කඩුව නැති වී ඇත !


"දුවේ .. කෝ මේ මෙතන තිබ්බ කඩුව ? කොහෙද දැම්මේ ?" මැදිවියේ කාන්තාව කාමරයට එබෙමින් කෑ ගැසුවාය.
"මම ගත්තේ නෑ අම්මේ ! මල්ලිගෙන් අහන්න" ඇඳ උඩ වාඩි වී යමක් ලියමින් සිටි තරුණිය හිස නොඔසවා පැවසුවාය. " මමයැ ? එයානේ ගමේ ගියේ ගොයම් කපන්න. මම එදා ගියානේ හේමසිරි ප්‍රේමදාසගේ චිත්‍රපටි උළෙලට"
වැඩිහිටි කාන්තාව නුරුස්නා මුහුණින් බැලුවාය. "ගොයම් කපන කඩුව නෙමෙයි ළමයෝ. ඒක ඇති ගමේ ගබඩා කාමරේ . .. අනික් එක කවුද හේමසිරි ප්‍රේමදාස ? " ඇය ඉණට අත තබා කේන්තිය පිට කළාය. " ප්‍රේමසිරි කේමදාසගේ නමවත් නොදැන ද එදා පරක්කු වෙලා එතෙනට ගියේ ? "
"ච: " තරුණිය නොරිස්සුමෙන් හිස ගැස්සුවාය. " වචනයක් දෙකක් පැටලුණාට මොනවා වෙනවද අම්මේ එතන තිබ්බ විකාර හැටියට ? ඔච්චර සංගීතේ දන්න මනුස්සයගේ දුව පුටුවක් උඩ හොඳට වාඩි වෙලා මහ තඩි වයලීන් එකක් බිම තියාගෙන ගැහුවේ එහෙනම් ? " ඇය හිස ඔසවා බැලුවාය " අම්මටත් පේන්නේ අපේ වැරදිම විතරයි" තරුණිය මිමිණීම නවතා සෘජුව මවගේ මුහුණ බලා කතා කරන්නට වූවාය. " දැන් අම්මා එතකොට කියන්න හදන්නේ මං ඇරෙන්න මේ ගෙදර අනික් ඔක්කොම ඈයෝ ඔය ගිහිං ඉන්න තැන් වලට ගියේ ඒ යන තැන ගැන හොඳට දැනගෙන කියලද ? "
" අනේ මම දන්නේ නෑ." කාන්තාව කෝපයෙන් කෑගැසුවාය. " යන්නේ කොහෙද මල්ලේ පොල් දොඩවන්නේ . තාත්තාගේ විදියටමයි මුං හැදිලා තියෙන්නේ " ඇය වේගයෙන් හුස්මපිටකර බලා සිටියාය. "මම ඇහුවේ ළමයෝ සාලේ තිබ්බ කඩුව කොහෙද කියලා මිසක් ඔය බහුබූත නෙමෙයි"

" මම ද අද උදේ පාන් කැපුවේ ? " තරුණිය ද කේන්තිය දමා ගැසුවාය. " අන්තිමට පාන් කපපු එක්කෙනාගෙන් අහන්න කපලා ඉවර වෙලා කඩුව දැම්මේ කොහෙද කියලා" ඇය හිස ගස්සා අහක බලා ගත්තාය. " මළ වදේ ! "
"පාන් කපන කඩුව මම කුස්සියේ එල්ලලා තියෙන්නේ . ඒක සාලේ හොයන්න මට පිස්සු කියලා හිතුවද ?" මව ද කෝපයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කළාය.
තරුණිය එක්වරම යමක් සිහි වූ බව පෙන්වූවාය. "අහ්හ් ! නියපොතු කපන කඩුව නේද ? " ඇය උද්‍යෝගයෙන් යුතුව විමසුවාය. " ඇයි එදා මල්ලි උඩට ගෙනිච්චේ යාලුවෙක් ආපු දවසේ ?" ඇය බලාපොරොත්තු සහගතව බලා සිටියාය.
"නියපොතු කපන එක නෙමේ අයියෝ" මව දෑත් වනමින් කෑ ගෑවාය.
" එහෙනම් ? අර පරණ ගේට්ටුවේ යකඩ බටේ කපන්න ගත්ත එක ද ? අන්න ඒක එල්ලලා තිබ්බා ඉස්ටෝරු කාමරේ "
" අපොයි නැහැ ළමයෝ ! " කාන්‍තාව අඩි පොළොවේ ගසමින් බාධා කළාය. " මොන මළ විකාර ද මේ කියවන්නේ ? මට මොකටද ඒ කඩු ? "
" ඉතිං මටත් මොකටද ඒ කඩු ? " තරුණිය ලියමින් සිටි පොත පොළවේ ගැසුවාය. " මට නිදහසේ පොතක් ලියන්න දෙන්නෙත් නෑ. අම්මාට මා එක්ක ඊරිසියාව. අම්මා තරුණ කාලේ බත් තම්බ තම්බ ඉඳලා දැන් අපි පොතක් ලියනකොට ඇවිල්ලා මොනවා හරි අහලා වද දෙනවා " තරුණිය ඉකි ගසන්නට වූවාය. " මට දැන් ලියන්න ඒවා ඔලුවට එන්නෙත් නෑ"
කාන්තාව සංසුන් ලෙස ඇඳේ වාඩි වූවාය. " අඬන්න එපා දුවේ ! කලින් පොත වගේ ඊ ළඟ පොතත් හුඟාක් ජනප්‍රිය වෙයි. " ඇය තරුණියගේ හිස පිරිමැද්දාය. " අනික් කාරණේ .... බය වෙන්න දෙයක් නෑ. දුවට ලියන්න දේවල් නම් අඩුවක් කරන්නේ නෑ දූගේ තාත්‍තා" ඇය සුසුමක් හෙළුවාය. " මට බය තියෙන්නේ දුව මේ වෙන දේවල් දිගටම ලිව්වොත් කවුරු හරි කෙනෙක් ඒකෙන් ෆිල්ම් එකක් හදයි කියලා" කාන්තාව කලබලයෙන් නැගී සිටියාය. "සිකුරු හතේ හැදුවේ ගිරිරාජ් කෞශල්‍ය නේද ?"
" අම්මටත් පිස්සු අනේ !" තරුණිය ඇඳෙන් බිමට පැන්නාය. "දැන් ඔය මොන කඩුවද නැති වුණා කියලානේ කිව්වේ ? " ඇය වටපිට බැලුවාය.
"මගේ රෙදි කපන කඩුව චතුරිකා. පෙරේදත් මැශින් ලාච්චුවේ තිබ්බා." කාන්‍තාව දුකෙන් පැවසුවාය. " අපරාදේ ! සිංගර් කඩුවක්"
" අහ්හ් ! රෙදි කපන කඩුවද අයියෝ ? " තරුණිය කාමරයේ මේස ලාච්චුව විවර කළාය. " මම අර අලුතෙන් ගත්ත බ්ලවුස් එකේ නූල් වගයක් කපන්න ඒක ගෙනාවනේ කාමරයට" ඇය ලාච්චුව අදින්නට විය.
" අනේ මන්දා ! මොකද අනේ මිනිස්සු කපන හැම එකකටම කඩුව කියලා කියලා ? ඔය එකින් එකට වෙන වෙනම නම් දැම්මා නම් මෙහෙම කරදරයක් නෑනේ " තරුණිය මව දෙස බැලුවාය. " නේද අපෙ අම්මා ?"
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment