දීප්ති !

ඒක ඇත්තටම වෙයි කියලා අපි නිකමටවත් හිතුවේ නෑ. සූර්යා ඉන්න 24 චිත්‍රපටිය අපි බැලුවේ කුරුණෑගල ජුපිටර් හෝල් එකේ. බියර් කෑන් දෙකක් සාක්කුවල හංගගෙන අපි ඇතුළට ගියේ. චිත්‍රපටියේ වගේ අතීතයට යන්න පුළුවන් ඔරලෝසුවක් ලැබුණොත් මොනවද කරන්නේ කියලා පාලින්ද දොඩවන්න ගත්තා. බියර් එකටත් වෙරි වෙන ලුම්පන් පංතියේ උන් එක්ක දෙමළ ක්‍රියාදාම චිත්‍රපටි බලන එකත් එක්තරා විදියක විහිළුවක් තමයි. ඒත් එදා මගේ අතේ බියර් එකක් තියා කවුපි ගොට්ටක් ගන්නවත් සල්ලි තිබුණේ නෑ. ඒ වගේ වෙලාවකට ඉතිං පාලින්ද තමයි මෝරා. මිනිහා ටවුන් එකේ බුක් ෂොප් එකක් ඇතුළේ පොඩියට ඔරලෝසු රෙපෙයාර් මේසයක් දාගෙන ඉන්නවා. බත් කන අත වත් එක පාරට කියන්න බැරි වුණාට වම ගැන ලොකු කැක්කුමක් පෙන්නන පාරින්ද, තමන්ගේ මාමා කෙනෙක් අසූ නමයේ දි එළියකන්දේ මරලා දැම්මා කියලා නිතරම කිව්වා. පස්සේ කාලෙක එන්.ජී.ඕ ව්‍යාපෘති වාර්තාවක කොටයක් අදිනකොට සාම්පල් එකකට විස්තර ඇහුවාම කියපි ඒ මාමා කිව්වට මාමා ම නෙමෙයි , එහා ගෙදර මාමා ගේ යාලුවෙක් කියලා. ඔන්න ඔහොම පාලින්දලා එක්ක තමයි අපි චිත්‍රපටි බලන්න ගියේ. කොහොම වුණත් මම කොළඹ උත්සව වල , පොඩි පොඩි පොකට් මීටිං වල කතා පවත්වන හැටි ෆේස්බුක් එකේ ෆොටෝ දාන නිසා පාලින්ද මට හෙණ භක්තියෙන් හිටියේ. මාව ආශ්‍රය කරන එක තමන්ගේ බුද්ධිමත් බවේ සංකේතයක් කියලා මිනිහා හිතුව බව මට තේරුණා. පාලින්ද විතරයැ ? අපි හැමෝම එහෙමනේ දෙයියනේ.
කොහොමහරි පාලින්දටත් ඔය කියන ජාතියේ ඔරලෝසුවක් හම්බ වුණා. මිනිහා මට කෝල් කළාට මම විශ්වාස කළේම නෑ. අන්තිමට මට බොන්න අරන් දෙන්නම් කියලා කිව්ව නිසා මමත් ලෑස්ති වෙලා ආවා. මේ යකාගේ රෙපෙයාර් වැඩ හරියට මේ ආණ්ඩුවේ සංවර්ධන ප්‍රතිපත්ති වගේ නිසා පරණ පෙට්ටියක තිබ්බ ඔරලෝසුව කාගෙද , කොයි කාලේ ගෙනාපු එකක්ද කියලා හොයා ගන්න බෑ. කොහොම හරි අපි වැව රවුම පැත්තට ගිහිං ජොගිං ට්‍රැක් එකට වෙලා කතා කළා. ඇත්ත තමයි. මේ ඔරලෝසුව පිටිපස්සට කැරකුවාම අතීතයට යනවා. විනාඩි දහයක් කියන්නේ අවුරුදු දහයක්. විනාඩි තිහක් ආපස්සට කරකවලා ආයෙම එනකොට මගේ ඇඟේ හීගඩු පිපිලා තිබුණා. පාලින්ද හිනා වෙනවා.
අන්තිමේ පාලින්ද ඇහුවා අපි මේකෙන් මොකද කරන්නේ කියලා. කරන දෙයක් ඉක්මණට කරන්න වෙනවා. චිත්‍රපටි වල වගේ නෙමේනේ. කසිකබල් ඔරලෝසුව හෙට නැවතුණොත් මොනවා කියලා කරන්නද ? අවදානමක් ගන්න බෑනේ. ඒ අස්සේ පාලින්දයා කිව්වා අතීතයට ගිහිං කරන දේ මටම තීරණය කරන්න කියලා. මොකද මිනිහට එහෙම කිසිම දෙයක් ගැන ආසාවක් නෑලු. කෙලෙස් නසලා නිසා නෙමේලු. තව මාසෙකට වඩා ජීවත් වෙන්නේ නැති නිසා. පාලින්ද යාලු වෙලා හිටිය ශාලිකා එන මාසේ වෙන එකෙක්ව බඳිනවා. ඉතින් පාලින්ද තීරණය කරලා තියෙන්නේ එදාට ලෝකාන්තෙන් පැනලා මැරෙන්න. මට කියන්න අමතක වුණා. පාලින්ද ආයාසයෙන් වම ගැනයි අරක මේක ගැනයි උනන්දු වුණාට මිනිහා ඒ කාලේ ඉඳන්ම චිත්‍රපටි , ටෙලි නාට්‍ය පිස්සෙක්. කොණ්ඩේ පීරන්නේ තිස්ස විජේසුරේන්ද්‍ර වගේ. අමිල අබේසේකර වගේ ෆ්‍රේම් නැති කණ්ණාඩි දෙකක් දාගෙන ස්ටීව් බිකෝ ගැන කියවනවා. ඒ අස්සේ කෙල්ලගේ මඟුල දවසේ මැරෙන්න කතා කරනවා. මැරෙන්න ඕනෙත් නිකං නෙමේ. ලෝකාන්තෙන් පැනලා. ආයේ දෙකක් නෑ. කුරුවිට හරි බලංගොඩ පැත්තෙන් හරි මතුවෙයි ' බලපං මචෝ පැන්නට හුළඟේ ගහගෙන ගියානේ " කියාගෙන.
මම කල්පනා කරන්න ගත්‍තා. ඔලුව කකියන තරමට කල්පනා කළා. අතීතෙට ගිහිං මොනවා කරනවද ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන එක නවත්තනවද ? සුසන්තිකාගේ රිදී පදක්කම රන් පදක්කමක් කරනවද ? නෑ. නෑ. එක්කො කිසිම පදක්කමක් නැතිව හතරවෙනියා කළොත් ? එහෙම නැත්නම් තොටළඟ බෝම්බේ නවත්තලා ගාමිණී ව බේර ගන්නවද ? රමණි බර්තොලමියුස් ව මැරෙන එකෙන් බේරගන්නවද ? අසූ තුනේ හමුදාවේ මිනී ටික කොළඹට ගේන්නේ නැතිව ඉන්නවද ? විජිතමුණිට රජිව් ගාන්ධිගේ ඔලු කට්ට කුඩු වෙන්න තුවක්කුවෙන් ගහන්න දෙනවද ? තල්දූවේ සෝමාරාම .. මට නින්ද ගියා.
උදේ නැගිටලා වැසිකිළියෙදිත් කල්පනා කළා. කාමරේට ඇවිල්ලත් කල්පනා කරලා ෆේස්බුක් ඇවිල්ලා ඔහේ කැරකෙනකොට මතක් වුණා.
දීප්ති !!!
ඔව්. දීප්තිව මරන්න ඕනේ. මොකෙක් හරි අතීතයට යනවා නම් මුලින්ම කරන්න ඕනේ ඒක. මේ යකා නිසා අපිට තියෙන වදයක්. හැමතැනම පංති තියලා අලුත් මතවාද ඔලු වලට පුරවලා මළ වදේ . ඒත් කවුද යන්නේ දීප්තිව මරන්න ? මම යන එක හරි නෑ. මොකද මිනිහට මතක ඇති අනූ ගණන් වල මුල් කාලේ මම ඒ යකා කතා කරන ඒවා රැස්වීම් වල පිටිපස්සේ වාඩිවෙලා අහගෙන පොත් වල ලියාගත්ත කතන්දරේ. අදටත් සඟරාවක් ගහගෙන කාට හරි කොක්කක් ගහගෙන ඉන්නේ ඒ කාලේ අහුලගත්ත කෑලි නිසා තමයි. ඒ නිසා මිනිහා මාව අඳුනගන්න බැරි නෑ. ඇරත් ගිය පාර අතීතයට ගිය පාර බයටම මගේ මුත්‍රාශය හිර වුණා. මේ පාර පුපුරන්නත් බැරි නෑ. ඒ නිසා මම පාලින්දව ආයෙම මෝරට දැම්මා.
කලබලයටයි , සතුටටයි මම පාලින්දට එක හුස්මට කියාගෙන ගියා. ඇයි අපි දීප්තිව මරන්න ඕනේ. තරුණ පරපුර මේ විකාර වලින් ඈත් කරන්න. මම ඔය වගේ දේවල් කියවගෙන ගියා. පාලින්ද ඇහුවේ මෙච්චරයි. " පව් නැද්ද ? " මම පින පව ගැන සහ ආගම ගැන කාල් මාක්ස් කියපු කෑලි ටිකකින් දමලා ගැහුවා. පාලින්ද මුචලින්ද නාගයා වගේ දමනය වෙලා එදා රෑම වැඩේ කරන්නම් කිව්වා.
ඊ ළඟ දවසේ උදේම පාලින්ද ඇවිල්ලා වැඩේ හරි කියලා කියලා ඔරලෝසුව මට දීලා ගියා. වාහනේ හැප්පුවලු. හැබැයි දෙදාස් හතේ අවුරුද්දට ගිහිංලු වැඩේ කළේ. බූරුවට වැඩක් කීවොත් ඔහොමමනේ. අසූ ගණන් වලට වගේ ගියා නම් ඒ කාලේ දීප්ති පොරක් නෙමේනේ. දැන් ඉතිං මොනවා කරන්නද ? පත්තරවල එහෙම පිටු පිරෙයි. ඒත් පාලින්ද ඒවා අහං හිටියේ නෑ. මට බෑ කියන්න බැරිකමට කළාට හිතේ අමාරුවක් තියෙනවා, අද වැඩට යන්නේ නෑ කියලා මිනිහා ඇස් වලට කඳුළු පුරවගෙන හෙණ තෙහෙට්ටු මූණකින් පිටවෙලා ගියා. මම දොර වැහුවා. හුරේ ! දීප්ති නෑ දැන්. මට ඇති වුණේ නටන්න තරම් සතුටක්. ඒත් මම කොහොමද මේක දැන්ගන්නේ. මම හවස් වෙනකං ඉඳලා පුත්තලම පාරේ කමියුනිකෙෂන් එකකින් දීප්තිට කෝල් එකක් ගත්‍තා. නම්බර් එකෙන් මාව හොයන්න බෑනේ. " යර්ස් " මෙන්න දීප්ති කතා කළා. මොන රෙද්දක්ද ? මම අනෙක් අතට පාලින්දට කෝල් කළා. ෆෝන් ඕෆ්. මට මේ බූරුවාව මරං කන්න කේන්තියක් ආවා.
ඒ කේන්තියටම මම බය පැත්තක තියලා දෙදාස් හතේ අවුරුද්දට ඔරලෝසුව කැරකුවා. මෙන්න මම අතීතයේ. හැබැයි දැන් රෑ වෙලා. මම හිටියේ අපේ ගෙදර. ඒ වෙලාවෙ ටී වි එකේ ප්‍රවෘත්ති යනවා. මමත් බලාගෙන හිටියා. දීප්ති නොමැරී බේරුණත් ප්‍රවෘත්ති වලට යන්න ඕනේ. ඉතිං බන්දුල පද්මකුමාර හෙට උදේට ඇදලා පැදලා ඕක කියයි මුල් පිටුවට. ඔන්න එක පාරටම වෙළඳ දැන්වීම් ඉවර වුණා.
" ඊයේ දිනයේ හදිසි රිය අනතුරකට මුහුණ දුන් ප්‍රවීන නිළි නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ තත්ත්වය බරපතල බවත් , ඇය තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රාජමන්ත්‍රී පවසා සිටියා.
ඊයේ දින රාත්‍රියේ රූගත කිරීමක් අවසන් කර පැමිණෙමින් සිටි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ගමන් ගත් මෝටර් රථය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව වැලිවේරියට නුදුරුව අනතුරට ලක් වී තිබුණා.
දූ දරුවෝ ටෙලි නාට්‍යයේ දීප්ති චරිතය හරහා ලාංකේය රසික හදවත් දිනූ නිල්මිණි තෙන්නකෝන් එක් දරු මවක් වන අතර ....."
ප්‍රවෘත්‍ති ඉවර වෙනකං මට ඉන්න ඕනේ වුණේ නෑ. අර බූරුවාගේ හොම්බ තලන්න මට ආයේ යන්න ඕනේ වුණා. ඒත් අත දිගා බලනකොට දැක්කේ. රෙද්ද ! මෙන්න මේ මල ඉලව් ඔරලෝසුව නැවතිලා.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. Replies
    1. අරං ගිහිං උඹ මොනව කරන්නද හදන්නෙ?

      Delete
    2. මට අහු උනොත් නං ආයේ කෙළිංම විජය කුවේණි කේස් එකටම දෙනවා වැඩක්. ප්‍රශ්න ඔක්කොම පිනිස්

      Delete
  2. ඇත්තටම ඔය වාගේ ඔරලෝසුවක් ලැබුනොත් මොකද කරන්නේ කියලා හිතා ගන්න නම් බෑ තමයි.

    ReplyDelete
  3. ඉතින් ඒ ඔරලෝසුව හදාගත්තේ නැද්ද ආයේ😂😂😂😂

    ReplyDelete