ශ්‍රී ලංකා මළල ක්‍රීඩාව : අනේ අපි කවදාක පිහිනමුද ඒ ඟඟේ



විජයග්‍රාහී මළල ක්‍රීඩා ක්ෂේත්‍රයක් සියැසින් දුටු අවසාන පරපුර අපදෝ සැකයක් සිතෙන්නේ 18 වැනි ආසියාතික තරගාවලිය තුළ අවසන් පූර්ව වට වලදී , අවසන් වට වලදී හය වැනි හත් වැනි තැනින් සෑහීමකට පත් වන අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දුටු විට ය.
මෙයට හරියටම වසර 20 ට පෙර 1998 දී බැංකොක් නුවර පැවැත්වුණේ 13 වැනි ආසියාතික ක්‍රීඩා උළෙලය.
මීටර 400 ඉසව්වේ රන් පදක්කම දිනූ සුගත් තිලකරත්න තමාගේ නිත්‍ය ඉසව්වක් නොවන ආගන්තුක මීටර 200 ඉසව්වේද ලෝකඩ පදක්කම දිනුවේය.
වසර දෙකකට පසුව සිඩ්නි ඔලිපික් උළෙලේ රන් පදක්කම පවා දිනූ කසකස්තානයේ ඔල්ගා ෂිෂිගීනා සමග තරග වැදුණු ශ්‍රියානි කුලවංශ මීටර 100 කඩුළු ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
ඒ වන විට මීටර 400 ඉසව්ව තම නිත්‍ය ඉසව්ව කර තිබූ දමයන්ති දර්ශා පහසුවෙන්ම රන් පදක්කම දිනා ගත්තාය. කෙටිදුර ඉසව් වල රන් පදක්කම් බලාපොරොත්තුව වූ සුසන්තිකා ජයසිංහ ඒ වන විටත් මීටර 100 අවසන් පූර්ව තරගය ජය ලැබුවද අයහපත් ශරීර සෞඛ්‍යය මත තරගාවලිය අතැර දා යළි ලංකාවටම ගොස් තිබිණ. මීටර 100 අවසන් පූර්ව වටයේ දී තත්පර 10.99 ක ඇදහිය නොහැකි දක්ෂතාවක් ( සුළඟ +) පල කළ චීන ක්‍රීඩිකාව ලී ෂුමෙයි අවසාන තරගයේදී තම අභියෝගය, සුසන්තිකා ජයසිංහ නොමැති පහසුවෙන් රන් පදක්කම දිනුවාය.
සුසන්තිකා ජයසිංහ සහභාගී නොවන මීටර 200 ඉසව්වේ ජය චීන ක්‍රීඩිකාවට බව මාධ්‍ය මගින් නිතරගයෙන් ප්‍රදානය කරද්දී ලංකාවෙන් ඉදිරිපත් වූ අනෙක් ක්‍රීඩිකාව දමයන්ති දර්ශා නිහඬවම අවසන් තරගයට එක් වුවාය. තරගය නිම වන්නේ මුල සිටම පෙරමුණේ සිටි චීන ක්‍රීඩිකාව අවසාන දශමයේදී පරදවන දමයන්ති දර්ශා තත්පර 22.48 ක නව තරග වාර්තාවක් ද පිහිටුවීමෙනි. " මට ඇය මගෙ ළඟින්ම හුස්ම ගන්න ශබ්දය ඇසුණා. නමුත් ඒ වෙනකොට මම ප්‍රමාදයි" පසුව ලී ෂුමෙයි මාධ්‍ය වෙත පවසා තිබූ අතර , දර්ශාගේ එම දක්ෂතාව අදාල ඉසව්ව වෙනුවෙන් 1998 වසරේ වාර්තා වූ ලොව හොඳම තරග නිමි කාලයන් අතරින් හය වැනි තැන දිනා ගත්තේය.
ඔලිම්පික් සූරියන් සමග තරග කර පදක්කම් දිනන , විනෝදයට දුවන ඉසව් වලට ද කුමන හෝ පදක්කමක් දිනන , නිත්‍ය ක්‍රීඩිකාව නැති මොහොතක ඉදිරිපත් වන අනෙක් ක්‍රීඩිකාව ද ආසියාතික තරග වාර්තා සමගින් ජය ලබන මළල ක්‍රීඩා ක්ෂේත්‍රයක් තිබුණේ මීට වසර විස්සකට ඉහත දීය.
අනේ අපි කවදාක පිහිනමුද ඒ ඟඟේ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment