මඩකලපුවේ සිට ග්‍රැමි සම්මානය දක්වා - කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර්


කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් යනු ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකාවේම පාසල් අධ්‍යාපනය ලද ශබ්ද ඉංජිනේරුවරයෙක් සහ ගී තැටි නිෂ්පාදකවරයෙකි. වර්තමානයේ ඇමරිකාවේ වෙසෙන හෙතෙම ලෝ ප්‍රකට හින්දුස්ථානි රාගධාරි සංගීතඥයින්ගේ සහ බටහිර සංගීතඥයින්ගේ ශබ්ද ඉංජිනේරුවරයා ලෙස ද කටයුතු කර ඇති අතර 36 වැනි ග්‍රැමි සම්මාන උළෙලේ හොඳම ගීත ඇල්බමය ( ලෝක මට්ටම ) සඳහා සම්මානයට පාත්‍ර වූ ඇල්බමයේ ශබ්ද ඉංජිනේරුවරයා සහ ඇල්බම නිෂ්පාදකවරයා ද වන්නේ කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් ය. කොළඹ සූරිය විලේජ් හි ආරාධනයක් මත වසර හතළිහකට පසු තම මව්බිමට පා තැබූ හෙතෙම පසු ගිය සති කිහිපයක් පුරා එහි විවිධ සංගීතමය වැඩසටහන් වල නිමග්න වන ආකාරය දක්නට ලැබිණ. සූරිය විලේජ් පරිශ්‍රයේ යොදාගෙන තිබූ ශබ්ද පරිපාලනය සම්බන්ද වැඩසටහනක් අතරතුර ඉරිදා ලක්බිම සමග කතා බහ කරන්නට එක් වූ කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් නම් වූ ලාංකේය සංගීත ශිල්පියා තම අත්දැකීම් ඉදිරිපත් කළේ මෙලෙසිනි.
"ශ්‍රී ලංකාවේ ඉන්න කං මම ශ්‍රාවකයෙක් විතරයි. කිසිම සංගීත වැඩක යෙදිලා තිබුණේ නැහැ" කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් හෙවත් කවී විශ්වසනීය ලෙස තහවුරු කර පවසයි. "ඒ කාලේ අපිට ස්ටීරියෝ අහන්න තිබුණෙ නැහැ. ඉතිං මම රේඩියෝ සිලෝන් ඇහුවා. මම ඉපදුණේ 1949 අවුරුද්දේ මඩකලපුවේ. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලෙ ඉගෙන ගත්තේ. 1968 දි මම පැරිසියට ගියා . ඒ වෙනතුරුම මම සංගීතය අහන කෙනෙක් විතරමයි" යනුවෙන් ඔහු පවසන විට මඩකලපුවේ ඉපිද කොළඹ අධ්‍යාපනය ලැබූ දහනම වැනි කොලු ගැටයා ප්‍රංසයට යන්නේ වැඩි දුර අධ්‍යාපනය පිණිස දැයි විමසා බැලුවෙමු. නැගුණේ උස් සිනහ හඬකි. " නෑ. නෑ.. මම සාමාන්‍ය පෙළවත් පාස් වුණේ නෑ. ඇත්තටම මම ප්‍රංසයට ගියේ ආසාවට" එලෙස පැවසූ කවීට ප්‍රංසයම තෝරා ගන්නට විශේෂ හේතුවක් තිබිණ. "මම පොඩි කාලේ ඉඳන්ම රටක් විදියට ප්‍රංසයට ආසයි. රටට , කෑම බීම වලට වගේම ඒ ඉහළ සංස්කෘතියට මට ආසාවක් තිබුණා" එසේ පවසන කවී ලංකාවේ රේඩියෝ සිලෝන් ශ්‍රාවකයා සංගීත ඇසුර සොයා ගිය හැටි සිහි නගන්නට විය.

කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් ප්‍රංසයේ දී එල්.පී සංගීත තැටි මිල දී ගෙන සවන් දෙන්නට පුරුදු වන්නේ එය ඔහු ලංකාවේ දී අත් නොවිඳි සංගීතමය අත්දැකීමක් බැවිනි. එයට අමතරව ස්ටීරියෝ පට ද මිල දී ගන්නා මේ තරුණ ශ්‍රී ලාංකිකයා බටහිර ,ඉන්දියානු , අරාබි , පර්සියානු සහ චීන යනාදී ශාස්ත්‍රීය සංගීතය ද ජෑස් සංගීතය ද ඇසුරේ තම ජීවිතය ගත කරයි. " මට තේරුණා මේ සිංදු වලින් බටහිර සහ ජෑස් වලට සාපේක්ෂව අනෙක් සිංදු වල තත්ත්වය හොඳ මට්ටමක නැහැ කියලා. ඒවායේ රෙකෝර්ඩිං දුර්වලයි" එසේ පවසන කවී එතැන් සිට තමාගේ ජීවිතයේ ඉලක්කය වූයේ තම සිත්ගත් සංගීත රටා ඉහළ මට්ටමෙන් පටිගත කිරීම බවය. " ඒත් මට ප්‍රංසයේ දී මගේම කියලා ශබ්දාගාරයක් පටන් ගන්න හීනේ හැබෑ කර ගන්න ලැබුණේ නැහැ". කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් තම සිහිනය සැබෑ කරගන්නේ 1984 වසරේ දී ය. Water Lily Acoustics බිහි වන්නේ ඒ ඇමරිකානු එක්සත් ජනපදයේ දීය.

" මම ප්‍රංසයෙන් ස්වීඩනයට ගියා. ස්වීඩනයේ ඇමරිකානු ජෑස් සංගීත නිෂ්පාදකයෙක් විදියට ස්වාධීනව වැඩ කළා" ඒ කවී ප්‍රංසයේ සිට ඇමරිකාව වෙත සංක්‍රමණය වන ගමන් මගෙහි මතක සටහන් ය. ඉන් අනතුරුව ඇමරිකාවට ගොස් තමාගේම ශබ්දාගාරයක් වෙනුවෙන් සිහින මවන ඔහු හින්දුස්ථානී රාගධාරී සංගීතයේ පතාක යෝධයෙක් වන උස්තාද් අලි අක්බර් ඛාන්ගේ ගීත පටිගත කිරීම අරඹයි. ප්‍රංසයෙන් ස්වීඩනයටත් එතැනින් ඇමරිකාවටත් සංක්‍රමණය වන ශ්‍රී හුදෙකලා ලාංකිකයෙක් එවැනි දැවැන්තයෙකු සමඟ එක්ව වැඩ කරන්නට අවස්ථාව පාදා ගත් ආකාරය අපි කවී ගෙන් විමසුවෙමු. ඔහු ට ඇත්තේ සරල පිලිතුරකි " මම දුරකතන නාමාවලියෙන් නොම්මරේ හොයාගෙන කෝල් කළා. මම ඔබගේ ගීත පටිගත කරන්න කැමතියි කියලා කිව්වා" ඒ අනුව පසුදින කවිචන්ද්‍රන්ව තම සංගීත නිකේතනයට කැඳවන උස්තාද් අලි අක්බර් ඛාන් ඔහු සමග පිළිසඳරේ යෙදේ. " මට තේරුණා , ඔහු මගේ උනන්දුව සහ අධිෂ්ඨානය දැක්ක බව. ඔහු කිව්වා තව සති දෙකකින් මගේ ප්‍රසංගයක් තියෙනවා. ඔයා ඒක කරන්න කියලා" ඒ අනුව තම ජීවිතාභිප්‍රායෙහි මුල්ම බාධකය ජයගන්නා කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් ඉදිරියේ තවත් විශාල කඩුල්ලකි. ඒ මෙවන් ලෝක සංගීතඥයෙකු වෙත ගෙවන්නට තරම් කවී පොහොසතෙකු නොවීමය. නමුත් උස්තාද් අලි අක්බර් ඛාන් තුළ මේ අධිෂ්ඨානශීලි තරුණයා පිළිබඳ ඇත්තේ මහත් පැහැදීමකි." ඔහු මගෙන් සතයක්වත් අය කළේ නැහැ. ඔහුට ඕනේ වුණා මගේ ගමනට උදවු කරන්න " එසේ පැවසූ කවිචන්ද්‍රන් මෙවදන් කීපයද එක් කරන්නට අමතක නොකළේය " උස්තාද් අලි අක්බර් ඛාන් මට තාත්තා කෙනෙක් වගේ. Water Lily Acoustics ගොඩනගන්න ඔහු හැම විදියටම උදව් කළා". Ustad Ali Akbar Khan’s Sarod යන නාමය යටතේ එල්.පී තැටියක් ලෙස එළි දැක්වෙන එම පටිගත කිරීම පිළිබඳ සංගීතඥයාගේ ප්‍රතිචාරය කෙබඳු දැයි විමසීමට ද අමතක නොකළෙමු. ජයග්‍රාහී සිනහවකින් මුව සරසාගත් කවිචන්ද්‍රන් ය. " ඔහු මගේ රෙකෝඩිං එක ඇහුවා. ඒක හොඳ නිසා තමයි මට ඒක මුදාහරින්න අවසර දුන්නේ"

එතැන් සිට කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් නම් වූ ශබ්ද ඉංජිනේරුවරයාගේ ගමන් මග වඩාත් පහසු විය. ඔහුගේ වචන වලින්ම කියනවා නම් අනෙක් ඉන්දියානු සංගීතඥයින් ඉතා පහසුවෙන් සමබන්ධ කර ගන්නට හැකි වන්නේය. පද්මභූෂන් වී.ජී. ජෝග් , පද්මවිභූෂන් පණ්ඩිත් ජස් රාජ් , පද්මභූෂන් එන්. රාමනි , උස්තාද් ඉම් රත් ඛාන් , උස්තාද් සියා ෆරිද්දුදීන් දගාර් , පද්මශ්‍රී එල් සුබ්‍රමනියම් , පද්මශ්‍රී වී.එම් භාත් , පද්මශ්‍රී කද්‍රි ගෝපල්නාත් , පද්ම ශ්‍රී උස්තාද් රෂීඩ් ඛාන් යනාදී දීර්ඝ නම් ලැයිස්තුවකින් කියාපාන්නේ හින්දුස්ථානි රාගධාරි සංගීතය කවිචන්ද්‍රන් කෙරෙහි තැබූ විශ්වාසය ය.

1994 වසරේ පැවත් 36 වැනි ග්‍රැමි සම්මාන උළෙලේ හොඳ ගීත ඇල්බමය ලෙස සම්මාන ලබන්නේ ඉන්දියානු සංගීතඥ විශ්ව මෝහන් භාත් සහ ඇමරිකානු සංගීතඥ රයි කූඩර් ගේ සංයෝගයෙන් සැදුම් ලත් A Meeting by the River ය. එහි ශබ්ද ඉංජිනේරුවරයා සහ ගී ඇල්බම නිෂ්පාදකයා වන්නේ Water Lily Acoustics හි කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් ය. "1995 දි ත් ග්‍රැමි සම්මාන වලට නිර්දේශ වුණා. ඒත් ලැබුණේ නැහැ " ඔහු සිහිපත් කළේ ය.
A Meeting by the River 
කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර්ගේ සංගීත පටිගත කිරීම් වලට සුවිශේෂී මෘදුකාංගයක් හෝ වෙන යම් සිද්ධාන්තයක් තිබේ දැයි විමසා සිටියේ ඔහු එමොහොතේ ද දේශනයකට සූදානම් වෙමින් සිටි නිසා ය. " බොහෝ දුරට මයික්‍රෆෝන් දෙකක් විතරයි. මම ස්වභාවික ශබ්දය ගන්නයි උත්සාහ කරන්නේ" යනුවෙන් පවසන ඔහු තමන්ගේ පටිගත කිරීම් බොහෝ දුරට වාර්තා චිත්‍රපටයක් මෙන් සරල සහ ස්වභාවික බව පැවසීය. " ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ චිත්‍රපට ගැන හිතන්න. වැඩි වර්ණ ගැන්වීම් නැහැ. ස්වභාවික ආලෝකය තියෙන්නේ. අන්න ඒ වගේ". ලෙසින් පැහැදිලි කරන ඔහු මයික්‍රෆෝන් භාවිතය සහ ඒවායේ උපයෝගීත්වය සංගීත තැටියක උසස් බවෙහි බලාත්මක සාධකයක් බව පැවසීය.

ලංකාවෙන් පිට වන්නට පෙර ගැටවරයෙකු ලෙස සිටින අවදියේ පණ්ඩිත් අමරදේවයන් ට සහ ලාංකේය බයිලා සංගීතයට ප්‍රිය කළ මේ මඩකලපු තරුණයාගෙන් වර්තමාන ලාංකේය සංගීතය පිළිබඳ විමසා සිටියෙමු. " මට ඇහෙන්නෙම පොප්. දැනෙන්නේම ලොස් ඇන්ජලීස් වල ඉන්නවා වගේ තමයි." යනුවෙන් පැවසූ ඔහු " ලංකාවේ හුඟක් හොඳ සංගීතඥයෝ ඉන්නවා. එයාලා ශාස්ත්‍රීය සංගීතය ඉස්සරහට ගේන්න ඕනේ" යනුවෙන් තම කතාබහ අවසාන කළේය.

ලක්බිම | මංජුසාව | 2018 අප්‍රේල් 22 | සහන් කසීර වික්‍රමසිංහ

http://e-paper.lakbima.lk/2018/April/last_22_04_18/manjusawa.pdf


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment