ද හැරෙන්නට ලංකාවේ දැල්පන්දුවට වෙනත් පැවැත්මක් නොතිබිණ.
නමුත් එම ඉතිහාසය වෙනස් කළ 2018 වසරේ ජාතික පුහුණුකාරිනිය තිලකා ජිනදාස මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙවැනි අදහසකි. "පුහුණුවීම් සම්බන්ධයෙන් කතාකරනවා අපි ඒ කටයුතු ඉතාම සාර්ථක අන්දමින් සිදුකළා. ඒ සම්බන්ධයෙන් නම් මගේ කිසිම කුකුසක් නැහැ. ක්‍රීඩිකාවන්ගේ විනය වුණත් ඉතාම හොඳයි. ක්‍රීඩිකාවන් උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රීඩා කරනවා.මේ වනවිට පිටිය තුළ සබදතා ගොඩනගා ගනිමින් අපේ ක්‍රීඩිකාවන් ඉතා හොදින් ක්‍රීඩා කරනවා. මම හදුනාගෙන තියෙන විදිහට අපේ පළමු 07 දෙනා ඉතාම හොඳයි. ඒවගේම ඔවුන්ට සාපේක්ෂව ආදේශක ක්‍රීඩිකාවනුත් හොඳටම ක්‍රීඩා කරනවා."

තිලකා ; 
ඔබ මෙලෙස තම කණ්ඩායම දෙස ධනාත්මක හැඟීමෙන් අදහස් දක්වන විට අපට සිහිවන්නේ පසුගිය කාලයක විදෙස් සංචාරයක ක්‍රීඩිකාවන්ගේ විනය සම්බන්ධ ගැටළුවක් ඇති වූ සිදුවීමය. කණ්ඩායම ලංකාවට එන්නටත් පෙරාතුව විකෘති කරන ලද පුවතක් ගොසිප් වෙබ් අඩවි සඳහා ලබා දුන් කණ්ඩායම භාරව ගිය කුමන හෝ වැඩිහිටි කාන්තාවන් ය.

තිලකා ; ඔබ මේ සත් පියුම් පුබුදන්නට නොතිත් වෙර දරන්නේ එබඳු මඩ ගොහොරුවකය.
විශේෂයෙන්ම කණ්ඩායම් නායිකාව චතුරංගි ජයසූරියටත් උප නායිකා දර්ශිකා අබේවික්‍රමටත් ඇතුළත් විය යුතු කාලය ප්‍රමාද වී හෝ ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට වරම් ලද දුලංගි වන්නිතිලකටත් උණුසුම් සුබ පැතුම් පිරි නමමි.
ක්‍රීඩිකාවන්ගේ විනය ගැන පමණක් වද වන , ස්වයං විනය පිරිහුණු වැඩිහිටි ගැහැණුන්ගේ වෙළඳපොළක් බවට පත් වූ ලාංකේය දැල්පන්දුව යළිත් ආසියාවේ අංක එක කරන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා යැයි පතමු.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment