කරාවේ කුරේලා එපා හොඳේ !


රෙජිනෝල්ඩ් කුරේ උඩරැටියකු නොවන නිසා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වනවාට මල්වතු හිමියන් විරුද්ධ වී ඇත්නම් මමත් උන්වහන්සේ ගේ පැත්තේය.
දැන් මෙහෙමනේ. ගම් පෙරළියේ මාතර හාමිනේ වුණත් පියල් ගැන අහපු ගමං " උන්ට කවුද හිර දෙන්නේ " කිව්වේ නන්දට තියෙන ආදරේටනේ.
ඒ වගේ කවුද දන්නේ මල්වතු හාමුදුරුවන්ට නන්දා වගේ දීග දෙන වයසේ දුවලා ඉන්නවද කියලා. හා වෙන්න බැරිද ? උදේ ඉඳන් මහපොළොව එක්ක හැප්පෙන , වේලක් කාලා වේල් දෙකක් හාමෙතේ ඉන්න ඉඩෝර පළාත් වල මිනිස්සුන්ටත් පඩි පේළි වගේ ළමයි ඉන්නවා නම් මේ නුවර මැද්දේ පාරවල් වහගෙන එන එන ආණ්ඩුවෙන් කන බොන උන්නාන්සෙලා මොකෝ මයියොක්කා බඩ වලින් හැදිලෑ. අනික් එක රෙජිනෝල්ඩ්ගේ තට්‍ටෙ පෑදිලා තමයි. එහෙම කියලා විශ්වාස කරන්න පුළුවන් එකක්ද ? ඔය බාගයක් මහනායක හාමුදුරුවන්ගෙන්ම ඇහුවා නම් කියයි තට්ටේ වුණාට තඹ සතේකට විශ්වාස කරන්න බැරි රඟ.
ඉතින් මේකනේ. දැන් රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරයා වෙලා මහනායක හාමුදුරුවන්ගේ දුවෙක් ඉන්නවා නම් එයා එක්ක යාලු වෙනවා කියමුකො. වස ලැජජයි නේ ! හා නැද්ද ? ගිහි අපි වුණත් මේ වෙනකොට කුල මල බලන්නේ මඟුලකදි තුලාවකදි විතරනේ. ඉතිං කෙලෙස් අත ඇරලා චීවරේ දාගත්ත හාමුදුරු කෙනෙක් වුණාම මේ වගේ දෙයක් ඇරෙන්න අලුතෙන් කුල මල හොයන්න කාරණාවක් තියෙන්නම බෑනේ.
ඔන්න ඉතිං අර කෙල්ල මේ ආණ්ඩුකාරයා එක්ක පැනලා ගියා කියලා හිතමු. වයසයි තට්ටෙයි නම් කොහොමත් ම අමතක කරන්න පුළුවන් මේ කාරණේදි. එක පැත්තකින් බැඳපු මිනිහෙක්. අනික් පැත්තෙන් කුරේ කෙනෙක්. නුවරත් නෙමෙයි.
අර ගිරි නම් නිඝණ්ඨයා වගේ මොකෙක් හරි වෙන ආගමක පරයෙක් .. අපි කියමු තම්බියෙක් කියලා.. ඔව් ඔව්.. උන්ගෙන් තමයි මේ අපේ සමානාත්මතාවයෙන් පිරිච්ච කුල මල බේද නැති බුද්ධාගමට ලොකුම තර්ජනේ තියෙන්නේ. ඉතින් ගිරි නිඝණ්ඨයා වගේ තම්බියෙක් හැංගිලා ඉඳලා කෑ ගැහුවොත්
"මල්වතු හාමුදුරුවන්ගේ දෝණියැන්දැ කරාවේ එකෙක් එක්ක පැනලා යනෝ " කියලා ...
විලි සංගේ නෑනේ පිංවතුනි. මොනා වුණත් කෙල්ල කරාවේ එකෙක් එක්ක පැනලා ගියොත් හාමුදුරුවන්ට හොඳ නෑ. හාමුදුරුවන්ට හොඳ නෑ කියන්නේ අපේ බුද්ධාගමට හොඳ නෑනේ.
ඒ නිසා කරාවේ කුරේලා එපා හොඳේ !
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment