විරාත් කෝලිගේ වෙඩිම


"Good Morning මචං" ජංගම දුරකතනය කණේ තබාගත් තරුණයා පිළිතුරු දුන්නේය. "ඔන්න වැඩේ හරි"
"නමස්තේ මචං" අනෙක් පසින් කුල්මත් කටහඬක් ඇසුණි. "උඹට තෑන්ක්ස් කරන්න තමයි ගත්තේ විරාත්"
"ඕක මොකක්ද මචං. අපි උඹගේ ෆෑන්ස්ලනේ බං පොඩි කාලේ ඉඳන්" තරුණයා සිනහවෙමින් පැවසීය. "ඒ නිසා උඹ ඔය වගේ පොඩි උදව්වක් ඉල්ලුවාම නොකර කොහොමද ?"
අනෙක් පසින් මද නිහැඬියාවකි. ඉන් පසු ඔහු හඬ අවදි කළේය. "ඉතිං ඉතිං විරාත් ! කොහොමද හනිමූන් එක ? " ඔහු සිනා හඬ නැගීය. "ෆිල්ම්ස් වල වගේ සිංදු කිය කිය නැටුවද ? " ඔහු කොක් හඬලා සිනාසෙන්නට විය.

"ඒ හරිය නම් කියලා වැඩක් නෑ මචං" මේ පස තරුණයා කළකිරුණු මුහුණෙන් පැවසීය. "ඇත්තටම මම හිතුවා සිංදු කිය කිය නටලා ජොලියේ ඉන්න පුළුවන් කියලා" ඔහු වටපිට හොරෙන් බලා දුරකතනයට කෙඳිරීය. "මේකි සිංදු කියන්න ගත්තාම කඩි ගුලක් උඩ වාඩි වෙලා හිටිය එළිච්චියෙක් වගේ. හෝටලේ උන් හිතන්න ඇති මම බෙල්ල මිරිකනවා කියලා" ඔහු කෝපයෙන් මිමිණීය. "අපිව නමින් දන්නවත්නේ මචං"
අනෙක් පස හඬ මදක් ව්‍යාකූලය. ඔහු සිත සිතා කතා කරයි. "ඕහ්.. ඒකනේ බං. බැක්ග්‍රවුන්ඩ් සෝන්ග් වලටනේ අපේ ගෑණු නටන්නේ. නැතුව සිංදු කියන්න , නටන්න , රඟපාන්න ඔක්කොක බෑනේ මචං" ඔහු අවවාදාත්මකව පැවසීය. "ඉතිං බං ! උඹට තිබ්බානේ සිංදුවක් දාගෙන අනුෂ්කා එක්ක නටන්න.? ලේසියිනේ"
"මොකෝ නොකළේ" තරුණයා ගොරවන්නට විය. "මෙන්න මේකි විනාඩියක් නටනවා. නවත්තනවා. පුටුවක වාඩි වෙනවා. ටිෂූ එකකින් මූණේ දාඩිය පිහිනවා. ආයේ නටනවා" ඔහු ගේ කටහඬ දුක්බරය. " ඇහුවාම කියනවා ෆිල්ම් වල එකදිගට නටනවා පෙන්නුවට ඇත්තට එහෙම නටන්නේ නෑලු. ඒ කියලා ආයේම අහනවා අපේ මැච් එකක වුණත් කී පාරක් නම් බ්‍රේක් ගන්නවද කියලා " තරුණයා මතකය අවදි කරයි. "තේ පානයට , සිසිල් පැන්.. එතකොට දිවා ආහාරයට .. වතුර "
" හරි හරි බං ! " අනෙක් පසින් බාධා කළේය. "නිළියෝ කියන්නේ එහෙමයි. ඒකනේ බං මම මේ හොට බිම ඇනිලත් තාම තනිකඩ" ඔහු සිනාසෙන්නට විය. " ඔන්න ඔහේ ඕවා අමතක කරපං. "
තරුණයා සැනසුමට පත් වූ ලකුණු පෙනේ. " මේ ඒක නෙමෙයි සල්මාන්. ඇයි බං උඹ අර වගේ වැඩක් කරපං කියලා මට කිව්වේ ?" ඔහු මිත්‍රශීලීව ඇසීය. " මම අන්තිම මොහොතේ උඹේ මැසේජ් එක දැක්කේ. හේතු අහ අහා හිටියේ නෑ ඉතිං. පටාස් ගාලා වැඩේ සෙට් කළා. උඹ ඉතිං ඒ කාලේ අපේ සුපර් හීරෝනේ" ඔහු මෘදුව කතා කරන්නට විය. " ඒ උඹෙත් යාලුවෙක් ද ? මමත් මෑන්ව ටිකක් දන්නවා"
" මේකයි විරාත් ! " අනෙක් පසින් වගකීම්සහගතව කතාකරන්නට විය. "උඹ මේ කරපු උදව්ව මම කවදාවත් අමතක කරන්නේ නෑ. උඹ මං කියපු ගමං ඌට ඉන්වයිට් කළා විතරක් නෙමෙයි. ඌ එක්ක ෆොටෝ වලටත් හිටියා" ප්‍රීතිමත් හඬක් දුරකතනයෙන් ගලා එයි. "දැන් ලෝකෙම කතා කරන්නේ විරාත් කෝලි ශ්‍රී ලංකාවේ කාටවත් ඉන්වයිට් නොකර උගේ වෙඩින් එකට ශ්‍රී ලංකා ටීම් එකේ චියරිං බෝයි කෙනෙක්ට ඉන්වයිට් කළා කියලා. ලංකාව කැළඹිලා. "ඔහු සතුටින් හිනැගෙන්නට විය. " තෑන්ක්ස් මචං .. "
"ඉතිං .. ඉතිං සල්මාන්. ඒකෙන් උඹට මොකක්ද ලැබෙන ලාබේ? උඹ ඒ මනුස්සයව දන්නෙවත් නැද්ද ? " විරාත් ගැටළුවකට මැදිව ඇත.
"මේකයි ! " සල්මාන් උද්‍යෝගයෙන් කතා කරන්නට විය. " උඹ බැන්දේ 2017 දෙසැම්බර් 27. හරිනේ ? " ඔහු විමසයි. " හරියට අවුරුදු 3 ට කලින් ඕකුං මට ලංකාවට එන්න කිව්වා ජැකී එක්ක. ජැකලීන් බං .. " සල්මාන් ගේ කටහඬ කෝපාන්විතය. " 2014 දෙසැම්බර් 29 මම ලංකාවට ගියේ. මේ යක්කු මාව ස්ටේජ් එකක් උඩට නග්ගලා 'ශාරුක් ඛාන් ට ජය වේවා' කියලා කෑ ගැහුවනේ "
සල්මාන් ගේ කටහඬ වෙව්ලයි. "වස ලැජ්ජාව බං. ඕකුන් ඉතිං රාවණාගේ මිනිස්සුනේ. ... මම එදා ඉඳං හිතාගෙන හිටියේ මට කරපු මදිපුංචිකමට පළිය ගන්න එක ගන්නවාමයි කියලා"
අනේ විරාත් ! උඹ ඕනේ දෙයක් ඉල්ලපං.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment