හිම

ඒ වෙනකොට අපි හත් දෙනාම බලාපොරොත්තු අත් ඇරලා හිටියේ. හැමතැනම සුදු පාටයි. සීතලයි. අපි කියන එව්වා අහන්න කවුරුවත් හිටියේ නෑ. කොහොමවුණත් අපිට කතා කරන්න කියලාත් අලුත් දෙයක් තිබුණේ නෑ. වටේම අයිස් කඳු. අපි කවදාහරි , කවුරුහරි මනුස්සයෙක් ඇවිත් අපිව බේරගනියි කියලා බලාගෙන හිටියේ.
සීතල මදිවට දැනෙන පාලුව ! මුල් කාලේ නම් අපි හත් දෙනාම අපේ පරණ කතා මතක් කර කර සන්තෝස වුණා. සන්තෝස වුණා ද දුක් වුණා ද කියලා හිතාගන්න බෑ. කොහොම හරි අපි ඒ කාලේ සෙනග පිරිවරාගෙන හිටිය අයනේ. දැන් මේ හිම කඳුවලට වෙලා මිනිස් පුළුටක් ඇහැ ගැහෙනකම් බලා ඉන්නේ.
හිම කඳු හතකට වෙලා බකං නිලාගෙන ඉන්නේ නැතිව අපි හත් දෙනාට කලා සංසදයක්, පර්ෂදයක් වගේ දෙයක් පිහිටුවගන්න තිබුණා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. මොකද අපි හත් දෙනාම ඒ කාලේ කලා ක්ෂේත්‍රයේ වැඩ්ඩො. මේ කොණේ කන්දේ පොත් ලියපු කෙනෙක්. එහා කන්දේ සිංදු ලියපු කෙනෙක්. මැද කඳු තුනේ හිටියේ නාට්‍ය හදපු , චිත්‍ර ඇඳපු දෙන්නෙක් එක්ක සංගීත කාරයෙක්. මම චිත්‍රපටි කාරයෙක්. හැබැයි ඒ කාලේ. මට එහා පැත්‍තේ , ඒ කිව්වේ මේ කොණේම කන්දේ හිටියේ වැඩිය එළියට බහින්නේ නැති විචාරකයෙක්.
ඒත් ඉතිං මේ මිනිස් පුළුටක් නැති උත්තර අර්ධයේ අපි හත් දෙනා කලා හවුලක් පිහිටුවගෙන මොන දෙයක් කරන්නද ? කෝ රසිකයෝ. අපි ඒ ගැන කතා වුණා. ජීවිතේ මුල්ම වරට අපිට තේරුම් ගියා අපි මෙච්චර කාලයක් අපි ගැනම මෝහනය වෙලා ඒ ගැනම වමාර වමාර හිටියා මිසක් වෙන කිසි දෙයක් දැකලා නෑ කියලා. අඩු ගාණේ මෙතෙන්ට එනකං අපි අපි නම් ගම් වත් අහලා තිබුණේ නෑ. ඒත් ඒ කාලේ අපි හිතං හිටියේ අකනිටා බ්‍රහ්ම ලෝකේට ගිහිං ඇහුවත් අපේ නම් දන්නවා කියලා. මෙතෙන්ට කොටු වුණාට පස්සේ "මම තමයි අහවලා ; මම තමයි අහවල් දේ කළේ " කියනකොට ඉතිරි හයදෙනා පිටසක්වල ජීවියෙක් විදියට බලා ඉන්නකොට තමයි දැනුණේ අපි හිතාගෙන හිටිය ; නෑ ... නෑ .. අපි ඇඳගෙන හිටිය තරම ! ඒකනේ අපිට මෙතෙන්ට එන්න වුණේ. අහ් ! මට ඒ කතාව කියන්න වුණේ නෑනේ. අපි ඒ කාලේ කලාව ගැන කොච්චර දරදඬු සහ බරපතල ප්‍රතිපත්තියක හිටියද කිව්වොත් ; අපේ විවේචන දරාගන්න බැරිව අපේ අවට හැමදේම හිමෙන් , සීතලෙන් මිදිලා අයිස් වෙන්න ගත්තා. අපි හිතුවේ ඒක බුද්ධිමට්ටමේ ඉහළ යාමත් එක්ක වෙන දෙයක් කියලා. අන්තිමට අපිව උත්තර අර්ධයට කොටු වෙනකොට තමයි තේරුණේ අවුල තිබිලා තියෙන්නේ අපි ළඟ මිසක් වෙන කා ළඟවත් නෙමේ කියලා.
"අන්න පොඩි කෙල්ලෙක්" මැද කන්දක ඉන්න හිටපු සංගීත කාරයා කෑ ගැහුවා. ඒ කාලේ ඉඳන්ම ඇහැ යන්නෙම ඒවාට තමයි. අපි උදාසීනව ඔලු උස්සලා බැලුවා. ඇත්ත තමයි. පොඩි ගවුම් කොටයක් ඇඳගත්‍ත දඟ පාට කෙල්ලෙක්. අතක පෙති කැඩුණු මලක් තියාගෙන බයවෙලා බලා
ඉන්නවා. " අයියෝ .... අම්මා... ශීතලයි" කියලා ඒ කෙල්ල ඇඬුවා. කඳුළු මිදිලා අයිස් වෙලා එල්ලෙන්ම ගත්තා.

මේ තමයි අපිට පරණ ජීවිතේට යන්න පාර අහගන්න හොඳම වෙලාව කියලා වම් කොණේ කන්දේ හාදයා කිව්වා. මේ ළමයා ආපු පාරෙන්ම අපිටත් යන්න පුළුවන් කියලා කියනකොට අපිට ආසාව වැඩිවෙලා කලබල වුණා. අපි හත් දෙනාම ළමයා දිහාවට ඉක්මණට යන්න වුණා. ඒ යන ගමං අපි කවුද , අපි මොනවද කළේ, අනික් අය මොනවද කළේ සහ නොකළේ වගේ දේවල් වගේම ලෝකය යන්න ඕනේ දිශානතිය , කලාවේ පැවැත්ම කෙසේ විය යුතුද වගේ දේවල් කියන්න ගත්තා. ඇයි අප්පා ! කාලාන්තරේකින් නේ මේවා කාටහරි කියන්න ලැබෙන්නේ. හත් දෙනාමා කියවනකොට පොඩි සද්දයක් ආවා නම් තමයි.
අර ගෑණු ළමයා හොඳටම බය වෙලා හිටියේ. අතේ තිබ්බ පාට පාට මලේ එක පෙත්තක් කඩලා තනියම මතුරන්න ගත්තා. අපි එයා දිහාට යන ගමං. " ගෑණු ළමයෝ ! ඉන්න . මේ අහන්න"
අයියෝ ! මෙන්න ඒ ගෑණු ළමයා මැජික් එකකින් වගේ අතුරුදන් වුණා. ආයෙම අපිව විතරක් උත්තර ධ්‍රැවයේ තනි කරලා නොපෙනී ගියා
----------- ----------- -----------
ශේන්යා ගේට්ටුවට මුවා වෙලා හත්පෙති මල අරගෙන තද නිල් පාට පෙත්ත කඩලා ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කළා. ''දැන් මාව උතුරු කෙළවරට ගෙනියන්න ඕනෑ'' එකපාරටම හුළං හැමුවා. ඉර නොපෙනී ගියා. භයානක විදියට අඳුරු වුණා. ඇගේ පා යට පොළව බඹරයක් වගේ කරකැවුණා. උතුරු කෙළවරේ ඇයට ලොකු තනිකමක් දැනුණා.
''අය්යෝ.... අම්මා.... සීතලයි'' ශේන්යා කෑ ගහන්න පටන් ගත්තා. කඳුළු මිදිලා අයිස් වගේ නහයෙන් එල්ලූණා.

අයිස් කඳුවලින් සුදු වලස්සු හත්දෙනෙක් ශේන්යා ළඟට එනවා.
ඔක්කොම එක වගේ භයානකයි. ශේන්යා හොඳටම බය වෙලා හත් පෙති මලේ කොළ පාට පෙත්ත කඩලා විසි කරලා පුළුවන් හයියෙන් ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කළා.
''ආයෙමත් මා අපේ මිදුලට ගෙනියන්න ඕනෑ'' කියන කොටම ඈ මිදුලේ. පිරිමි ළමයි ඇය දිහා බලලා හිනා වෙනවා
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: