දෙසැම්බර් 30 : Wounded Knee හි දී ස්වදේශික ඉන්දියානු වැසියන් සමූල ඝාතනය කෙරේ



වසර 127 ට පෙර අද වැනි දවසක ඇමරිකානු හමුදාව විසින් ස්වදේශික ඉන්දියානු වැසියන් 146 දෙනෙක් කෲර ලෙස සමූල ඝාතනය කරන ලදි. වූන්ඩඩ් නී සංහාරය හෙවත් Wounded Knee Massacre ලෙස ඉතිහාසයට එක්වන මේ සිදුවීමෙන් මිය ගිය ස්වදේශිකයින් ගණන දෙසියයද ඉක්මවා ඇතැයි ඇතැම් වාර්තා වල සඳහන් විය.
ඇමරිකාවේ මුල් පදිංචිකරුවන් වන්නේ සූ ( Sioux ) යනුවෙන් හැඳින්වෙන මෙම ස්වදේශික ඉන්දියානු ජන කොට්ඨාසය ය. එම ස්වදේශිකයන් අතරින් ප්‍රධාන ප්‍රභේද ත්‍රිත්වය ඩැකෝටා , ලැකෝටා සහ නැකෝටා ලෙස භාෂාව මත වර්ගීකරණයට ලක්වේ.මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන්නේ නිරිතදිග ප්‍රදේශයේ පදිංචි ඩැකෝටා ස්වදේශික ප්‍රජාවය. ඒ වනවිටත් ඇමරිකානු රජය සහ ස්වදේශික ජනතාව අතර ගැටුම් සහ සංකූලතා හටගෙන දැවෙමින් , නිවෙමින් පැවතෙමින් තිබිණ.


දකුණු ඩැකෝටාවේ ව්‍යාප්ත වෙමින් තිබූ ස්වදේශික භූත නැටුම් යාදින්න ( Ghost Dance Movement ) ඇමරිකානු රජයට මහත් හිසරදයක් ව තිබිණ. ස්වදේශිකයන් සිය ගණනක් වළල්ලක් සේ රැස්ව පුදසිරිත් කරමින් මළගිය ප්‍රාණකරුවන්ට ඇරියුම් කරන මෙම චාරිත්‍රය ඒ දිනවල නොකඩවා කෙරෙනු දක්නට ලැබිණ. තම සිරිත් විරිත් අත්හැර දැමීමෙන් දෙවියන් උරණ වේයැයි සිතූ ස්වදේශිකයන් එය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර වෙනදාටත් වඩා භූත නැටුම් යාදිනි දක්නට ලැබීමට සුවිශේෂී හේතුවක් ද විය. මෙම චාරිත්‍රය පිළිපැදීමෙන් සහ සුදු මිනිසුන්ගේ චාරිත්‍ර වලින් ඈත්ව සිටීමෙන් දෙවියන් සතුටට සහ සෑහීමට පත්වන බව ඔවුන් විශ්වාස කළහ. එයින් සතුටට පත්වන දෙවියන් විසින් අන්‍යලබ්ධිකයින් , එනම් ස්වදේශික ඉන්දියානුවන් නොවන සෑම අයෙක්ම පළවා හැර ස්වදේශිකයන් වෙනුවෙන්ම ලෝකයක් උදාකර දෙතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. නමුත් ඇමරිකානු රජයට මෙම ස්වදේශික චාරිත්‍ර සහ ක්‍රියාකාරකම් පාලනය කිරීමේ උවමනාව ඊටත් වඩා ප්‍රබලව දැනී තිබිණ.

1890 දෙසැම්බර් මස 15 වැනිදා ප්‍රාදේශිය පොලිස් භටයන් විසින් ඩැකෝටා ප්‍රජාවේ පාලකයා සහ ආධ්‍යාත්මික නායකයා වූ Sitting Bull අත් අඩංගුවට ගනු ලබයි. ඒ ඔහු භූත නැටුම් කරුවෙක් ලෙස වැරදි වැටහීමක් ඇතිකර ගනිමිනි. මේ වැරදි අවබෝධය මත අත් අඩංගුවට ගැනෙන ඩැකෝටා ස්වදේශික නායකයා පොලිසිය විසින් ඝාතනය කිරීමත් සමගම නැවතත් ස්වදේශික - පාලක ගැටුම උත්සන්න වේ.
දෙසැම්බර් 29 වැනිදා ඇමරිකානු හමුදාවේ හත් වැනි අශ්වාරෝහක බලඇණිය විසින් වූන්ඩඩ් නී ගංගා ප්‍රදේශයේ දී ස්වදේශික "භූත නැටුම් යාදින්නක්" වටලනු ලැබේ. එහි සිටින්නේ Sitting Bull ගෙන් පසුව ලැකෝටා ස්වදේශික ප්‍රජාවගේ නායකයා වූ Big Foot ඇතුළු කණ්ඩායමකි. ආයුධ සන්නද්ධ සෙබළුන් මෙම කණ්ඩායම යටත් කර ගැනීමට ගත් උත්සාහයේදී හට ගන්නා ගැටුමෙන් ස්වදේශික වැසියන් සමූල ඝාතනය වූ අතර ඉන් බහුතරයක්ම කාන්තාවන් සහ දරුවන් ය. මෙම සිදුවීම දෙපිරිස අතර හටගත් ගැටුමක් ලෙස හඳුන්වා දීමට සමකාලීනව උත්සාහ කළද පසුව එය ජන සංහාරයක් බව පිළි ගනීමට ඇමරිකානු රජයට සිදු විය. බොහෝ ඉතිහාසඥයන් පවසන්නේ ඇමරිකානු සෙබළුන් වූන්ඩඩ් නී හිදී පිරිමැසුවේ වසර 14 ට පෙර ලිට්ල්බ්‍රිග් හෝර්න් හිදී ස්වදේශිකයන් වෙතින් ඔවුන් ලද පරාජය බවයි.


ලෝකයට මානව දයාව සහ සාමය උගන්වන ඇමරිකානුවන් එලෙස ස්වදේශිකයන් සමූල ඝාතනය කළේය. අන්‍ය මත ඉවසිය යුතුය යන තම මතය බලයෙන් අන්‍යන් වෙත පටවන ඇමරිකාවේ වූන්ඩඩ් නී සංහාරයත් සමග ස්වදේශික ඉන්දියානුවන් ගේ " භූත නැටුම් යාදින්න" සදහටම වැළලී ගියේය. අනුන්ගේ මතවාදයන්හි භූතයින් මඩින්නට පෙර තමන්ගේ මතවාදය තුළ ලැගුම්ගෙන සිටින භූතයින් ගණන දැන සිටින ලෙස අපට උගන්වන්නේ ඇමරිකාවට පවා වැරදුණු මේ ඉතිහාසයමය.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment