කොල්ලුපිටියේ ෆුඩ් සිටියේ අයිස් පලං


කොල්ලුපිටියේ ෆුඩ් සිටිය තිබෙන්නේ කොල්ලුපිටියේ වන බැවින් අපි බම්බලපිටියට නොගොස් එයටම යන්නෙමු.

ෆුඩ් සිටියේ ගමකට කන්නට කෑම ජාති තිබුණත් අපි එහි යන්නේ වොන්ඩර් බාර් අයිස් කිරීම් අරගෙන එන්නටය. එහි ඇත්තේ ඒක් පූල් දෝ මාලි කැශියර් සිස්ටම් එකකි. එක කැශියර් නංගි කෙනෙකි. ඇගේ තනියට කවුන්ටර්ම හතරකි. රැජිණ මමයි අපේ රාජ්ජේ යනුවෙන් ඇය  පවසන්නේ නැත. නමුත් එක කවුන්ටර් එකක හිඳ සල්ලි භාරගෙන අනෙක් කවුන්ටරයට දුවගොස් කාඩ් ස්වයිප් කරන නංගී පෑන සොයන්නේ ඊටත් එහා කවුන්ටරයෙනි. ඉතින් ඒ කන්දත් මේ කන්දත් පමණක් නොව කඳු යායම ඇගේ තමයි බව අලුතෙන් පැවසිය යුතු නැත.

බොයිලර් කුකුලන් සහ මීට් බෝල්ස් පසු කර අයිස් ක්‍රීම් බඳුන් සොයාගෙන යන විට හැට පැයක් ගත වී අවසානය. තීන්ත කඩයක ඇති ඕනෑම පාටකින් ඇති අයිස්ක්‍රීම් කන්දරාවෙන් වොන්ඩර්බාර් සොයා ගන්නට නම් බඹර කපන අය මෙන් ඉණේ රැහැනක් බැඳ අනෙක් කොණ එකෙක්ට තරයේ අල්ලා ගන්නට කියා ඩීෆ් ෆ්‍රීසරයේ කිමිදිය යුතුය. ඔබට ඔක්සිජන් ටැංකියක් ලැබෙන්නේ නැත. අවසානයේ ටයිටැනික් නැව හැප්පුණු අයිස් කන්ද තරම් එකක් අස්සේ තිබී වොන්ඩර් බාර් හමු වේ. යුරේකා !

නෙළාගත් අයිස් ක්‍රීම් අස්වැන්න ද රැගෙන කවුන්ටරයට එන විට අපර භාගය උදා වී ඇති අතර රම්‍යා වනිගසේකර "මෙන්න සන්ධ්‍යා , ප්‍රවෘත්ති " යැයි සන්ධ්‍යා රඹුක්කන අමතා ප්‍රවෘත්ති කියන වේලාව උදා වීමට ද ඔන්න මෙන්නය. අනේ අපිට එපා අනුන්ගේ කතා යැයි කියන අපි සන්ධ්‍යාට ඒවා අසාගන්නට කියා කවුන්ටරයට ළඟා වෙමු.

කැශියර් නංගී ඒ වන විට සිටින්නේ ජීවන විල මැද වැජඹෙන කැකුළක් මෙන් රූබරවය. ගනුදෙනුකාර අප සැම ඇය අවටම රඟන්නේ තී මට - තී මට කියමින්ය. නමුත් අවාසනාවට ඇත්ත කතාව වන්නේ අපි පෝලිමක සිට ගත්තොත් කැශියර් නංගිලා බොහෝ විට ට්‍රේනිං උදවිය වීමය. අපි ඇය දෙස අනිමිස ලෝචනය කරන අතරතුර ඇය අප වෙනුවෙන් දුව පැන අහළ පහළ කී බෝඩ් වලින්ද අකුරු සොයාගෙන අවුත් ටයිප් කරන්නීය.

බිල ලැබෙන විට මගේ ඥාන දත ඇවිත් හක්කේ  දතක් වැටී ද අවසන් ය.

අතේ ඇති අයිස්ක්‍රීම් දියරය පානය කරන්නට ස්ට්‍රෝ එකක් දෙන්නැයි අපි බැගෑපත් වෙමු. "මේ ස්ට්‍රෝස් එළියෙන්ම තියලා තියෙන්නේ අයිස් ක්‍රීම් ගන්න අයටම තමයි" යනුවෙන් පවසන ඇය කවුන්ටරයේ ඇති ස්ට්‍රෝ බඳුන නිර්ලෝභීව දිගු කරයි. වොන්ඩර් බාර් පැකට් එක මැද ඇති කෝටු කෑල්ල තිබෙන්නේ ගෙදර ඉතිරි වන නූල් ඔතන්නට බවද විශ්වාසයෙන් යුතුව පවසයි.

අපි මාසයකට වරක් පමණක් අයිස් ක්‍රීම් කන්නේ ඔය නිසා ය. සල්ලි නැති නිසා නම් නොවේය.


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

6 comments: